×

දියවන අයිස් තට්ටු ලෝකය ගිල ගනීද…?

ජල මට්ටම් ඉහළ යාම ලෝකයේ වෙරළබද කලාප වල ජීවත් වන පුද්ගලයින් ට බෙහෙවින් බලපාන්න පුළුවන් කියලා තමයි ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ ධ්‍රැවාසන්න අධ්‍යයන පිළිබඳ මධ්‍යස්ථානයේ විද්‍යාඥ තෝමස් ස්ලේටර් මහතා අනතුරු අඟවන්නේ.


දේශගුණික අර්බුදය ඇතැම් රටවල නායකයින් ට විහිලුවක්. එහෙම එක්කෙනෙක් මේ ළඟදිත් මිනිස්සු ගෙදර යැව්වා. මේ ගැන කතා කරන කොට මගේ හිතවතුන් පවා මට හිනාවුනු වාර අනන්තයි.

එක අතකට ඒ ගැන මිනිසුන් ට වැටහෙන්නේ නැති එක සාධාරණයි. කොරෝනා වසංගතයෙන් පීඩා විඳින අපේ මිනිස්සුන් ට මොන දේශගුණික විපර්යාස ද?

ඒත් දවසක හුස්ම ගන්න බැරි වෙලා බෙල්ල ලඟටම හිර වුණු දවසක මැරෙන්න මොහොතකට කලිං වගේ මේ ගැන තේරෙන්න පටන් ගත්තොත් ඒකේ පුදුම වෙන්න දෙයක් නෑ.

ලෝකයේ අයිස් තට්ටු දියවීම නිසා සාගර ජල මට්ටම ඉහළ යන ආකාරය කලිං ලිපියකදී මම කතා කරා මතක ඇති කියලා හිතනවා.

ඉකුත් සඳුදා අධ්‍යයන පර්යේෂණ වාර්තාවක් නිකුත් වුණා ද ක්‍රයොස්ෆියර් ආයතනයෙන්. ඒ වාර්තාවෙන් කියන්නේ ලෝකයේ අයිස් දියවීම වාර්තා ගත මට්ටමින් ඉහළ ගොස් තිබෙනවා කියා. ග්‍රීන්ලන්තයේ ග්ලැසියර සහ ඇන්ටාර්ක්ටික් සාගරයේ අයිස් තට්ටු දියවීම වේගවත් වී තිබෙනවා.

මෙහි තිබෙන භයානක බව නම්, මෙම අනුපාතය දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලය ඇස්තමේන්තු කළ ඉතා නරකම දේශගුණික විපර්යාස හා සමපාත වීමයි.

මෙම වාර්තාව පෘථිවියේ හිම විසංතුලනය (Earth’s Ice Imbalance) යනුවෙන් නම් කර තිබෙනවා. ලෝක ගෝලය වටා විසිතුන් වසරක් පුරා සිදුකරන ලද චන්ද්‍රිකා ආවේක්ෂණයන් මඟින් ලබා ගන්නා ලද තොරතුරු වලින් සම්පාදනය කර තිබෙනවා.

අදාළ පර්යේෂණයට එඩින්බරෝ විශ්ව විද්‍යාලය, ලන්ඩන් විශ්ව විද්‍යාලය සහ අර්ත්වේව් සංවිධානය සම්බන්ධ වී තිබෙනවා.

වාර්තාවට අනුව 1994 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා අයිස් තට්ටු ටොන් 28 පමණ දියවී තිබෙන අතර, ලෝක ගෝලයේ ග්ලැසියර ටොන් 6 පමණ දියවී තිබෙනවා.

මෙම අයිස් දියවීමේ සීඝ්‍රතාව කාලයට සාපේක්ෂව 57% ක වේගයෙන් සිදුවී තිබෙන බවයි එම වාර්තාවෙන් දැක්වෙන්නේ. ඒ අනුව 90 දශකයේ සිට වර්තමානය දක්වා අයිස් දියවීමේ සීග්‍රතාව වසරකට ටොන් 0.8 සිට 1.2 දක්වා වැඩිවී තිබෙනවා. මෙම දියවූ අයිස් ප්‍රමාණයෙන් අර්ධයක් පමණ මුහුදට එකතු වී තිබෙන්නේ ගොඩබිම පැවති අයිස් තට්ටුන් ගෙන් බවද එම වාර්තාවේ සඳහන් වෙනවා.

ඒ අනුව ගෝලීය මුහුදු මට්ටම මිලිමීටර 35 කින් පමණ ඉහළ ගොස් තිබෙන බව ඇස්තමේන්තු කර තිබෙනවා.

එම වාර්තාව මේසේ ද සඳහන් කරනවා – ඒ ඉහත සඳහන් කළ දියවූ ටොන් 28 ක පමණ අයිස් ප්‍රමාණය සමස්ත බ්‍රිතාන්‍යය මීටර් 100 ක පමණ ඝන වූ අයිස් තට්ටුවකින් වසා දැමීමට තරම් සමත් බව.

දන්නවාද? මේ අයිස් තට්ටු වලින් තුනෙන් දෙකක් පමණ දියවී තිබෙන්නේ ගෝලීය උණුසුම වැඩිවීම නිසා බව පර්යේෂණ වාර්තාව සම්පාදනය කළ විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

ශක්ති විද්‍යාවේ සංකල්පයක් තියනවා ඇල්බිඩෝ කියලා. ඒකෙන් සරලව කියවෙන්නේ මෙහෙම දෙයක් – තෝරාගත් ස්ථානයක පරාවර්තනය වූ ශක්තිය හා එම ස්ථානයේ හටගත් යම් සිදුවීමකදී ජනනය වන ශක්තිය අතර අනුපාතය.

වාතයේ උෂ්ණත්වය ඉහළ යන විට හිම සහ අයිස් දියවීම ආරම්භ වෙනවා, එවිට ලෝක ගෝලයට වැටෙන හිරු කිරණ පරාවර්තනය වීමේ හැකියාව අවම වෙනවා. එසේ වන විට සූර්ය විකිරණ පොළවේ රැඳී පැවතීමට තිබෙන ඉඩ වැඩි වෙනවා. මෙසේ විකිරණ රඳා පැවතීම වැඩි වන්නට වන්නට පොළෝතලයේ උෂ්ණත්වය ඉහළ යනවා.

එවිට අයිස් තට්ටු පවා දියවීම ආරම්භ වනවා.

ඒ අනුව ඉහත මම කියපු ඇල්බිඩෝ අනුපාතය අඩු වෙනවා. ඒ ශක්තිය පරාවර්තනය කර ගැනීමට පොළෝතලයට තිබෙන හැකියාව අවම වන නිසා.

එතකොට මේ ක්‍රියාදාමයට හේතුවූ වාතයේ උෂ්ණත්වය ඉහළ යන්නේ ඇයි? ඒ අන් කවරක් නිසා නොවෙයි, මිනිස් ක්‍රියාකාරකම් මත කාබන් විමෝචනය ඉහළ ගොස් තිබෙන නිසා.

මේ පර්යේෂණ වාර්තාව තුළින් තහවුරු කරලා තිබෙන්නේ ත් මේ කාරණය ගැනම තමයි.

ලෝක ගෝලයේ ධ්‍රැව දෙකේ අයිස් තට්ටු මේ ඇල්බිඩෝ අවපාතය නිසා දියවෙන්න පටන් අරන්. අයිස් තට්ටු තිබෙන එකේ වැදගත්කම තමයි අර මම කියපු සූර්ය විකිරණ සුදු පැහැති අයිස් තට්ටු වලට වැටුනාම නැවත පරාවර්තනය කර අභ්‍යවකාශයට මුදාහරිනවා. නමුත් අයිස් දියවුනාම ජල පෘශ්ඨය අඳුරු වෙන නිසා විකිරණ උරා ගන්නවා.

උරා ගැනීම වැඩි වන්න වන්න පොළවේ උෂ්ණත්වය ඉහළ යනවා. එහෙමයි ජල මට්ටම ඉහළ යන්නේ.

මෙසේ ජල මට්ටම් ඉහළ යාම ලෝකයේ වෙරළබද කලාප වල ජීවත් වන පුද්ගලයින් ට බෙහෙවින් බලපාන්න පුළුවන් කියලා තමයි ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ ධ්‍රැවාසන්න අධ්‍යයන පිළිබඳ මධ්‍යස්ථානයේ විද්‍යාඥ තෝමස් ස්ලේටර් මහතා අනතුරු අඟවන්නේ.

එපමණක් නොවෙයි, මෙසේ ජල මට්ටම් ඉහළ යාම නිසා ඇතැම් කලාප වලට ජල ගැලීම්ද, තවත් කලාප වලට ජල හිඟයන් ඇතිවීමේ අවදානමක් තිබෙන බවද විද්‍යාඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

එමඟින් ජල අවශ්‍යතාවය තිබෙන කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර මුළුමනින්ම කඩාවැටීමේ අවදානමක් ද තිබෙනවා.

ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ ධ්‍රැවාසන්න අධ්‍යයන පිළිබඳ මධ්‍යස්ථානයේ තවත් විද්‍යාඥයකු වන ඉනියස් ඔටොසාකා මහතා මේ ගැන අදහස් පළ කරමින් අවධාරණය කර තිබෙන්නේ කඳුකර ග්ලැසියර යනු ගොඩබිම ඇතැම් කලාප වල ජීවත් වන ජනතාවට පවතින නැවුම් ජල සම්පත් බවත්, ඒවා මුහුදට දියවී යාම පිරිසිදු ජල අවශ්‍යතාවන් සඳහා ජලය අහිමි කරන බවත්.

ඒ අනුව ග්ලැසියර ස්ථාවරභාවය ගෝලීය මට්ටමින් අතිශය වැදගත් බව ද ඒ මහතා පෙන්වා දී තිබෙනවා.

මම කලිනුත් කිව්වා වගේ මේ ගැන කතා කරන කොට මට මගේම මිතුරන් හිනාවුනු වාර අනන්තයි. මේ කරුණු වෙබ්සයිට් වලට ලිව්වා ට මිනිස්සු කියවන්නේ නෑ.. ට්‍රම්ප් ට බැනලා මොනවා හරි ලියපං, එතකොට නම් කියවයි කියලා අහගෙන තියනවා.

හැබැයි මගේ අරමුණ එක එක මිනිස්සුන්ගේ වැරදි පෙන්නලා ඔවුන්ට ඇඟිල්ල දික් කරන එක නෙමෙයි. මම කතා කරන්නේ මනුෂ්‍ය සංහතියට ම බලපාන ගෝලීය අර්බුදයක් ගැන.

ප්‍රමෝද් චින්තක පීරිස්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි