×

අන්තර්ජාලය ගැන වැරදි අනාවැකියක් කියා, තමන් කියූ වචන දිය කර බිව් විද්‍යාඥයා – මෙට්කාෆ්

රොබට් මෙලන්ක්ටොන් මෙට්කාෆ් (Robert Melancton Metcalfe) පරිගණක ක්ෂේත්‍රයට අමුත්තෙක් නොවේ


ඔහු ඇමරිකාවෙන් බිහිවූ අති දක්ෂ පරිගණක ඉංජිනේරුවෙකි. 1970 දශකයේදී අන්තර්ජාලය යථාර්ථයක් කිරීම සඳහා වෙහෙස වූ නියමුවෙකි. එසේම ‘එතර්නෙට්‘ (Ethernet) නමැති පරිගණක ජාලගත කිරීමේ ඉංජිනේරු ශිල්පයේ ද ඔහු සම හවුල්කරුවෙකි. විදුලි සන්දේශ ජාලයක්, පද්ධතිය සමග සම්බන්ධ වී සිටින පරිශීලකයන්ගේ සංඛ්‍යාවේ වර්ගයට සමානුපාතික බව සොයාගත් තැනැත්තා ද ඔහු ය. මෙය ‘මෙට්කාෆ් නියමය‘ යනුවෙන් හැඳින්වේ.

මෙට්කාෆ්

මේ වන විට ඔස්ටින් හි ටෙක්සාස් සරසවියේ නව නිපැයුම් සහ ව්‍යවසායකත්වය පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරන මෙට්කාෆ් මේ යුගයේ බිහි වූ අතිදක්ෂ මිනිසෙකි. එසේම පරිගණක ලෝකයේ පතාක යෝධයෙකු ලෙස අදට ද සැලකෙන පුද්ගලයෙකි. National Medal of Technology, Medal of HonorInternet Hall of Fame, Alexander Graham Bell Medal (1988), ACM Grace Murray Hopper Award, Marconi Prize (2003), Computer History Museum Fellow Awards (2008)යනාදී සම්මාන රැසකට ද ඔහු පාත්‍ර වී තිබේ.

නමුත් 70 දශකයේදී ලොවට බිහි වූ අන්තර්ජාලය ගැන ඔහු වරක් කට වරද්දා ගත්තේය. 1995 වසරේදී ඔහු පැවසුවේ, තව අවුරුද්දකින්, එනම් 1996 වසර වන විට ලෝකයේ අන්තර්ජාලය භයානක අන්දමින් බිඳ වැටෙනු ඇති බවයි. එයින් නොනැවතුණු ඔහු කීවේ, එසේ සිදු නොවුණහොත්, තමන් විසින් ඒ කී වචන ‘කා දමන‘ බවයි!

රොබට් මෙට්කාෆ්ගේ වැරදුණු අනාවැකියට ලෝක ප්‍රසිද්ධියක් ලැබුණේය.

ඔහු මේ පොරොන්දුව ඉටු කරන්නට උත්සාහ කර තිබුණේ එම වචන ඇතුළත් මුද්‍රිත කොළයක් ඉතා විශාල කේක් ගෙඩියක් තුළට දමා කේක් ගෙඩිය අනුභව කිරීමට උත්සාහ කිරීම මගිනි. නමුත් එවේලේ සිටි ප්‍රේක්ෂකයන් එම ක්‍රමයට එකඟ වී තිබුණේ නැත.

1997 වසර එළඹුණේය. මෙට්කාෆ් හට 6 වන විශ්ව ව්‍යාප්ත ජාල ලෝක සම්මේලනය (World Wide Web Conference) සඳහා ඇරයුම් ලැබුණේය.ඔහු, තමන්ගේ ප්‍රතිඥාව ඉටු කරන්නට එය අවස්ථාවක් කර ගත්තේය. මෙට්කාෆ් කළේ එම අනාවැකිය ගැන පළ වී තිබූ පත්තර තීරුවක් ගෙන එය යම්කිසි පානයක් සමග බ්ලෙන්ඩරයක දමා බ්ලෙන්ඩ් කර, එය පානය කිරීමයි!

එසේ අවම වශයෙන් තමන්ගේ වචන කා දැමිය නොහැකි නිසා, ඒවා දියකර බොමින් ඔහු තමන් කී වචනවල පිහිටා අවංකව ලෙස කටයුතු කරන අයෙක් බව ලොවට පෙන්වා සිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි