ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ දකුණු ආසියානු රටවල් වැඩි වශයෙන් මෙම තත්වයට මුහුණ පා සිටියි.
ගතවූ දශකයක කාලය තුළ මේ තත්වය වැඩි දියුණු කිරීමට කිසිදු උත්සාහයක් සමත් වී නැති අතර, ගෝලීය කෝවිඩ් වසංගතය තුළ තත්වය තවදුරටත් නරක අතට හැරීම පමණක් සිදුව තිබේ.
ඊයේ දිනයේ යුනිසෙෆ් සංවිධානය විසින් පළ කළ නවතම වාර්තාවේ දැක්වෙන අන්දමට කෝවිඩ්-19, යුද්ධ හා අරගල සහ දේශගුණික හදිසි විපත් විසින් ලෝකයේ රටවල් 91 ක ළදරුවන්ගේ අත්‍යාවශ්‍ය පෝෂණයට දැඩි බලපෑම් එල්ල කර තිබේ.
එම රටවල් 91 හි මාස 6 සිට 23 දක්වා වන දරුවන්ගෙන් භාගයකට, දෛනික ආහාර වේල් ගණන පවා ප්‍රමාණවත් පරිදි ලැබෙන්නේ නැත.
ඔවුන් අතරින් ද, ලැබිය යුතු අවම පෝෂණය සහිත ආහාර වේලක් ලබන්නේ ඉතා ස්වල්ප දෙනෙක් පමණි.
දුප්පත් ආහාර වේල් හේතුවෙන් පාසල් යාම ඇතුළු අධ්‍යාපන කටයුතු අඩාල වීම, වඩාත් දුර්වල අය ලෙඩ රෝගවලට ගොදුරු වීම සහ මන්දපෝෂණයේ ප්‍රතිඵලවලට ලක් වීම බහුල වශයෙන් සිදු වේ.
වයස අවුරුදු 2 ට අඩු ළදරුවන් මිලියන 11 ක් දෙනා මේ වන විට පෝෂණ ඌනතා හේතුවෙන් ඇති වන දුර්වලකම්වලට මුහුණ පා සිටිති.
බ්‍රිතාන්‍යය තුළ ළමා දරිද්‍රතාවය කෝවිඩ් වසංගතයත් සමග වැඩි වී තිබෙන්නේ, පෝෂණය කේන්ද්‍රකරගත් වැඩසටහන්වලට ලබාදෙන ආධාර කපාහැරීම නිසා බව සේව් ද චිල්රන් සංවිධානය පෙන්වා දෙයි.
කෙසේ නමුත්, බ්‍රිතාන්‍යය පවසන්නේ ඉදිරි වසර 5 ඇතුළත මේ ප්‍රශ්නය වෙනුවෙන් පවුම් මිලියන 600 ක් වැය කර දරුවන් මිලියන 50කට ආධාර කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.
මේ අතර, ජගත් සංවිධානයේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ලෝක සමුළුව (UN’s food security summit) හෙට දිනයේ (බ්‍රහස්පතින්දා) පැවැත්වීමට නියමිත ය.