×

නත්තල අබිමුව අබිරහස් ලෙස මිය යන පිණිමුවෝ

2019 ගිම්හානයේදී නෝර්වේ රාජ්‍යයේ පමණක් පිණිමුවන් 200 කට වඩා වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව හෙළි වේ.


සෑම වසරකම නෝර්වේ රාජ්‍යයේ Norwegian Polar Institute (NPI) ආයතනය විසින් පිණිමුවන් හෙවත් රෙයින්ඩියර් මුවන් පිළිබඳ සමීක්ෂණයක් සිදු කරනු ලබයි.

ඔවුන් මේ සඳහා නියැදිය ලෙස තෝරාගන්නේ නෝර්වේ රාජ්‍යය සහ උත්තර ධ්‍රැවය අතර පිහිටා තිබෙන සුප්‍රකට ස්වැල්බාද් (Svalbard) කොදෙව්වයි.

මෙම කොදෙව්ව පිණිමුව පාරාදීසයක් ලෙස සැලකෙන අතර, එය ග්ලැසියර සහ ඝන වූ තුන්ද්‍රා අයිස් තට්ටුවලින් සුසැදී ඇත.

මෙහි ජීවත් වන්නේ Rangifer tarandus platyrhynchus නමැති පිණිමුව (reindeer) විශේෂයයි.

පුරා සති 10කට වැඩි කාලයක් ස්වැල්බාද් හි සිදුකළ සමීක්ෂණයේදී හෙළි වූයේ පිණිමුව ජනගහනය සෑහෙන පමණින් විනාශ වී ඇති බවයි.

එසේම ඉතිරි වී සිටි පිණිමුවන් පවා කෘශ වී වැහැරුණු ශරීරවලින් යුක්ත බව ද ඔවුහු නිරීක්ෂණය කළහ.

කුසගින්නේ මිය ගිය බවට සලකුණු ඇති පිණිමුව මළකුණු සිය ගණනක් තුන්ද්‍රා අයිස් තට්ටු මත විසිරී තිබිණි.

අබිරහස විසඳේ

කෙසේ නමුත් විද්‍යාඥයන් අවසානයේ සොයාගත්තේ මේ පිණිමුව මරණවලට හේතුව දේශගුණික විපර්යාසය බවයි.

එනම් දේශගුණික විපර්යාස හේතුවෙන් රෙයින්ඩියර් මුවන් සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා ශාක පැළෑටි වෙත උන්ට ළඟා වීමට අපහසු වී ඇත.

උණුසුම් කාලගුණය නිසා ස්වැල්බාද් කොදෙව්ව වෙත මේ ගිම්හානයේදී අසාමාන්‍ය ලෙස වර්ෂාව පතිත වී ඇති අතර, වර්ෂාව උපරිමයක් බවට පත්වූයේ ගෙවී යන දෙසැම්බර් මාසයේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස තුන්ද්‍රා අයිස් තට්ටුව මතින් ඔවුන්ට පැළෑටි වෙත ළඟා වීම අපහසු වී තිබේ.

මිනිසෙක් තරමටම, එනම් අඩි 5 ක් පමණ උසට සහ කිලෝ 90 ක් පමණ බරට වැඩෙන මේ මහේශාක්‍ය සතුන්ට අවසානයේ  සිදුව තිබුණේ හිම තට්ටුව මතම වැටී කුසගින්නේ මිය යන්නට ය.

ජනප්‍රිය නත්තල් සංස්කෘතිය අනුව නත්තල්සීයා පැමිණෙන්නේ පිණිමුවන් බැඳි කරත්තයෙනි. එම ප්‍රවාදය සැබෑවක් යැයි මොහොතකට සිතුවහොත්, නත්තල් සීයා පවා මේ ඡායාරූපයේ දැක්වෙන අන්දමින් පිණිමුවන්ගේ අවශේෂ දැක මේ නත්තලේදී සුසුම් ලන්නට ඇත.

 NPI ecologists Hamish Burnett and Mads Forchhammer examine reindeer remains found. (Image credit: Siri Uldal/Norsk Polarinstitutt)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි