×

‘මගේ තාත්තා මැරුණා නෙමෙයි මැරුවා’, ජනපති මෝර්සිගේ පුත් පවසයි!

අභාවප්‍රාප්ත වූ හිටපු ඊජිප්තු ජනපති මොහමඩ් මෝර්සි ගේ පුතකු තම පියාගේ මරණය සැලසුම් සහගත මිනීමැරුමක් බව පවසයි.


අභාවප්‍රාප්ත වූ හිටපු ඊජිප්තු ජනපති මොහමඩ් මෝර්සි ගේ පුතකු තම පියාගේ මරණය සැලසුම් සහගත මිනීමැරුමක් බව පවසයි.

ඒ අනුව ඊජිප්තු ජනපති අබ්දෙල් ෆටාහ් එල්-සිසි හා තවත් රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකුම මීට සම්බන්ධ බව ඔහු පවසයි.

ඊජිප්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරණයකින් තේරී පත් වූ පළමු ජනාධිපති මොහමඩ් මෝර්සිය. 2013 වර්ෂයේ ඔහු පරාජයට පත්වන්නේ එල්-සිසි විසින් මෙහෙයවූ හමුදා කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් බව කියවේ. ඔත්තු බැලීමේ චෝදනා මත සිරගත වූ මෝර්සි පසුගිය සඳු දින කයිරෝ හි පැවති නඩු දිනයකදී ඔහු හිඳ සිටි වීදුරු ආවරණ කුටිය තුළදී සිහිසුන්ව ඇද වැටිණ. පසුව ඔහු මරණයට පත් වූ බවට වාර්තා විය.

මොර්සිගේ පුත් අබ්දුල්ලා බ්‍රහස්පතින්දා දින ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ තම පියා ගේ මරණය වර්තමාන ජනාධිපති එල්-සිසි ඇතුළු කණ්ඩායමකගේ සැලසුම් සහගත මිනීමැරුමක් බවයි.

තම ට්විටර් පණිවිඩය තුළින් ජනාධිපති ට අමතරව, වෙනත් රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුගේ ම නම් ඔහු විසින් හෙලි කරන ලදී.

ඒ අනුව, ඔහු විසින් හිටපු අභ්‍යන්තර කටයුතු ඇමතිවරුන් වන මහ්මුඩ් තව්ෆික් හා මාග්දි අබ්දෙල් ඝෆාර්, විනිසුරුවරුන් වන ෂිරින් ෆාහ්මි, ෂාබන් අල්-ෂාමි හා අහ්මඩ් සබ්රි ද, නීතිපති නබිල් සදෙක් හා බුද්ධි අංශ ප්‍රධානී අබාස් කමෙල් නම් කරන ලදී.

වාර්තා වන අන්දමට, ඊජිප්තු රජය මෙතෙක් මිය ගිය මෝර්සිගේ පුත් අබ්දුල්ලා ඉදිරිපත් කළ චෝදනා වලට ප්‍රතිචාර දක්වා නැත.

අභාවප්‍රාප්ත වූ හිටපු ජනපති මෝර්සි ඊජිප්තුවේ ජනපති ධූරයට පත්වූයේ 2012 වර්ෂයේදීය. ඔහුට එරෙහිව නැඟුණු චෝදනා ඔහු ජීවත්ව සිටියදී ඔහු ඇතුළු ඇතැම් මානව හිමිකම් සංවිධාන පවා පෙන්වා දුන්නේ දේශපාලන පලිගැනීම් මත ගොඩ නැඟුණු ඒවා බවය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි