×

අලීගේ කතාව

අවුරුදු විස්ස ඇතුලත නොයෙක් හැල හැප්පීම් ජය පරාජයන් මැද ගෙවිච්ච ඔහු ගේ ජීවිතයෙන් අපිට ගන්ට පුළුවං පාඩම් බොහොමයි.


ඔහු මොහොමඩ් අලී… බොක්සිං ඉතිහාසයේ ඔහු තරම් පරිණත සටන්කරුවෙක් මෙතෙක් බිහි වී නෑ. ඒ නිසාම බොක්සිං වලල්ලේ දී තවමත් ඔහුව හඳුන්වන්නේ The Greatest (විශිෂ්ඨයා) යන නමින්. නමසිය හැටේ දි පටං ගත්ත ඔහුගේ වෘත්තීයමය බොක්සිං දිවිය නිමා වෙන්නෙ නමසිය අසූවෙ දි. මේ අවුරුදු විස්ස ඇතුලත නොයෙක් හැල හැප්පීම් ජය පරාජයන් මැද ගෙවිච්ච ඔහු ගේ ජීවිතයෙන් අපිට ගන්ට පුළුවං පාඩම් බොහොමයි.

මේ කතාව ඔහු ගේ එක් සටනක් ගැන. ඔහු පසු කාලෙක මේ සටන හඳුන්වන්නෙ Rumble in the Jungle කියල. අවුරුද්ද 1974, ලෝක heavyweight ශූරතාවය සඳහා මොහොමඩ් අලී සහ ජොර්ජ් ෆෝමන් අතර තරඟය. ඒ වෙනකොට අලී පසුගිය තරඟ කීපයක් ම පරාජය වෙලා හිටපු කාලයක් වගේම ජෝර්ජ් ෆෝමන් ගෙ බොක්සිං ජීවිතයේ හොඳම කාලය. මොහොමඩ් අලී කියන්නෙ බොහොම ආක්‍රමණශීලි (offensive) සටන් කරුවෙක්. ආක්‍රමණශීලී බවත්, ප්‍රතිවාදියා හරිහැටි කියවා ගැනීමත්, වේගයත් තමයි ඔහු ගෙ බරම අවි. නමුත් මේ තරඟයේදී මුල් වටයේ සිටම හිතාගත නොහැකි විදිහට මොහොමඩ් අලී බොහොම ආරක්ශාකාරී විදිහට (defensive) පසුබසිනවා. බොහෝ වෙලාවට ඔහු බොක්සිං වලල්ලේ ලණු වැටට හේත්තු වෙලා ෆෝමන් ගේ සියලු ප්‍රහාරයන් ඔහු මතට හෙලන්නට ඉඩ දෙනවා. ජයග්‍රහණයේ උන්මාදයෙන් හිටපු ජෝර්ජ් ෆෝමන් ඔහු ගේ සියලු ශක්තිය ම වැය කරනවා. ෆෝමන් ඔහු දන්නා සියලු ප්‍රහාරයන් එල්ල කලත්, ලණු වැටට බර වෙලා හිස නමාගෙන උන්නු මේ දැවැන්තයාව බිම දමන්නට ඒ කිසිවක් ප්‍රමාණවත් උනේ නෑ. කිසිම පහරක් එල්ල නොකර, ෆෝමන් ගේ සෑම උපක්‍රමයක් ම අවසන් වන තුරු මොහමඩ් අලී බොහොම ඉවසීමෙන් බලාගෙන ඉන්නව. අට වන වටයේදී ෆෝමන් දරුණු විදිහට මානසිකවත් ශාරීරිකවත් හෙම්බත් වෙච්ච ඇසිල්ලක කඩා වදින මොහොමඩ් අලී ඔහුගේ සුපුරුදු පිලිමලුන් පිටුදැකීමේ පහරකින් (Knockout) ජෝර්ජ් ෆෝමන් ව බිම හෙලා ලෝක heavyweight ශූරතාවය දිනා ගන්නවා… මේ පිංතූරයේ තියෙන්නෙ ඔහුගේ ඒ අවසන් පහර. මේ සටන ලෝකයේ සියලු සටන්කරුවන් ට අමතක නොවන සටනක් වෙන්නෙ අලී පෙන්නපු පරිණත බවත්, උපක්‍රමශීලී බවත් නිසාමයි. පසු කාලෙක ජෝර්ජ් ෆෝමන් මෙහෙම කියනව:
” මම හිතුවෙ ඔහුව ඉතා පහසුවෙන් පරාජය කරන්ට පුළුවන් වෙයි කියල. නමුත් හත් වැනි වටයේදී මම එල්ල කරපු දරුණු පහරක් වලක්වන ගමන් ඔහු මගේ කණට මෙහෙම කෙඳිරුවා… ඔච්චරද උඹට කරන්ට පුළුවං, ජෝර්ජ්?… මගේ සියලු විශ්වාසයන් බිඳ දමන්නට ඔහුට හැකි උනා…”

ඉතිං… 2022 ඔබේ පසුබැසීමේ අවුරුද්ද් ද? සියලු කරදර වලට එක පොදියට එන්ට කියලා ලණු වැටට හේත්තු වෙලා බලා හිටපු අවුරුද්ද ද? එහෙනං නැගිටින්න… අපි සියළු ප්‍රතිවාදීන් ගෙ කණට කොඳුරල මෙහෙම අහමු…. ඔච්චරද උඹලට පුළුවං?
සියළු දුක් කරදර පසුබැසීම් එක්ක උරා ගත්ත පන්නරයෙන්… එන්න… අපි ජීවිතයට කඩා වදිමු… මේක අපේ අවුරුද්ද…

මුහුණු පොතෙනි!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි