×

මෙවර G7 ඇමති හමුවේ විශේෂ තීරණ

මෙම ප්‍රකාශය එළැඹෙන මස ජපානයේ හිරෝෂිමා හි පැවැත්වීමට නියමිත G7 සමුළුවේදී ගෝලීය නායකයින් සඳහා යොමු කිරීමට අපේක්ෂා කෙරේ.


ජපානයේ කරුයිසාවා හි තෙදින රැස්වීමක් අවසන් කරමින් එක්සත් ජනපදය, ජපානය, ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ඉතාලිය සහ කැනඩාවෙන් සමන්විත G7 ඇමතිවරු මෙවර ගනු ලැබූ තීරණ රැසක් පිළිබඳ නව ප්‍රකාශයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අතර යුක්රේනයේ යුද්ධය සම්බන්ධයෙන් විශාල වශයෙන් සාකච්ඡා වී තිබු අතර, යුද අපරාධ සහ සිවිල් වැසියන්ට එරෙහි රුසියාවේ ප්‍රහාර සහ තීරනාත්මක සිවිල් යටිතල පහසුකම් වැනි අනෙකුත් කුරිරුකම් හේතුවෙන් රුසියාවට එරෙහිව සම්බාධක තව දුරටත් තීව්‍ර කිරීමට තීරණය කර තිබිණි.

එමෙන්ම දකුණු චීන මුහුදේ චීන ක්‍රියාකාරීත්වය හා තායිවානය සම්බන්ධයෙන් ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ සලකා බැලීමේදී ඔවුන් චීනයට නිවේදනය කර තිබුණේ ජාත්‍යන්තර ප්‍රජාවේ වගකිවයුතු සාමාජිකයෙකු ලෙස ක්‍රියා කරන ලෙසයි.

මීට අමතරව උතුරු කොරියාව සම්බන්ධයෙන්, තවදුරටත් න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ බැලස්ටික් මිසයිල වලින් වැළකිය යුතු ලෙස ඉල්ලා සිටි අතර, එසේ නොවන්නේ නම් ජාත්‍යන්තර ප්‍රජාවගේ කඩිනම් ප්‍රතිචාරයක් දක්වනු ඇති බවටද අනතුරු ඇඟවීම් කරනු ලැබීය. උතුරු කොරියාව මේ වන විට තහනම් ආයුධ අත්හදා බැලීම් මාලාවක් අත්හදා බලා ඇති අතර පසුගියදා එහි නවතම ආයිධය වශයෙන් ඝන ඉන්ධන අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලනු ලැබීය.

G7 ඇමතිවරුන් සුඩානයේ සහ මියන්මාරයේ ප්‍රචණ්ඩත්වය පිළිබඳව කනස්සල්ල පළ කර තිබූ අතර මෙම යුද්ධය සුඩාන සිවිල් වැසියන්ගේ ආරක්ෂාවට තර්ජනයක්වන හෙයින් හමුදාවේ ප්‍රධානියා වන ජෙනරාල් අබ්දෙල් ෆටා අල්-බුර්හාන් සහ ඔහුගේ ප්‍රතිවාදියා වන පැරාමිලිටරි වේගවත් ආධාරක බලකායට (ආර්එස්එෆ්) අණ දෙන මොහොමඩ් හම්දාන් ඩගාලෝගෙන් ඉල්ලා තිබුණේ සතුරුකම් අතැර සාකච්ඡා වෙනුවෙන් යන ලෙසයි. එමෙන්ම මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ, සියලුම සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ක්‍රියාකාරී නිසි පියවරක් ගන්නා ලෙසයි.

ඇෆ්ගන්හි කාන්තාවන්ට පනවා ඇති තලෙයිබාන් නීතීන් පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කරමින් ඔවුන් තලෙයිබාන් සංවිධානයෙන් ඉල්ලා තිබුණේ, කාන්තාවගේ මානව හිමිකම් සහ මූලික නිදහස සීමාකිරීම් නවතා කාන්තාවන්ද සමාන පුද්ගලයන් ලෙස පිළිගත යුතු බවයි.

G7 ඇමති හමුවේ දී නිකුත් කරන ලද මෙම ප්‍රකාශය එළැඹෙන මස ජපානයේ හිරෝෂිමා හි පැවැත්වීමට නියමිත G7 සමුළුවේදී ගෝලීය නායකයින් සඳහා යොමු කිරීමට අපේක්ෂා කෙරේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි