පියවි සිහිය පළා ගිය ගැබිණි තරුණියක් ආසන දෙකක් අතර පණ අදිමින් සිටින්නීය. යානයේ වෛද්‍යවරයෙකු නොමැත. ඒ මදිවාට අප සිටින්නේ වෙරළට අඩි එකොළොස් දහසක් ඉහළිනි.
‘‘අඩි නවදාහ දක්වා පහළට යමු‘‘. මම මගේ සහාය නියමුවාට කීවෙමි. ‘‘හරි‘‘ ඔහු එය ඉටු කළ බවට සහතික විය. වෙඩිල්ලක් මෙන් අසුනෙන් නැගිට ගත් මම, කැබින් කාමරය වෙත ඉගිල ගියෙමි. මගේ දෑත මත මළ යුවතියක් සිටීවිද? නොඑසේ නම් දරුණු ලෙස රෝගාතුර වූ යුවතියක් සිටීවිද? එකක් අනික බවට ඉතා පහසුවෙන් පත්විය හැකිය.
කෙසේ වෙතත් අපේ අවම ආරක්ෂිත උන්නතාංශය වන අඩි නව දහස දක්වා යානය පහත් කළ පසු අඩුම ගණනේ යානයේ වායු පීඩනය සහ ඔක්සිජන් මට්ටමවත් ඉහළ නගිනු ඇත. නමුත් එය සැක සහිත ය. මම අප්‍රාණිකව පොළොවේ වැතිර තියෙන ‘දෙය‘ වෙතට ගියෙමි. කුඩා චීන යුවතියක්.. ඇගේ වයස අවුරුදු විස්සක් පමණ වේ යැයි අනුමාන කළ හැකි වුවත් අසිහියෙන් සුදුමැලිව සිටින නිසා දිස්වූයේ එයින් ද අර්ධ වයසකි.
ඇය උඩුබැලි අතට වැතිර සිටියාය. මගේ ගුවන් සේවිකාව ඒ වන විටත් හදිසි අවස්ථාවලදී ප්‍රයෝජනයට ගන්නා පීඩන බෝතලයකින් ඔක්සිජන් වායුව ලබාදෙමින් සිටියාය. පසුව මතක් කර බලන විට යම් දෙයක් මේ මොහොතේ මගේ සිහියට නැගුණේය. ඇගේ මුහුණ බහුවර්ණ වැනීසි පැළැල්ලක් මෙන් අමුතු වී රැළි වැටී තිබේ. නැත. මට එය අදට ද වටහාගත නොහැක. කෙසේ වෙතත්, ඒ මොහොතේ ද සිදුවී තිබූ එම ආගන්තුක යම් කිසිවක් විසින් ඇගේ ජීවිතය අල්ලාගෙන තිබිණි. ගුවන් සේවිකාව ඒ ළපටි, කුඩා අසරණ මුහුණට ඔක්සිජන් පොම්ප කරමින් සිටින අතරතුර මම ඇගේ ළය පෙදෙනට – පැත්තෙන් පැත්තට තෙරපුම ලබා දෙමින් ඇයට හුස්ම සඳහා දිරි දුන්නෙමි. ඒ හැම මොහොතකම ඇගේ නූපන් දරුවා සිටින උස් වූ උදරයට පිරිමැදීමක් පවා නොකරන්නට ප්‍රවේශම් වීමු.
ඉන් ඉක්බිති, එය පිටතට තල්ලු කිරීමේ පරම අභිලාෂයෙන් මෙන් සෑම මිනිත්තු විස්සකටම වරක් ඈ හතිළන්නට පටන් ගත්තාය. ඇසිපිය ගසන්නට පටන් ගත්තාය. මම මෙයට ‘ජීවිතයේ අද්දර සිට හැරී බැලීම‘ යැයි කියමි. එසේම මෙය වනාහී බියපත් වූ ගුවන් නියමුවෙකු ඉහළ ඉදිරිය දෙස බලා, ලැජ්ජාවකින් තොරව ‘‘දෙවියනි, ඔබට ස්තූතියි‘‘ යැයි කියන අවස්ථාවක් බව ද ඔබට පැවසීමට මට ඉඩ දෙන්න. මම නැවත නියමු කුටිය වෙත ගියෙමි. අපි අඩි නව දහසේ උස සීමාව තුළ සිටියෙමු. ඉන්පසු ෆෝට් බ්‍රිජට් ගුවන් මධ්‍යස්ථානය සමග සම්බන්ධ වී සිදුවු දෙය රේඩියෝ පණිවුඩ හරහා දැනුම් දුන්නෙමි.
හදිසි ඇමතුමක් ගන්නා තෙක් අපට දිගින් දිගටම සම්බන්ධ වී සිටින ලෙසට උපදෙස් ලැබුණේය. ‘‘හදිසි ගොඩබෑම් කිරීම සුදුසු යැයි අපි නිර්දේශ කරමු..‘‘ ෆෝට් ප්‍රතිපිළිතුරු ලබාදුන්නේය. ‘සෝල්ට් ලේක්වලට ගොඩබාන්න. එහි ඔබේ රෝගියා සඳහා වෛද්‍යවරුන් සහ ගිලන් රථයක් සූදානම් කර තිබේ.‘‘
ඒ මොහොත දක්වා මම මේ පියාසැරිය සඳහා උපකාරී වූ කාලගුණික ස්වභාවයට තුති පුදමින් සිටියෙමි. අපට පහතින් දිස් වූ අහස, කුණු වූ අර්තාපල් ගෙඩියක් සේ පෙනෙන්නට පටන් ගෙන තිබුණත්, සම්පූර්ණ පියාසැරියම සැලසුමකට අනුව කිරීමට මෙතෙක් වේලා කිසිදු බාධාවක් වූයේ නැත. නමුත් දැන්, හදිසියේම, කාලගුණය අපව ඩැහැගන්නට තතනන සෙයකි. රස විඳිමින් සිටි-අගය කරමින් සිටි කදිම තත්වයේ සිට අපි සෝල්ට් ලේක් ගුවන් තොටුපොළ දක්වා යානය බලයෙන් මෙන් පහළට ගෙන යන්නට පටන් ගතිමු. බියජනකයි! සැපතුම් පහක් දුරට හොඳින් පෙනුණු මුත්.. ඉතිරිය දැන් අපායක් මෙන් තිත්ත කළුවරට-පටුවට පෙනෙයි. විදින හිම! අඩි හාර දහසක් දක්වා ඉහළ සිට දැන් ඕනෑම මොහොතක අප පොළොවට කඩා වැටෙනු ඇතැයි අපට සිතිණි. හිම බැඳුණු ධාවන පථයක් මත කෙරෙන දුර්වල හෝ දිවි බේරාගත නොහැකි ගොඩ බෑමක්! පංකාදුයි! මෙය නම් නියමුවෙකුට මුහුණ දිය හැකි පංකාදු පහේ ‘හදිසි ගොඩබෑම‘කි.
ඉන්පසු සෝල්ට් ලේක් ගුවන් තොටුපොළේ ගුවන් විදුලිය ද අපේ ප්‍රීතිය සමග එකතු විය. ඩයබ්ලෝ කැනියොමේ අපට මීළඟට පසුකරගෙන යන්නට සිදුවන ප්‍රදේශයේ විනිවිද පෙනෙනසුලු ස්වභාවය තනිකරම ශුන්‍යයකි. ඒ අනුව අන්ධයන් මෙන් අප පියාසර කළ යුතු වූ අතර, අපේ දිවි රැඳී පවතින්නේ උපකරණ සහ වෙනස් විය හැකි මං සෙවීමේ පද්ධතිය මත ය. ඒ අපේ පෙර සූදානමයි.
හොඳයි.. මේ දක්වා සිදුවූ හැම දෙයක්ම ගුවන් නියමුවෙකුගේ ජීවිතයේ කොටස් ය. නමුත් මෙතැන් සිට අතිශය කඨෝර, බියජනක, විශ්වාස කළ නොහැකි – අබිරහස් යැයි ද කිව හැකි සිද්ධි මාලාවක් සිදුවීමට නියමිත ය. අපි බඳ පටි තද කර ගතිමු. සියලු නියාමක සහ මිමි තුන් වරක් පරීක්ෂා කර ගතිමු. නැවත නැවතත් අප සෝල්ට් ලේක් නගරයට පැමිණි බවට සංඥා කරමින් යානය ක්‍රමයෙන් ඩයබ්ලෝ කැනියොම වෙත පහත් කරන්නට වීමු. සෝල්ට් ලේක් කුලුන අමතා, අප සිටි උන්නතාංශයෙන් බැහැර වී ගණකම් මීදුම තුළ ගිලී යන බව කීවෙමු.
ඒ පියාසැරි සමයේ, නූතන ඉලෙක්ට්‍රොනික විද්‍යාෙව් විස්මයකුරු සීනු හා සිවුරුහන් උපකරණ නොතිබුණු අතර කදම්බය නමැති අවසංඛ්‍යාත රේඩියෝ නැවිගේටර පද්ධතියකට වඩා වැඩි යමක් එහි නොවීය. නියමුවා සංගතිකව දර්ශනය වන සංඥා සමග ඒකාබද්ධ වී තම යානය ‘කදම්බය‘ මත රඳවා තබාගත යුතු විය. එම සංඥාවල කේතය ඒ සහ එන් අකුරු විය. එම අකුරු දෙකම එකවර දර්ශනය වන විට, නොඑසේ නම් ඒ දෙකම නොපෙනෙන විට එහි තේරුම ඔබ කදම්බයේ හරි මැද සිටිනා බවයි. එවිට ඔබ සහ විකාශන මධ්‍යස්ථානය අතර සෘජු සම්බන්ධයක් ඇති වෙයි.
සෝල්ට් ලේක් සිද්ධියේදී ට්‍රාන්ස්මීටරය ගුවන් තොටුපොළ වෙත ආසන්න වශයෙන් යොමු වී තිබිණි. බැලූ බැල්මට සරල දෙයක් යැයි සිතුණද ඇත්ත වශයෙන්ම එය එසේ නොවීය. නූතනයේ ඇති සෑම කාලගුණික තත්වයකටම ඔරොත්තු දෙන අධී සංඛ්‍යාත නැවිගේටර පද්ධති මෙන් නොව මේ අවසංඛ්‍යාත කදම්බ උපකරණ, ඇදහැළෙන සුළු හිම වැස්සකින් පවා හානියට පත් වීමේ අවදානමක් විය. මම එය හැකි තාක් සරල හා නිවැරදි ලෙස සැකසුවෙමි. ඇද වැටෙන හිම නිසා රේඩියෝ කදම්බය වියවුල් වීම ඇරඹිණි. පලක් නැති ගොරබිරම් ශබ්දයක් එයින් නිකුත් වන්නට පටන් ගත්තේය. ඒ හරහා පැමිණි සංඥාව තවදුරටත් පැහැදිලි පණිවුඩයක් ලබාදෙන එකක් නොවීය. එම තරංගය සර්පයෙක් වැනි යැයි ද කිව හැකිය. ගුවන් යානයක් එම සංඥා අනුගමනය කළ විට (වෙනත් කළ හැකි දෙයක් ඒ මොහොතේ නොවූ නිසා) එය කෙළිනම් කඳු මුදුනක් හෝ කඳු ගැටයක් වෙත පියාසර කරන බවත්, ඉක්මනින්ම ඔබට යානයේ ගමන් ගත් සියලු දෙනාගේ මළ සිරුරු ගණන් කළ හැකි තත්වයක් මතු වන බවත් අමුතුවෙන් කිව යුතු නොවේ.
ගුවනේ සිට ගුගුරමින්, ඝනකම් හිම තලය තුළට ගිලී යද්දී, මේ හැම දෙයක්ම අපේ සිත් තුළ තිබිණි. මෙතැන් සිට ඉදිරි මිනිත්තු කිහිපය තුළ අපි සම්පූර්ණයෙන්ම උපකරණ මත යැපෙන්නෙමු. ඩයබ්ලෝ කැනියොම තුළට අපි නිරුපද්‍රිතව ගමන් කරනු ඇතැයිද, අපට ඒ තුළ සිටීමට සිදුවනු ඇතැයි ද අපි යාඥා කරමු. ගිලෙන මිනිසෙකු ලෑල්ලක් තදින් බදා ගත්තා සේ අපි එම කදම්බයට බැඳී සිටිමු. කදම්බය පැත්තෙන් පැත්තට සෙළවෙන්නට පටන් ගත්තද, එයට පිටුපා යමක් කිරීමට තරම් නිර්භීත කමක් අප වෙත නොවිණි.
හදිසියේම කිසිවෙක් මා ඇමතීය. පිටුපස සිටි කෙනෙක්… ‘‘බොබ්.. යානය වම් පැත්තට හරවන්න..“
ඒ ගැන ගැටළුවක් නැත. මට මිනිසෙකුගේ කටහඬ ඇසිණි. ඔව්, එය කටහඬකි.
කැබින් කාමරයේ රෝගී යුවතියක සිටියදී, භයානක අවදානමක ගිලී සිටියදී උපකරණ කියවීම මත පමණක් එල්ලී සිටියදී, තත්වයේ හදිසි වෙනසක් සිදුකරන ප්‍රතිචාරයකට මා යොමුවේවිද? මේ තත්වයේ වෙනසක් සිදුකිරීමට උත්සාහ කරන කිසිම කෙනෙකුගේ නියෝගයකට මම කන් නොදෙන්නෙමි.
විශේෂයෙන් කිව යුත්තේ ක්‍රම ක්‍රමයෙන් මගේ උරහිසට ඉහළින්ද එම කටහඬ නිකුත් වන්නට පටන් ගත් බවයි. එම හඬ උපකරණ වෙත කේන්ද්‍රගත වී තිබූ මගේ අවධානයට බාධා කළේය. හරියට මා යමෙකුගේ භෞතික බලපෑමකට හසු වී ඇත්තාක් මෙනි. පැරණි නියමු සගයෙක් මගේ පසෙකින් සිටගෙන සිටියේ ය. යානා පියාසර කරවීමට පුරුදු පුහුණු වන සමයේ අපි එක්ව පියාසර කර ඇත්තෙමු.
හැරල්ඩ් ටකර්.. එය වැරදීමක් විය නොහැක. ඔහුගේ මුහුණේ ඇති සෑම නැම්මක්ම, රැල්ලක්ම මතකයේ රඳවා ගත හැකි තරමට අපි එක්ව පියාසර කර ඇත්තෙමු.
නමුත් හැරල්ඩ් ටකර් මිය ගියේ මීට වසර ගණනාවකට පෙර ය!
මගේ මුළු සිරුරම අයිස් බවට හැරෙනු මට දැනුණේය. මම විස්මයෙන් මුව අයා බලා සිටියෙමි. ඔහු නැවත කතා කළේය. මේ වතාවේ නිසැකවම කර්කශ හා වඩාත් විධාන ශීලී ලෙස ‘‘වමට හරවනවා!“ යැයි ඔහු කීවේ ගොරවන්නාක් මෙනි.
ඉන්පසු ඔහු ගියේය.
එක් නිමේෂයක ඔහු සිටියේය.
ඊළඟ නිමේෂයේ ඔහු එතැන නොසිටියේය.
මගේ ක්ෂණික ප්‍රතිචාරය වූයේ – තත්පරයක් හෝ අපතේ යැවිය නොහැකි අවස්ථාවකි. හොඳින්- වඩාත් හොඳින් ඒ නියෝගයට අවනත වීමයි. ශාපලත් කදම්බයෙන් වමට පියෑඹීමෙන් මට ඒ මොහොතේ වැළකිය නොහැකි විය. හදවත පිටතට පනින්නට තතනද්දී මම එසේ කළෙමි. මගේ සහාය නියමුවා සිතුවේ මා උමතු වී ඇතැයි කියා ය. මම ඔහුට එසේම සිතන්නට ඉඩ හැර සිටියෙමි. සිත් පිත් නැත්තෙකු ලෙස දෙතොල් තද කරගෙන වළාකුළු විනිවිද යන්නට පටන් ගතිමි.
එවිට අප සිටියේ ඩයබ්ලෝ කැනියොම පත්ලේ ය!
මගේ දකුණු පියාපතත් ඩයබ්ලෝ කැනියොමේ පාෂාණමය පවුරත් අතර ඉතිරිව තිබුණේ යන්තම් අඩි කිහිපයකි.
කැනියොමේ පාෂාණ පවුරුවලින් බැහැර වී පිරිසිදු වායුගෝලයට ඇතුල් වන විට සෝල්ට් ලේක් හි ගුවන් තොටුපොළ පැහැදිලිව අප ඉදිරියේ දිස් විය. මිනිත්තු කිහිපයකට පසුව එම දැවැන්ත, පැරණි ඩීසී-4 යානය ඇගේ රෝද, අයිස් බැඳුණු ධාවන පථය මත තැබුවාය. අපි සෙමෙන් පොළොව කරා පහත් වීමු. ගිලන් රියක් සහ පොලිස් මෝටර් රථ අප බලාපොරොත්තුවෙන් එළි දල්වාගෙන සිටියෝය. රෝගියා දැන් ආරක්ෂිත ය. නියමු කුටිය අත්‍යන්ත නිහඬතාවයේ ගිලී ගොස් තිබේ. මම සන්සුන් වීමි. නිශ්චල වීමි.
මා සිටියේ රත් වූ නියමු කුටියක ය. එමෙන්ම ඇදහිය නොහැකි තරම් මගේ සිරුර ශීතල වී තිබේ. පියාසැරිය අවසන් බව නිවේදනය කරද්දී මගේ කට හඬ වෙව්ළමින් තිබණේය. සහාය නියමුවා මට කීවේ ගොඩබෑමට පෙර ගියර මාරු කරන විටත්, පිරික්සුම් ලැයිස්තුව අධ්‍යයනය කරන විටත් මා අණ දුන්නේ එවැනිම කටහඬකින් බවයි.
මා හැඟීම්බර වූයෙම්ද? යකාටම ගියාදෙන්. ඔව්. ඔබ නිවැරදි ය. උදරයෙන් නැගුණු වලිප්පුවක් බඳු ගැස්ම මට තවම දැනේ.
මෙය, මෙතැනින් අවසාන වූවාද, නැත මගේ මිතුරනි… මන්ද මෙවැනි බොහෝ කතාන්දරවල අවසාන කීමක් ද තිබෙන නිසා ය.
ඒ සියුමැලි ළාබාල චීන යුවතිය වහාම ගිලන් රථයට ගනු ලැබීය. මිනිත්තු කිහිපයක ඇවෑමෙන් ඇය නිරෝගි සිඟිති පුතෙකුට උපත ලබාදුන්නීය. පසුව ඕක්ලන්ඩ් හි ඈ බලාපොරොත්තුවෙන් සිටි සිය ගණනක් ඥාතීන්ට ද සිදුවූ හරිය පැහැදිලි කර දීමට ගොස් මා මහා අමාරුවක වැටුණු බව ද කිව යුතුය. ඒ පිරිස මා මද දිනකින් නැවත උමතු කරවූයේ අලුත උපන් ඒ බිළිඳාට මගේ නම තබා ඇති බව දැනුම් දෙමිනි.!
කෙසේ නමුත් මෙන්න සැබෑ අවසානය..
හොඳයි. අපට පිටුපසින් ඩීසී-3 වර්ගයේ කාගෝ ගුවන් යානාවක් ද ධාරාණිපාත හිම වර්ෂාව මැදින් සෝල්ට් ලේක් හි ගුවන් තොටුපොළට ගොඩබෑම සඳහා පැමිණ තිබේ. ඔවුන් ද සුපුරුදු ලෙස පියාසැරිය සඳහා මග විමසා ඇත්තේ සංඥා කදම්බයෙනි. ඔවුන් කෙළින්ම ඩයබ්ලෝ කැනියොම තුළට ඇදී ගොස් තිබිණි!
ඉන්පසු යානය කැනියොමේ පාෂාණමය දකුණු පවුරේ හැපී සුණු විසුණු විය. එය කැබලි විය. ඉන්පසු පිපිරුණේය.
ඉතා කෙටියෙන් කියන්නේ නම් හැරල්ඩ් ටකර්, ඔවුන්ගේ මිතුරෙකුව සිට නැත!