×

එංගලන්තයේ අධ්‍යාපන ලේකම් බවට පත්වූ ඉරාක සරණාගත කොලුවා – නදිම් සහවි

අධ්‍යාපන ලේකම් ධුරය දැරීමට පෙර සහවි මහතා සේවය කළේ කොවිඩ් එන්නත්කරණ අමාත්‍යවරයා ලෙසයි. එහෙත් මීට ඉහත කනිෂ්ට අධ්‍යාපන අමාත්‍යවරයකු ලෙස සේවය කිරීම මත එක්සත් රාජධානියේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ද ඒ මහතාට හොඳ පළපුරුද්දක් තිබේ.


ඉකුත් සැප්තැම්බර් 15 වන දින එක්සත් රාජධානියේ අධ්‍යාපන ලේකම් ලෙස නදිම් සහවි මහතා තේරී පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ හිටපු ලේකම් ගැවින් විලියම්සන් තනතුරින් ඉවත් කරමිනි.

නදිම් සහව් මහතා මෙම ධුරයට තේරී පත්වූයේ ආන්දෝලනාත්මක කැබිනට් සංශෝධනයක් සමඟිනි. ඊට ආසන්නතම හේතුව ලෙස සැලකෙන්නේ අධ්‍යාපන ලේකම් ධුරය දැරූ ගැවින් විලියම්සන් මහතා කොවිඩ් වසංගත තත්ත්වය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය නිසිපරිදි කලමනාකරණය කිරීමට අසමත් වීම යන චෝදනාව එල්ල වීමයි.

අධ්‍යාපන ලේකම් ධුරය දැරීමට පෙර සහවි මහතා සේවය කළේ කොවිඩ් එන්නත්කරණ අමාත්‍යවරයා ලෙසයි. එහෙත් මීට ඉහත කනිෂ්ට අධ්‍යාපන අමාත්‍යවරයකු ලෙස සේවය කිරීම මත එක්සත් රාජධානියේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ද ඒ මහතාට හොඳ පළපුරුද්දක් තිබේ.

මෙම නව තනතුරත් සමඟ එංගලන්තයේ පාසල්, උසස් අධ්‍යාපන විද්‍යාලයන් සහ විශ්ව විද්‍යාලයන් පිළිබඳ වගකීම සහවි මහතා ට පැවරෙනු ඇත.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සහවි මහතා අධ්‍යාපන අංශය තුළ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරනු ඇති බවට බොහෝ දෙනා විශ්වාසය ද පළකර තිබේ.

“පෞද්ගලික අත්දැකීමෙන් මා දන්නවා මෙම රටට ලබා දීමට අවශ්‍ය අවස්ථාවන් තෝතැන්නක් මෙමඟින් උදාකළ හැකි ය කියා. මට අවශ්‍ය වන්නේ දරුවන්, තරුණයින් සහ වැඩිහිටියන් සියලු දෙනාටම මනා අධ්‍යාපනයක් ලබා ගැනීමට, හොඳ කුසලතා සහ හොඳ රැකියා ලබා ගැනීමට අවස්ථාව උදා කරදීමයි.”

සිය නව ධුරය ලබාගත් නදිම් සහවි මහතා ප්‍රකාශ කළේය.

එක්සත් රාජධානියේ අධ්‍යාපන ලේකම්/අමාත්‍ය ධුරයට පත්වූ නදිම් සහවි මහතා බොහෝ දෙනෙකු ගේ කතාබහට ලක්වන්නේ ඔහුගේ අතීතය සිහිපත් කරමිනි.

.

නදිම් සහවි යනු කවුද?

නදිම් සහවි මහතා එක්සත් රාජධානියට පැමිණෙන්නේ ඔහුට යම්තම් වයස අවුරුදු 09 දීය. ඒ ඉරාක සරණාගතයකු ලෙස ය. 1967 වර්ෂයේ ඉරාකයේ බැග්ඩෑඩ් හි උපත ලද සහවි එරට සදාම් හුසේන් පාලනය තිබූ කළ තම දෙමාපියන් සමඟ එක්සත් රාජධානියට සංක්‍රමණය වන්නේ 1976 වර්ෂයේ ය. ඒ වන විට ඔහුට ඉංග්‍රීසි බස කතා කිරීමට වත් නොහැකිය. තම ජීවිතය ගොඩනඟා ගැනීමේ අරගලය එතනින් ආරම්භ කරන සහවි ස්වාධීන පාසල් වල අධ්‍යාපනය හැදැරීම ආරම්භ කළේය.

ආගන්තුක සමාජයක් වූ එක්සත් රාජධානියේ අභියෝග මැද සහවි මුලින්ම අධ්‍යාපනය හදාරනු ලැබුවේ ඉබ්ස්ටොක් පෙදෙස පාසලයේ ය. ඉන්පසුව ලන්ඩන්හි විම්බල්ඩන්හි පිහිටි ස්වාධීන පාසලක් වූ කිංග්ස් විද්‍යාලයටත් පසුව ලන්ඩන් විශ්ව විද්‍යාලයටත් ඔහු ඇතුළු විය. රසායනික ඉංජිනේරු විද්‍යාව හැදෑරූ සහවි BSc උපාධියක් ලබා ගත්තේය.

1991 වර්ෂයේදී ගල්ෆ් යුද්ධයෙන් පීඩාවට පත් කුර්දි ජාතිකයන්ට ආධාර කිරීම සඳහා ප්‍රවීණ ලේඛකයකු වූ ජෙෆ්රි ආචර් ගේ ගල්ෆ් යුද්ධයේ වින්දිතයන් වූ කුර්දි ජාතිකයන්ට ආධාර කිරීමේ ‘සිම්පල් ටෘත්’ ව්‍යාපාරයට සම්බන්ධ වූ සහවි එම ව්‍යාපාරය තුළ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකළේ තම සගයා වූ බෘක් සයිබ් සමඟය. මෙමඟින් මහජන අවධානය දිනාගත් සහවි 1994 වර්ෂයේදී වොන්ඩ්ස්වර්ත් සභාවට තරඟ වැදුනු අතර, ඒ සඳහා ජෙෆ්රි ආචර්ගේ සහාය ද හිමිවූ බවට සඳහන්.

1994 – 2006 කාලය තුළ ලන්ඩන් වැන්ඩ්ස්වර්ත් වරායේ පුට්නි හි කොන්සර්වේටිව් මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වූ සහවි 1997 දී එරිත් සහ තේම්ස්මීඩ් හි පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු ලෙසද තරඟ වැදිනි.

2010 දී ස්ට්‍රැට්ෆර්ඩ්-ඔන්-ඇවන් සඳහා වූ ප්‍රාදේශීය කොන්සර්වේටිව් පක්ෂය තුළින් පාර්ලිමේන්තු වරම් ලබා ගැනීමට සහවි සමත් විය. පසුව ඔහු 2015, 2017 සහ 2019 දී නැවත තේරී පත් විය.

නදිම් සහවි මහතා අන්තර්ජාලය පදනම් කරගත් ප්‍රධානතම ජාත්‍යන්තර වෙළඳපොළ පර්යේෂනායතනයක් වන යූගොව් (YouGov) හි සම නිර්මාතෘවරයායි. ඉකුත් 2010 වර්ෂයේ පෙබරවාරි දක්වා ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එහි කටයුතු කළ සහවි 2018 ජනවාරි දක්වා ගල්ෆ් කීස්ටෝන් ඛනිජ තෙල් සමාගමේ ප්‍රධාන ක්‍රමෝපාය නිලධාරියා ලෙසද කටයුතු කර තිබේ.

.

අධ්‍යාපන ලේකම්ධුරය සමඟ සහවි හමුවේ පැන නැඟෙන අභියෝග

කොවිඩ් වසංගත තත්ත්වය සමඟ එක්සත් රාජධානියේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතල ගැටළු රැසක් මතුවී තිබිණි.

ප්‍රධානතම ගැටළුවක් වන්නේ අරමුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේ මතුව ඇති මන්දගාමී ස්වරූපයයි.

ජාතික අධ්‍යාපන සංගමයේ සම-නායිකා මේරි බොස්ටඩ් පවසා සිටියේ එළඹෙන මස පැවැත්වීමට නියමිත රාජ්‍ය වියදම් සමාලෝචනයේදී අධ්‍යාපන කටයුතු සඳහා අතිරේක අරමුදල් වෙන්කිරීම අත්‍යාවශ්‍ය බවයි. ඒ වෙනුවෙන් කටයුතු කරන මෙන් සහවි මහතාගෙන් ඉල්ලා සිටි ඇය අවධාරණය කළේ, එම අරමුදල් ලබා දීම වෙනුවෙන් සහවිට පෙර සිටි බලධාරීන් නිසිපරිදි කටයුතු නොකළ බවයි.

ජාතික ප්‍රධාන ගුරුවරුන්ගේ සංගමයේ මහලේකම් පෝල් වයිට්මන් අවධාරණය කරනු ලැබුවේ, සහාවි මහතා මුහුණ දෙන ඉතාම වැදගත් කාර්යභාරයක් වනුයේ රටේ සෑම සිසුවෙකුටම නිසි පරිදි අරමුදල් ලබා ගැනීමේ පැකේජයක් ලබා දෙන බවට රජය ලබා දුන් පොරොන්දුව එලෙසම ඉටුකරන බවට සහතික වීම බවයි.

ASCL ප්‍රධාන ගුරු සංගමයේ නායක ජෙෆ් බාර්ටන් මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කලමනාකාරීත්වයට සහවි මහතාගේ ආගමනය සිදුවූවද පැවති අභියෝගයන් එලෙසම ඉතිරිව පවතින බවයි. ඒ අනුව එම අභියෝගයන් ට මුහුණ දී පශ්චාත් කොවිඩ් අධ්‍යාපනය යථා තත්ත්වයට පත් කිරීම, පාසල් හා විද්‍යාල වල ආයෝජන කටයුතු විධිමත් කිරීම, විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවන්ට ආධාර කිරීම සහ අධ්‍යාපනය අතින් අවාසි සිදුවන දරුවන් සහ ඔවුන්ගේ සම වයසේ මිතුරන් අතර පවතින පරතරය නැති කර දැමීම සහවි සතු වගකීම බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මව් බස පමණක් දොඩමළු ව, ඉංග්‍රීසි බස උච්ඡාරණය කිරීමට වත් නොහැකිව ජීවිතයේ ඉතාම කුඩා තැනකින් ගමන ආරම්භ කළ සහවි අද වන විට එක්සත් රාජධානියේ වගකීම් බහුලම රාජ්‍ය-ධුරයක් හොබවනු ලබයි. ජීවිතයේ මුහුණ පෑමට සිදුවන දුක්කම්කටොලු වල හිනිපෙත්තට ම ගිය පුද්ගලයකු වශයෙන් නදිම් සහවි දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතාවය පිළිබඳ සංවේදී වනු ඇති බවට බොහෝ දෙනෙකු ගේ විශ්වාසයයි.

මේ වන විටත් මෙම කොවිඩ් වසංගත තත්ත්වය අතරතුර දරුවන් සහ තරුණයින් දැඩි අසීරුතාවයට පත් ව ඇති බවත්, ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සවන් දෙමින් යහපත් අනාගතයක් ගොඩනැඟීම සඳහා ඔවුන්ගේ වැඩ කටයුතු වේගවත් කිරීමට අතහිත දෙන බවට සහවි මහතා ප්‍රකාශ කර ඇත.

නදිම් සහවි ගේ ආගමනය අපට සිහිකැඳවන්නේ ප්‍රංශයේ ජාතික අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යවරිය වන නජාත් වලාඩ්-බෙල්කසෙම් ය. ඇල්ජීරියාවේ එඬේර පවුලක ඉපිද අනේකවිධ දුක්කම්කටොලු මැද ගොවිපල කටයුතු වලට උදව් කරමින් ජීවිකාව ගැටගහගත් කුඩා දැරියක වූ නජාත් අධ්‍යාපනය හදාරා අප්‍රතිහත කැපවීමකින් ජීවිතය ගොඩනඟා ගෙන දේශපාලනයට පිවිස අද වන විට ප්‍රංශයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රභලම රජයේ ධුරයක් හොබවන පුද්ගලයකු බවට පත්ව ඇත.

Photo: FE Week



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි