×

උතුරු කොරියාව රුසියාවට ආයුධ සැපයීම පිළිබඳ චෝදනාවන් ප්‍රතික්‍ෂප කරයි

රුසියානු නායක පුටින් ප්‍රකාශකර තිබුණේ ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගනිමින් සතුරු මිලීටරි හමුදාවන්ගේ තර්ජන සහ ප්‍රකෝප කිරීම් ව්‍යර්ථ කිරීමට දෙරට අතර උපායමාර්ගික සහ උපායශීලී සහයෝගීතාව, වර්ධනය කර ගත යුතුව ඇති බවයි.


එක්සත් ජනපදය සහ අනෙකුත් සතුරු හමුදාවන් විසින් උතුරු කොරියව විසින් රුසියාවට ආයුධ සපයන බවට කටකතා ප්‍රචාරය කරමින් සිටින බව කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක දැක්වේ.

එහි වැඩිදුරටත් සඳහන් වූයේ උතුරු කොරියාව විසින් රුසියාවට ආයුධ සපයා නැති බවත් එසේ කිරීමට කිසිදු සැලසුමක් නොමැති බවත්, යුක්රේන යුද්ධයට සම්බන්ධ වීම රටේ නමට කැළැලක් ලෙස ඔවුන් සලකන බවත්ය.


පසුගිය දා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රකාශක වේදන්ත පටෙල් වාර්තාකරුවන්ට පැවසා තිබුණේ රුසියාව විසින් යුක්රේනයේ භාවිතය සඳහා උතුරු කොරියාවෙන් මිලියන ගනනක් රොකට් සහ කාලතුවක්කු උණ්ඩ මිලදී ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටින බවයි.

උතුරු කොරියාව මෙම ගනුදෙනුව සමඟ සම්බන්ධ වූයේ නම් එය පැහැදිළිවම එක්සත් ජාතීන් විසින් ආයුධ ආනයනය කිරීම හෝ අපනයනය කිරීම තහනම් කරන එක්සත් ජාතීන්ගේ යෝජනා උල්ලංඝනය කිරීමකි.

මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව විසින් ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරන බවට එක්සත් ජනපදයට චෝදනා කර ඇති අතර මේ සම්බන්ධයෙන් සාක්ෂි සපයන ලෙස ඉල්ලා ඇත. අවශ්‍ය නම් තමන්ට එලෙස ආයුධ සැපයීමට හැකි බවත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සම්බාධක පියොංයැන්ග් කිසිදා පිළිගෙන නැති බවත් මෙහිදී උතුරු කොරියාව අවධාරණය කර ඇත.

උතුරු කොරියාව 2017 න් පසු එහි පළමු දිගු දුර මිසයිල ඇතුළු ආයුධ දුසිම් ගනනක් අත්හදා බලමින් සිය ආයුධ සංවර්ධනය වේගවත් කර ගනිමින් ඇත.

ලෝකයේ බොහෝ රටවල් යුක්රේන යුද්ධය හෙළා දකිමින් තිබිය දී උතුරු කොරියාව රුසියාව සමඟ සබඳතා දැඩි කිරීමට උත්සාහ කරයි. පසුගියදා කොරියානු විමුක්ති දිනය වෙනුවෙන් යවන ලද ලිපියක රුසියානු නායක පුටින් ප්‍රකාශකර තිබුණේ ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගනිමින් සතුරු මිලීටරි හමුදාවන්ගේ තර්ජන සහ ප්‍රකෝප කිරීම් ව්‍යර්ථ කිරීමට දෙරට අතර උපායමාර්ගික සහ උපායශීලී සහයෝගීතාව, වර්ධනය කර ගත යුතුව ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි