×

ඡන්දය දැමීම අනිවාර්ය කර ඇති ඔස්ට්‍රේලියාවේ මහමැතිවරණය,‘බූරු ඡන්ද‘ සහ ‘ඩිමොක්‍රසි සොසේජස්‘

මැයි 18 වැනිදාට නියමිත ව තිබෙන ඔස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයේදී මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 90%ක් වනු ඇත. ඒ අගය මෙතරම් ඉහළ යන්නේ විශේෂ හේතුවක් නිසා ය.


ඔස්ට්‍රේලියාවේදී එක්කෝ ඔබ ඡන්දය ප්‍රකාශ කළ යුතුය. නැතිනම් දඩ කෑ යුතුය.

ඔස්ට්‍රේලියාව, ලෝකයේ ඡන්ද දායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කර ඇති රටවල් කිහිපයෙන් එකකි. මෙවර මැයි 18 දාට පැවැත්වීමට නියමිත ෆෙඩරල් මැතිවරණයේදී ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ සුදුසුකම් ලද්දවුන්ගෙන් 90%ක් අවම වශයෙන් ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි සැලකේ. මෙය ලෝකයේ ඉහළම අගයකි.

උදාහරණක් වශයෙන්, 

  • පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළේ සුදුසුකම්ලත් ඡන්ද දායකන්ගෙන් 55%ක් පමණකි.
  • පසුගිය එංගලන්ත මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළේ සුදුසුකම්ලත් ඡන්ද දායකයන්ගෙන් 70% ක් පමණි.

‘කම්පල්සරි වෝටිං‘ හෙවත් ‘අනිවාර්යයෙන් ඡන්දය දැමීම‘ ඔස්ට්‍රේලියානු ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් ලක්ෂණයකි. එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන සියලු තැනැත්තන්, එනම් සියලු ඡන්ද දායකයන් අනිවාර්යයෙන්ම ඡන්දය ප්‍රකාශ කළ යුතුය. ප්‍රබල හෝ පිළිගත හැකි සාධාරණ හේතුවක් නොමැතිව එසේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළකින්නේ නම්, ඔවුන් එයට හිලව්වක් ලෙස දඩයක් ගෙවිය යුතුය.

මේ වන විට එම දඩ මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 20 කි. ඒ නෝට්ටුවට ඇති වටිනාකම වටහාගැනීමට උදාහරණ කිහිපයක් මෙන්න.

ඩොලර් 20කින් ඔබට ඔස්ට්‍රේලියාවේදී,

ඉස්තරම් කෝපි කෝප්ප 5 ක් මිලදී ගත හැකිය.
හෝ
ෆිෂ් ඇන්ඩ් චිප්ස් කුඩා පෝෂන් 2 ක් මිලදී ගත හැකිය.
හෝ
වෙරළේ පැයක සර්ෆිං ක්‍රීඩාව කළ හැකිය.

ලංකාව ද ඇතුළුව ආසියාතික රටවල ඡන්ද අයිතිය යනු ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ කොටසකි. ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීම පමණක් නොව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම ද ඔවුන් විසින් සිය අයිතියක් ලෙස සලකන ආකාරය දැකගත හැකිය. මෙය හඳුන්වන්නේ ‘සහභාගිත්වයේ අයිතිය‘ යනුවෙනි. නමුත් මේ තත්වය තුළ, ඡන්දය ප්‍රකාශ නොකිරීම දිරිගැන්වෙන අතර, එවිට නුසුදුසු තැනැත්තන් බහුතර කැමැත්තකින් තොරව ජනතා නියෝජිතයන් බවට පත්වීමේ ඉහළ අවදානමක් තිබේ. ඒ අතින් බලන විට ඔස්ට්‍රේලියාවේ ප්‍රජාතන්ත්‍රවාදය, නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ තිඹිරි ගෙය යැයි කියන ඇමරිකාවට ද වඩා ඉදිරියෙන් සිටින බව කිව හැකිය.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සක්‍රියව සහභාගි වීම ඔස්ට්‍රේලියානු පුරවැසියන් සලකන්නේ සිය යුතුකමක් හා වගකීමක් ලෙස ය. එය ‘‘ඩිමොක්‍රසි (ප්‍රජාතන්ත්‍රවාදය) ප්‍රැක්ටිස් කිරීමක්‘ ලෙස ඔවුහු සිතති.

‘‘ඒක අපි හැමෝටම තිබෙන පරම අයිතියක්. අපි අපේ මතය ප්‍රකාශ කරන්නේ මේ හරහායි..“

‘‘ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කිරීම මගින් හැම කෙනෙකුටම තමන්ගේ දේශපාලනික ස්ථාවරය පැහැදිලි කර ගැනීමටත් තෝරාගැනීමක් කරන්නටත් අවස්ථාව ලැබෙනවා. මැතිවරණයකදී ජයගත යුත්තේ කවුද සහ ඒ තැනැත්තා ජය ගත යුත්තේ මන්ද කියා ඔවුන් අඩුම ගාණේ බියර් එකක් බොන ගමන් හෝ සංවාද කරන්නට, අනෙකා සමග කතාබස් කරන්නට පෙළඹෙනවා“ එසේ කියන්නේ UTS හි සහාය මහාචාර්යවරයෙකු වන බ්ලයි ග්‍රාන්ට් ය.

නමුත් ඡන්දය දැමීම අනිවාර්ය කිරීමට පෙර, දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බවට ප්‍රබල තර්කයක් ද ඔස්ට්‍රේලියාව තුළ තිබේ. ඒ නිසාම ඡන්ද පොළට පුරවැසියා යාම එරට නීතියෙන් අනිවාර්ය කර ඇතත්, සුදුසු අපේක්ෂකයෙකු නොමැති නම් ඡන්දය කටු ගා දැමීමට හෝ ඡන්ද පත්‍රිකාව හිස්ව තබා ආපසු ඒමේ අයිතිය ද ඔස්ට්‍රේලියානුවන්ට තිබේ. එනම් එය නීති විරෝධී නැත. නමුත් ඒවා ඡන්දය ගණන් කිරීමේදී අවලංගු ඡන්ද ලෙස සලකුණු වේ.

‘බූරු ඡන්ද‘ (‘Donkey Vote’)

ඔස්ට්‍රේලියාව වැනි ඡන්දය දැමීම අනිවාර්ය කර ඇති රටකදී, එනම් වරණීය ඡන්ද ක්‍රමයක් ඇති රටකදී ඔබට ‘බූරු ඡන්දයක්‘ ද දැමිය හැකිය. මෙයින් අදහස් කරන්නේ, ඔබ කැමතිම අපේක්ෂකයන්, එනම් වරණීය අපේක්ෂකයන් අනුපිළිවෙළට නම් කිරීමයි. එය 1,2,3 යනාදී වශයෙන් අංක දැමීම මගින් කළ හැකිය. අපේක්ෂකයන් සිටින්නේ පස් දෙනෙක් නම්, කැමතිම අපේක්ෂකයා අංක 5 සිට ඉහළට ද නම් කළ හැකිය. මේ ක්‍රම දෙකෙන් අනුගමනය කළ යුත්තේ කුමක්දැයි ඡන්ද දායකයන්ට ඡන්දයට පෙර උපදෙස් ලැබෙනු ඇත. මේ ආකාරයෙන් ඡන්දය ප්‍රකාශ කරන්නාව හඳුන්වන්නේ ‘බූරු ඡන්ද දායකයන්‘ (donkey voters) යනුවෙනි.

කෙසේ නමුත් මේවා අවලංගු ඡන්ද නොවේ. ඉහළ පිළිගැනීමක් සහිත ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් ලෙස මෙය සැලකෙන්නේ ඡන්ද දායකයාගේ වරණීය තෝරාගැනීම එමගින් නිවැරදිවම පිළිබිඹු වන නිසා ය. උදාහරණයක් වශයෙන් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ උත්තරීතර මණ්ඩලය සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යන සභාවන් දෙකේම අභ්‍යන්තර ඡන්දයන් පැවැත්වෙන්නේ ද ඩොන්කි වෝටිං ක්‍රමයට ය.

වැඩිදුර විස්තර මෙතැනින් – https://www.polyas.com/election-glossary/donkey-vote

ඡන්දය හැම විටම සෙනසුරාදාවක

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කරන දිනය ද ලෝකයේ බොහෝ රටවල්වලට වඩා වෙනස් ය. එනම්, ඡන්දය පැවැත්වෙන්නේ හැමවිටම සෙනසුරාදා දිනයක ය. එයින් ද අදහස් කරන්නේ සෑම කෙනෙකුටම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණීමට පහසු වීම ය. ලංකාවේ මෙන් සතියේ දිනවල, නිවාඩු ලබාගෙන ඡන්දය ප්‍රකාශ කිරීමට ඒ අනුව ඔවුන් යා යුතු නැත. ආණ්ඩුව ද ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විශේෂයෙන් කිසිවෙකුට නිවාඩු ලබාදිය යුතු නැත.

‘ඩිමොක්‍රසි සොසේජස්‘

ඔස්ට්‍රේලියාවේ ඡන්ද පොළවල් හරියට සල්පිල් වැනි ය. ඒවායේ තේ, කේක් සහ ක්ලැසික් ‘ඩිමොක්‍රසි සොසේජස්‘ විකුණනු ලබයි. ‘ඩිමොක්‍රසි සොසේජස්‘ 2016 ෆෙඩරල් මැතිවරණයේ සිට ඔස්ට්‍රේලියානු සංස්කෘතියේ කොටසක් බවට පත්ව ඇත. මෙහිදී සිදුවන්නේ මෙයයි. අති දැවැන්ත ජනකායක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද පොළවලට ඇදී එති. ඡන්ද පොළවල් ලෙස සාමාන්‍යෙයන් භාවිතා කරන්නේ පාසල්, දේවස්ථාන සහ ප්‍රජා ශාලාවන් ය. මෙවිට විවිධ පුණ්‍ය කටයුතු සඳහා මුදල් ආධාර එක්රැස් කර ගැනීමට වසරේ ලැබෙන හොඳම අවස්ථාව වන්නේ මෙයයි. මේ නිසා බොහෝ සංවිධාන සහ පුද්ගලයෝ මෙම තත්වයෙන් උපරිම ප්‍රයෝජන ගෙන මෙය වසරේ දැවැන්තම ‘ෆන්ඩ් රේසිං ඉවෙන්ට්‘ එක බවට පත්කරගනිති. බාබකියු ක්‍රමයට ඒ ස්ථානවලම ඩිමොක්‍රටි සොසේජස් සාදති. වාර්තා වන ආකාරයට ඔස්ට්‍රේලියාව තුළ වැඩිම පුණ්‍යාධාර ප්‍රමාණයක් එක්රැස් වන්නේ මෙදිනට ය. එය ලැබෙන්නේ ඩිමොක්‍රසි සොසේජස් අලෙවියෙනි.

මේ නිසා ඡන්ද පොළට එන ඔස්ට්‍රේලියානු පුරවැසියන් සෑම කෙනෙක්ම පාහේ ඡන්දය දැමීමට අමතරව ඩිමොක්‍රසි සොසේජයක ද රස බලන්නට අමතක කරන්නේ නැත. ඒ නිසා ඡන්දය දැමීම ඔස්ට්‍රේලියානුවන්ට ‘රසවත්‘ අත්දැකීමක් බවට ද පත්ව තිබේ.

BBC ඇසුරෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි