×

මොචා – මුහුදු කොල්ලකරුවන් ගිමන් හැරි දූපත

දකුණු පැසිෆික් සාගරයේ හොල්මන් දූපත ලෙස ද මෙය හඳුන්වයි.


හාත්පස පැතිර තිබෙන්නේ නිහඬ මූසල කමකි. දකුණු පැසිෆික් සාගරයේ පිහිටා ඇති හොල්මන් දූපත මෙයයි.

ඔව්, එය දූපතකි. ඒ දූපතේ නිවාස තිබේ. ඒ නිවාස තනා තිබෙන්නේ දියඹ විසින් ගිල්වා දමා වෙරළට තල්ලු කළ මළකඩ කෑ යකඩ කොටස්වලිනි. එනම්, නටඹුන් වූ නෞකාවල ශේෂයන්ගෙනි.

මම හැදී වැඩුණේ මගේ දෙමාපියන් සහ ආච්චිලා සීයලා මුහුදු මංකොල්ලකරුවන්, උන්ගේ නැව් සහ නිධාන ගැන කියන කතාන්දර අසමින්.. මා ඒවා හරිම ආසාවෙන් ඇහුවා. වෙරළේ තියෙන හැම දෙයක්ම එක් රැස් කරන්නට පෙළඹුණා..“

එසේ කියන්නේ දූපත් වාසියෙකු වන හර්මන් නෙයිරා ය. ඔහු සතුව ‘නාවික කෞතුක භාණ්ඩ‘ යැයි කිව හැකි දේවල් සම්භාරයක් ම තිබේ. ඒ හැම එකක්ම පාහේ නෞකාවල කලක් ජීවිතය ගත කර මුහුදට බිලි වූ වස්තූන් ය.

මේ, දකුණු පැසිෆික් සාගරයේ චිලී රාජ්‍යයට ඔබ්බෙන් පිහිටා ඇති මොචා දූපතයි. Mocha Island, Chile

ඒවා දැන් ලැගුම් ගන්නේ. ඔහු විසින් පවත්වාගෙන යනු ලබන කදිම හෝටලයේ අලංකරණ භාණ්ඩ වශයෙනි. ඒවා නිසා ඔහුගේ හෝටලයට අද්විතීය කෞතුක පෙනුමක් ලැබී තිබේ. නැවකට අයත් නොවන දෙයක් ඔහුගේ හෝටලයේ තිබේ නම්, ඒ වෙරළට ගොඩ ගැසූ ස්පර්ම් තල්මසෙකුගේ අස්ථි පඤ්ඤරයෙන් තැනූ පුටුවකි.

මොචා දූපතේ අතීතය සමග දැඩි සම්බන්ධයක් පවත්වාගෙන යන එකම දූපත් වාසියා නෙයිරා නොවේ. මෙහි ජීවත් වන සමහර දූපත් වාසීන්ගේ නිවාස ඉදිකිරීමට නෞකා වල කොටස් යොදාගෙන ඇත. ඒ නිවෙස්වල බිත්තිවලට රවුම් කවුළු සවි වී තිබෙන්නේ ඒ නිසා ය.

සමහරුන්ගේ බිත්තිවල ගසා තිබෙන ඔරලෝසු ද කලක් නෞකා අභ්‍යන්තරයන් සැරසූ ඒවා ය.

වරක් ‘සැන්තියාගෝ‘ නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මොචා දූපතට නුදුරින් සයුරු රළ තුළ සැඟවී ගියේය. එය සිදුවූයේ 1960 වසරේ චිලී රාජ්‍යයට බලපෑ භූමිකම්පාවේ ප්‍රතිඵලයක් ලෙස ය. එය, එම වසරේ ලෝකය මුහුණ දුන් දරුණුතම (රික්ටර් ඒකක 9.5) භූ චලනය වූ අතර, සැන්තියාගෝ නෞකාවේ කපිතාන්වරයා නැව ගිලී යාම වළක්වා ගැනීමට අණ දී තිබුණේ නැවේ තිබූ සියලුම බඩු භාණ්ඩ මුහුදට දමන ලෙසට ය. දැන් අවසානයේ ඒවා මොචා දූපත්වාසීන්ගේ නිවාසවල නතර වී තිබේ.

චිලී නාවික හමුදාව පවසන අන්දමට මොචා දූපත අවට නටඹුන් වූ නෞකා 150 ක පමණ කොටස් දැක ගත හැකිය. ඒ අතරින් ලී වලින් කළ නෞකා බඳවල් දිරාපත් වී ඇති නමුත්, ලෝහමය සැකිලි අද වන විට මෙම දූපතට අවතාරමය පෙනුමක් එක් කර දෙමින් තවදුරටත් පවතියි.

දූපත් වාසීන්ට අනුව මෙයට අමතරව මේ දූපතේ තවත් විශේෂත්වයක් තිබේ. එය නම්, මේ දූපත, සියවස් ගණනාවක පටන්ම මුහුදු කොල්ලකරුවන් සැඟවී සිටි තැනකි. ඔවුන්ගේ නෞකා ගිමන් හැරි වෙරළකි.

එකල මුහුදු කොල්ලකරුවන් සහ දූපත්වාසීන් අතර මුදලට භාණ්ඩ විකිණීම් ද සිදුව තිබේ. ඒ භාණ්ඩ, මුහුදු කොල්ලකරුවන් විසින් කොල්ල කන ලද ඒවා ය.

මෙහි ප්‍රතිඵලයක් ලෙසට සිදුව තිබෙන්නේ ස්පාඤ්ඤ කිරීටය විසින් මේ දූපත ජන ශූන්‍ය කිරීමයි. ඒ අනුව 17 වන සියවස අවසානය වන විට දූපත මිනිසුන්ගෙන් තොර කැලෑවක් බවට පත්ව තිබිණි. නමුත් 19 වන සියවස මැද භාගයේදී දූපතට මිනිසුන් නැවත ඇදී එන්නට පටන් ගත්හ. එවර ඒ සඳහා කිසිවෙකුගෙන් බාධාවක් එල්ල නොවිණි. මොචා දූපත ‘මුහුද විසින් හැඩ ගැන්වූ භූමියක්‘ බවට අද වන විට පත්ව තිබෙන්නේ එනිසා ය.

නමුත් තැන තැන විසිරී ඇති අවතාර සදිසි නෞකා ඇටසැකිලි සහ නිවැසියන්ගේ ගෘහයන් සරසන සියවස් ගණන් පැරණි කෞතුක භාණ්ඩ විසින් මොචා දූපතට අනන්‍යතාවයක් එක් කර තිබේ.

‘‘මුහුදු කොල්ලකරුවන් ගිමන් හැරි දූපත“!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි