×

සබීනා නීසා : මරා දැමුණු ලන්ඩන් ගුරුවරිය කළ වරද කුමක්ද..?

පසුගිය සතියේ ලන්ඩන් නුවර සලිත වී ගියේ 28 හැවිරිදි පෙර පාසල් ගුරුවරියක අමානුෂික ලෙස ඝාතනය කිරීම නිසා ය.


රාත්‍රී 8.45 ට පමණ දකුණු දිග ලන්ඩනයේ පිහිටි සිය නිවසින් පිටත් වන ඇය, පබ් එකක් වෙත ගියේ සිය මිතුරියක හමුවීමට ය. එම මිතුරු හමුව සිදුවූ ස්ථානයට ඇගේ නිවසේ සිට තිබුණේ විනාඩි 5 ක පමණ දුරකි.

අලුත විවාපත් වූ යුවතියක වූ සබීනා කලබලකාරී ලන්ඩනයෙන් මිදී නිස්කලංක ලෙස ජීවත් වීමට ප්‍රිය කරමින් එම නිවසේ පදිංචියට පැමිණ තිබුණාය. එම ස්ථානයේ සිට සෙන්ට්‍රල් ලන්ඩනයේ දුම්රිය පොළට ඇත්තේ විනාඩි 20 ක දුරකි.

අවසානයේ ඇගේ මළ සිරුර හමුවන්නේ නිවසට යාබද උද්‍යානයක තිබී ය. එම ස්ථානය ද සබීනා සහ ඇගේ මිතුරියන් නිතර යන එන තැනකි. එහි සුරක්ෂිත බවක් විණි යැයි ඔවුහු කියති. නමුත් එදින…?

අත්අඩංගුවට ගත් 38 හැවිරිදි සැකකරුවෙක්, රිදී පාට නිසාන් මෝටර් රියක් සහ තවමත් නිදැල්ලේ සිටින සැකකරුවන් මේ කතාවේදී අපට හමු වේ.

සතියක් මුළුල්ලේ සබීනා වෙනුවෙන් ලන්ඩනය වැළපෙයි. ඇයව දැන සිටි සහ නොදැන සිටි මිනිස්සු ඇගේ ඝාතනය සිදුවූ උද්‍යානය සුදු මලින් සරසති. ඉටිපහන් දල්වති. සබීනාගේ පවුලේ අය වෙනුවෙන් ශෝකය පළ කරන සටහන් තබා යති.

එතැනට පැමිණෙන, උද්‍යානය අසල ප්‍රධාන පාරේ ඇගේ මරණය නොව ජීවිතය සමරමින් වැළපෙන බොහෝ අය කාන්තාවෝ ය. ඔවුහු ශෝකයකින් පමණක් නොව කෝපයකින් ද, වික්ෂිප්ත අනාරක්ෂිත බවකින් ද වෙළී ගොස් සිටිති. ‘‘මේ දේ හෙට මට වෙන්න පුළුවන්..‘‘ ඔවුහු කොඳුරති.

(AP Photo/David Cliff)

‘ෆෙමිසයිඩ්‘ වසංගතය

ස්ත්‍රීන් මරා දැමීමට යෙදෙන තනි වචනය ‘ෆෙමිසයිඩ්‘ ය. එංගලන්තය වසංගතයෙන් මිදී ඇතත්, මේ ස්ත්‍රී ඝාතක වසංගතයේ දිගින් දිගටම ගිලී යන බවක් පෙනේ. බ්‍රිතාන්‍ය යේ ‘ප්‍රචණඩ්ත්වයේ වසංගතය‘ යනුවෙන් ද මෙය හඳුන්වනු පෙනේ.

ස්ත්‍රීන් සහ ගැහැණු ළමුන් ඉලක්ක කර ගත් ප්‍රචණ්ඩත්වය මේ වික්ටෝරියානු සදාචාරය බෙහෙවින් අගය කළ රටේ නැවත හිස ඔසවන්නේ මන්ද? එය ප්‍රධාන සමාජ ගැටළුවක් ලෙස බොහෝ දෙනාගේ විමසුමට ලක් වෙමින් තිබේ. වීදියේ හෙවත් මහ මග ගමන් ගන්නා ස්ත්‍රීන් ඉලක්ක කරගෙන සිදුවන අපරාධ එහි දිනෙන් දින ඉහළ යයි.

ස්ත්‍රීන්ට වෛර කිරීමේ උපරිමය

ස්ත්‍රියකට එරෙහි ප්‍රචණ්ඩත්වයේ උපරිමය ප්‍රකට වන්නේ ඇයව දූෂණය කර මරා දැමීමෙනි. ස්ත්‍රීපුරුෂ සමාජභාවය (Gender) විෂය තුළ එය මිසොජෙනි හෙවත් ස්ත්‍රීන්ට වෛර කිරීමේ උපරිම අවස්ථාවක් ලෙස දැක්වේ.

Reclaim These Streets යනු, පසුගිය මාර්තු මාසයේ දී එංගලන්තයේ ඇති වූ ස්ත්‍රීවාදී ව්‍යාපාරයකි. ‘වීදි නැවතත් අපේ කර ගනිමු‘‘ වැනි අදහසක් එයින් ගම්‍ය වේ. මේ සංවිධානය බිහි වූයේ, පසුගිය මාර්තු මාසයේ එංගලන්තයම කැළඹීමට පත් කරමින් සාරා එඩ්රාඩ් නමැති යුවතියක මහ මග ගමන් කරමින් සිටියදී පැහැර ගෙන ගොස් දූෂණය කර ගෙළ මිරිකා මරා දැමීමත් සමග ය.

 

සාරා එවඩාඩ්

එම ස්ත්‍රී දූෂණය සහ මිනී මැරුම සිදුකර තිබුණේ පොලිස් කොස්තාපල්වරයෙකු විසිනි. නඩුවේදී ඔහුට මරණ දඬුවම හිමි විය. සැප්තැම්බර් මාසයේදී එනම් මේ මස 29 වැනිදා එම දඬුවම ක්‍රියාත්මක වනු ඇත.

දැන්, දළ වශයෙන් එයට හරියටම හය මාසයකට පසු තවත් එවැනිම මිනී මැරුමක් කරළියට පැමිණ තිබේ. සබීනා නීසා වෙනුවෙන් සිය හඩ අවදි කිරීමට පැමිණ සිටි ජනතා නියෝජිතවරයෙකු වූ ක්ලයිව් එෆර්ඩ් හෙළිදරව් කළ පරිදි සාරා එවරාඩ් ඝාතනයේ සිට මේ දක්වා එංගලන්තය තුළ ස්ත්‍රීන් 78 දෙනෙකු ප්‍රචණ්ඩකාරී මරණවලට ලක් ව තිබේ.

වීදිය ස්ත්‍රියට තවදුරටත් ආරක්ෂිත තැනක් නොවේ. මෙවැනි සිද්ධි හට නොගැනීමට නම් ‘පරිස්සම් විය යුතුයැයි‘ ඊනියා කුහක සුචරිතවාදීන්ට ලෙහෙසියෙන්ම කියන්නට පුළුවන. ලංකාවේ සමාජ මාධ්‍ය පුරවැසියන් අතර පමණක් නොව පොදු පුරවැසියන් අතර පවා පවතින ජනප්‍රිය මතවාදයකට අනුව, ස්ත්‍රිය දූෂණයට ලක් වන්නේ ඇගේ ඇඳුමේ වරදිනි, ඇය ශරීරය පෙනෙන සේ ඇඳුම් නොඇඳිය යුතුය, යනාදී වශයෙන් බණ කීමට ද අපට පුළුවන. නමුත් වෙනස් විය යුතුව තිබෙන්නේ ස්ත්‍රියද? නැතිනම් ඇගේ පීඩකයාවද? එය, මුලින්ම ඉපදුණේ බිත්තරයද කිකිළියද වැනි උභතෝකෝටියක් ද..?

එංගලන්තයේ නීති පද්ධතිය වික්ටෝරියානු සදාචාරය මුල් කරගෙන බිහිවූවකි. ඔවුන් ලංකාව ඉන්දියාව ඇතුළු යටත් විජිතවලට 19 වන සියවසේදී දණ්ඩ නීති සංග්‍රහය වැනි අපරාධ නීති හරහා උරුම කර දුන්නේ ද එම වික්ටෝරියානු සදාචාරයේ සාපයයි. එයින් කියැවුණේ ද ‘සළු ඇඳ බොලට දක්වා‘ වර්ගයේ ස්ත්‍රීන් සදාචාර සම්පන්න බව ය. එසේ නොකර පාරට එන අය ‘අයාලේ‘ යන බව ය.

ඒ යල් පැන ගිය නීති අද දක්වා ද ප්‍රතිසංස්කරණය කර ගන්නට යටත් විජිත සමත් වී නැත. ඒ නීති උපන් එංගලන්තය ඒවා යම්දුරකට ප්‍රතිසංස්කරණය කර ගත්තත්, ස්ත්‍රිය කෙරෙහි පසුගාමී ආකල්පය අද දක්වාම එංගලන්තයේ පවා පවතියි. ඔවුන්ගේ සංස්කෘතියේ අදටත් වැඩි වෙනසක් වී නැත. එංගලන්තයේ සහ වේල්සයේ පොලිස් දෙපාර්තමේන්තුව, ස්ත්‍රියට එරෙහිව සිදුවන අපරාධ කෙරෙහි ප්‍රමුඛ අවධානයක් ලබා නොදෙන බවට තවමත් චෝදනා නැගෙන්නේ එනිසා ය.

එංගලන්තය සිය ස්ත්‍රී විරෝධී සංස්කෘතිය වෙනස් කර ගත යුතුව තිබෙන බව සබීනා නීසාගේ මළ ගෙදර කතාවක් පැවැත්වූ ක්ලයිව් එෆර්ඩ් මන්ත්‍රී කීවේ මෙසේ ය.

“Those sexist jokes that just slip off the tongue around the coffee machine, that’s where it starts, that’s the small steps that create the environment where people feel that they can become violent and aggressive towards women and girls, so if we want to bring about change, we have to live that change and be that change,”
– Clive Efford, a local MP

ලංකාවේ පොලිස් කොස්තාපල් ලා ස්ත්‍රී මළ සිරුරු ලොකු බෑග්වල දමාගෙන යන විට එංගලන්තයේ පොලිස් කොස්තාපල් ලා ආ ගිය තැන්වලින් කාන්තා මළ සිරුරු හමු වේ. මේ දෙරටේම තිබෙන්නේ එකම ස්ත්‍රී විරෝධී මූලයකින් පැන නැගුණු වික්ටෝරියානු සදාචාරය මත පදනම් වූ අපරාධ නීති ක්‍රමයකි. එංගලන්තයේ නීතියේ ආධිපත්‍යය හෙවත් නීතිය මත පාලනය පවතින නිසා පමණක් මේ අපරාධවල වින්දියන්ට එංගලන්තයේ දී යම් යුක්තියක් ඉටු වේ. ලංකාවේ නුවරඑළිය ස්ත්‍රී දූෂණ නඩුවේ මෙන් තීන්දුව ලැබෙන්නට වසර 20 ක් නම් ගත නොවේ. ඒ හැර ස්ත්‍රිය කෙරෙහි පවතින ආකල්පවල නම් දෙරටේම වැඩි වෙනසක් නැත.

 

පෙර ලිපි

Who Killed Sarah? එංගලන්තය කැළඹූ මිනීමැරුම් නඩුවේ පොලිස් කොස්තාපල් ට මරණ දඬුවම

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි