×

බැල්ටිමෝරයේ සිංහයා – 3

වහල් හිමියන්ගේ මෙම අවබෝධයත් ඔවුන් මේවා ක්‍රියාත්මක කළ ආකාරයත් ඉතා බාල වියේ සිටම තේරුම් ගැනීමට පටන් ගත් ෆෙඞ්රික් ඩග්ලස් වහල් ක්‍රමය පිළිබඳ ඉතා පරිපූර්ණ අවබෝධයක් ඇති කර ගත්තේය. පසු කාලයේදී ඔහුගේ අතින්ම ලියැවුණු චරිතාපදානය තුළින් ඔහු එම අවබෝධය ඉතා පුළුල් ව විස්තර කර ඇත. වහල් භාවය පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීමේ අත්පොතක් ලෙස මෙම පොත ප්‍රයෝජනවත් ය.- බැසිල් ප්‍රනාන්දු


ෆ්‍රෙඞ්රික් හියු ස්වාමියා ගේ නිවසේ සත් අවුරුද්දක් පමණ ජීවත් විය. මේ කාලය තුළ ඔහු කියවීම ට හා ලිවීමට ඉගෙන ගැනීමෙන් වළක්වාලීමට කිසිවක ට හැකි නොවීය. මේ අරමුණ මුදුන්පත් කර ගැනීමේදී ඔහුට බෙහෙවින් උපායශීලී වන්නට සිදුවිය. ඔහුට විධිමත් ගුරුවරයෙක් නොවීය. ඔහුට කාරුණික ව උගැන්වීම පටන්ගත් ඔහුගේ ආර්යාව සිය සැමියාගේ උපදෙස් හා මගපෙන්වීම මත තවදුරටත් උගැන්වීම ට මැලිවූවා පමණක් නොව තවත් කෙනෙකු හට උගන්වන්නේ නම් එයට නොමනාපය පෙන්වීමට ද පටන් ගත්තාය.

මේ සම්බන්ධයෙන් ඔහු යොදාගත් ඉතාම සාර්ථක වූ උපක්‍රමය වූයේ, වීදියේදී හමුවන කුඩා සුදු ජාතික කොල්ලන් සමග මිතුරු වීමයි. ඔවුන්ගෙන් හැකි පමණක් ඔහු විසින් ගුරුවරුන් බවට පත් කෙරිණි.

විවිධ වේලාවල්වලදී-විවිධ තැන්වලදී ඔවුන්ගෙන් ලත් කාරුණික ආධාරයෙන් ඔහු අවසානයේ කියවීමට උගත්තේය. ඔහු ව පණිවුඩ යැවීම ට යවනු ලැබූ විට, හැම විටෙකම ඒ සමග පොතක්ද ගෙන යන ඔහු, පණිවුඩය භාරදීමේ කොටස හැකි ඉක්මනින් අවසන් කර ආපසු පැමිණීමට පෙර කියවීමේ පාඩමක් උගැනීමට වේලාව සොයාගත්තේය.

පණිවුඩ ගෙනයාමේදී, තමන් ව හැම විටෙකම සාදරයෙන් පිළිගත් නිවසේ ඇති තරම් වූ ලබාගත් පාන් කෑල්ලක් ද මේ ගමන්වලදී ගෙනයන්නට පුරුදු ව සිටියේය. එම පාන් කැබැලි ඔහු පිරිනැමුවේ ඒ වෙනුවට දැනුම නමැති වඩා අගනා පාන් ඔහුට ලබාදෙන බෙහෙවින් දුප්පත් සුදු ජාතික කොලු පැංචන් වෙත ය.

ඒ වන විට ඔහු ග් වයස අවුරුදු දොළොසක් පමණ විය. ජීවිත කාලය පුරා ම වහලෙකු වීම මේ වන විට ඔහුගේ සිතට විශාල බරක් වන්නට පටන් ගෙන තිබිණි. හරියටම මේ කාලයේ “කොළොම්බියානු කථිකයා” නමැති පොතක් ඔහුට ලැබිණි. ලද සෑම අවස්ථාවකදීම ඔහු මේ පොත කියවීය. එහි වූ සෙසු සිත්ගන්නාසුලු දේ අතර, වහලෙකු සිය ස්වාමියා සමග ඇතිකරගන්නා සංවාදයක් විය.

එහි වහලා නිරූපණය කළේ සිය ස්වාමියාගෙන් තුන්වරක් පැනයාමට උත්සාහ කළ අයෙක් මෙනි. සංවාදය ඇතිවන්නේ වහලා තුන්වන වරටත් නැවත ගෙන ආ විට-ඔවුන් දෙදෙනා අතර ය. මේ සංවාදයේදී වහල්භාවය පිළිබඳ සමස්ත වාදය ම ස්වාමියා විසින් ගෙන එනු අතර වහලා එම තර්ක හැම එකක්ම බිඳ දමයි. වහලා සිත් කාවදින හා ශූර අන්දමට සිය ස්වාමියා ට පිළිතුරු දුන්නේ ය. එම සංවාදයේ ප්‍රතිඵලය ලෙසට ස්වාමියා ඔහු ව වහල්භාවයෙන් මුදවාලීය.

ෆ්‍රෙඩ්රික් තමන්ගේ ජීවිතය ගැන නිතර වදවෙන්නට පටන් ගත්තේය. මිය යන්නේ නම් මැනවැයි ප්‍රාර්ථනා කරන්නට විය. නිදහස ලැබීම සඳහා මිය යෑමට පවා ඔහු සූදානම් ව සිටියේය. එසේ නැතිනම් තමන්ව මරා දැමිය හැකි යම්දෙයක් කිරීමට ඔහු සූදානමින් සිටියේය.

සිතෙහි පැවති මේ තත්වය තුළ ඕනෑම කෙනෙක් වහල්භාවය ගැන කතා කරනු ඔහු අසා සිටියේ මහත් ආශාවෙනි.

දිනක්, අසල වූ වරායක පාරු බත්තලකින් අයිරිෂ් ජාතිකයන් දෙදෙනෙක් ගල් තොගයක් බාමින් සිටියිදී ඔවුන්ගෙන් කැඳවීමක් නොලද ම එතැනට ගිය ෆ්‍රෙඞ්රික් ඔවුන් ට ඒ සඳහා උපකාර කළේය. කාර්යය අවසන් වූ විට ඒ දෙදෙනාගෙන් එකෙකු පැමිණ ඔහු වහලෙකු දැයි ඇසීය. එසේ යැයි ඔහු පිළිතුරු දුන්නේය. එවිට, මැරෙනකල් ම උඹ වහලෙක් දැයි” අයිරිෂ් ජාතිකයා ඇසුවේය. එය එසේ යැයි ෆ්‍රෙඞ්රික් පිළිතුරු දුන්නේය.

යහපත් අයිරිෂ් ජාතිකයා මෙවදනින් බොහෝ කම්පනයට පත් වූ බවක් පෙනිණි. ෆ්‍රෙඞ්රික් වැනි තරුණ අයෙක් ජීවිත කාලය පුරා ම වහලෙකු ලෙස සිටීම කණගාටුවට කරුණකැයි ඔහු අනෙකා අමතා කීය. ෆ්‍රෙඞ්රික් ව මේ ආකාරයෙන් තබාගැනීම ලැජ්ජාවකැයි කියූ ඔවුන්ගේ උපදෙස වූයේ පළා යන ලෙසයි. පළාගිය විට මිතුරන් සොයාගැනීමටත් නිදහස ලැබීමටත් හැකි වනු ඇත. නමුත් ඒ කී බස ගැන තමන් උනන්දු නැතැයි ෆ්‍රෙඞ්රික් පෙන්වූ අතර ඔහු හැසිරුණේ ඔවුන් පවසන දෙය නොවැටහෙන අයෙකු මෙනි.

එයට හේතුව වූයේ ඔවුන් ද්‍රෝහීන් යැයි ඔහු බිය වීමයි. වහලුන්ට පැන යාමට උදව් කර,මුදල් තෑගි ලබාගැනීම සඳහා ඔවුන් ව නැවත සිය ස්වාමිවරුන් වෙත ගෙන එන්නන් ලෙස සුදු ජාතිකයෝ ප්‍රසිද්ධ ව සිටියෝය.

සුදු ජාතිකයන් විසින් තමන් ව එවැනි දෙයකට යොදාගනු ඇතැයි ඔහු බිය වුවද ඔවුන්ගේ අවවාදය ඔහු කිසිවිටෙක අමතක නොකළේය. ඔහු මගබලමින් සිටියේ පැන යාම සඳහා ආරක්ෂිත කාලයක් උදා වන තෙක් ය. එවැන්නක් එතරම් කඩිමුඩියේ කරනු ලැබීම සඳහා ඔහු ළාබාල වැඩි විය. ඒ වෙනුවට ඔහු උනන්දු වූයේ ලිවීය ඉගෙන ගැනීමට ය. පැන යාම සඳහා යම් දිනයක හොඳ අවස්ථාවක් සොයාගත යුතු යැයි සිතමින් ඔහු තමන්ව ම සනසා ගත්තේය. මේ අතර ඔහු අකුරු ලියන්නට ඉගෙන ගත යුතු විය.

ලියන්නට දත් ඕනෑම කොල්ලෙකු හමු වූ විට තමන්ට ද ඔහුට මෙන්ම ලියන්ට හැකි යැයි ෆ්‍රෙඞ්රික් කියයි. එවිට ඊළඟ බස වන්නේ එම කොල්ලා මෙසේ කීමයි. “මට උඹ ව විශ්වාස නෑ. අපි බලමු උඹ ලියන හැටි.” එවිට එම කොල්ලා අකුරු ලියා එයට අභියෝග කරන සේ ෆ්‍රෙඞ්රික් ට කියයි. මේ ක්‍රමයෙන් ඔහුට ලිවීම පිළිබඳ කදිම පාඩම් ඉගෙන ගත හැකි විය. එසේම මේ පාඩම් වෙනත් ලෙසකින් ඉගෙන ගත නොහැකි බව ද ඉතා පැහැදිලි කරුණක් විය. මේ කාලය තුළ ඔහුගේ කොපි පොත වූයේ ලෑලි වැට, ගඩොල් බිත්තිය සහ පදික වේදිකාවයි. ඔහුගේ පෑන සහ තීන්ත වූයේ රටහුණු ගොඩකි.

සිව්වන කොටසින් හමු වෙමු.

ඇමරිකානු වහලෙකුගේ කථාන්දරය – පෙර කොටස් සියල්ල මෙතැනින් කියවන්න..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි