×

මැලේසියානු රජු, රුසියානු රූ රැජිනක සමග අතිනත ගනියි.

මැලේසියාවේ 49 හැවිරිදි කෙල්ටාන් හි පස්වන මුහම්මද් (Muhammad V of Kelantan) රජු එරට නිල රජු වශයෙන් සැලකේ.


ඔහු සමග අතිනත ගත්තේ රුසියාවේ හිටපු මොස්කව් රූ රැජිනක වන ඔක්සානා වෙවොදිනා (Oksana Voevodina) ය.

මේ පිළිබඳ මැලේසියාව නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර නැතත්, ඔවුන්ගේ අති උත්කර්ෂවත් විවාහ මංගලෝත්සවයේ ඡායාරූප සමාජ ජාල ඇතුළු අන්තර්ජාලය පුරා මහත් වේගයෙන් සංසරණය වේ.

බොහෝ වාර්තාවලට අනුව මෙම විවාහය වැඩි ප්‍රසිද්ධියකින් තොරව සිදුකෙරුණු ‘රහසිගත‘ විවාහයකි. එය රුසියාවේ ප්‍රභූන් ජීවත් වන මොස්කව් හි බාවිකා නමැති කුඩා ගමේදී සිදුවූ බව රුසියානු පුවත් සේවා සනාථ කරයි.

විවාහෝත්සවයේ ඡායාරූප පමණක් නොව එයට අදාළ වීඩියෝ ක්ලිපයක් ද ෆේස්බුක් හි මේ වන විට දැකගත හැක.

විවාහෝත්සවය පවත්වා ඇත්තේ රුසියානු සහ මුස්ලිම් සම්ප්‍රදායන්ගේ සංකලනයක් ලෙස ය. එහිදී මත්පැන් රහිත හලාල් ක්‍රමයට ආහාර පිළිගන්වා ඇති බව රුසියාවේ මුස්ලිම් පුවත් සේවාවක් වන ඉස්ලාම් නිව්ස් පවසයි.

මේ අතර රුසියානු රූමතිය සම්ප්‍රදායික මැලේ හිජාබයෙන් සැරසී සිටින අන්දම ද දැකගන්නට ලැබේ.

මීට පෙර මැලේ රජ පවුලකට අයත් රූමතියක හා විවාහ වී සිටි පස්වන මුහම්මද් රජු මේ විවාහය සඳහා වසර අග වන තෙක් සිය රාජකාරිවලින් නිල වශයෙන් නිවාඩු ගෙන ඇති බව ද වාර්තා වේ. පෙර විවාහයෙන් 2008 වසරේදී දික්කසාද වූ පස්වැනි මුහම්මද්, ප්‍රියම්බිකාවක රහිතව පදවි ප්‍රාප්ත වූ, මැලේසියානු ඉතිහාසයේ පළමු රජු බවට 2016 දී පත්විය.

මේ අතර මෙම මොස්කව් රූමතිය වැඩි කල එළියක් නොමැති පවුලකින් පැවතගෙන එන්නියක බව ද වාර්තා වේ. දකුණු දිග රුසියාවේ අස්ථි ශල්‍ය වෛද්‍යවරයෙකුගේ දියණියක වන ඇය, 2015 වසරේදී මොස්කව් හි පැවති රූ රැජින තරගයකට සහභාගි වන්නේ අහම්බයකිනි. එනම්, ඇගේ මිතුරියක වෙනුවෙන් ඇයට තරග බිමට පිවිසීමට සිදුව තිබිණි.

මේ අතර, මෙම විවාහය නිසා ඇය ඉස්ලාම් ආගමට හැරුණු බවට ද පුවත් පළ වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි