×

තායිලන්ත මිනිස් ඝාතනය පිටුපස ඉස්ලාම් බෙදුම්වාදීන්!

බැරිසන් රෙවොලුසි නැසනල් නම් එකී බෙදුම්වාදී සංවිධානය තායිලන්ත රජය සමඟ ද සාකච්ඡා පවත්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


වසර ගණනකට පසු තායිලන්තයේ දකුණු දිග මුස්ලිම් ප්‍රජා බහුල කලාපයේ සාමකාමීත්වය බිඳ හෙලමින් එල්ල වූ මරු ප්‍රහාරය පසුපස කැරලිකාර ඉස්ලාම් බෙදුම් වාදීන් සිටිනා බවට තායිලන්ත පොලීසිය පවසයි.

බැරිසන් රෙවොලුසි නැසනල් (Barisan Revolusi Nasional: BRN) නම් මෙම කැරලිකාර බෙදුම්වාදී කණ්ඩායම විසින් පසුගිය නොවැම්බර් 05 වන දින රාත්‍රියේ දකුණු තායිලන්ත යාලා නම් ප්‍රදේශයේ මුරපලකට එල්ල කරන ලද වෙඩි ප්‍රහාර දාමයෙන් පුද්ගලයින් 15ක් පමණ ජීවිතක්ෂයට පත්වූ අතර, එමඟින් ප්‍රදේශයේ දැඩි නොසන්සුන්තාවයක් හට ගෙන පවතින බවට තායිලන්ත පොලිසිය ප්‍රකාශ කර තිබේ.

මිය ගිය පිරිස අතර සිවිල් වැසියන් මෙන්ම ග්‍රාමීය ස්වේච්ඡා ආරක්ෂක භටයින් ද සිටි බව මීට පෙර වාර්තා වී තිබිණි. මෙකී මරු ප්‍රහාරය බෞද්ධ රටක් වන තායිලන්තයේ මෑත ඉතිහාසය තුළ වාර්තා වූ දරුණුතම මනුශ්‍ය ඝාතනය බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. තායිලන්තයේ ඉහත කී මැලේ-මුස්ලිම් ප්‍රජාව බහුල කලාපය තුළ අතීතයේ පටන් මුස්ලිම් බෙදුම්වාදී කැරලි හමුවේ දහස් ගණනක් ජීවිතක්ෂයට පත්ව තිබිණි. 

කෙසේවෙතත්, පසුගිය නොවැම්බර් 05 දින සිදුවූ මෙම ප්‍රහාරයේ වගකීම එකී සංවිධානය මෙතක් නිල වශයෙන් භාරගෙන නොමැත. 

තායිලන්ත පොලිසිය මේ වන විට එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රශ්ණ කිරීම් වලදී හෙලිවී තිබෙන්නේ ඔහු ඉහත කී බැරිසන් රෙවොලුසි නැසනල් නම් සංවිධානයේ සාමාජිකයකු බවයි. මෙම බෙදුම්වාදී සංවිධානය තායිලන්තයේ මුස්ලිම් ප්‍රජා බහුල දකුණු කලාපය තුළ කලක පටන් ක්‍රියාත්මක වන සංවිධානයක් බව එරට පොලිසිය ප්‍රකාශ කරයි.

මීට පෙර පසුගිය අගෝස්තු මසදී බැරිසන් රෙවොලුසි නැසනල් නම් සංවිධානය තායිලන්ත රජය සමඟ රහසිගත හමුවීමක් පවත්වා සිටි බවත්, එම හමුව තුළදී සිරකරුවන් නිදහස් කිරීමට කළ ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කර තිබූ බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියි.  



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි