×

බැල්ටිමෝරයේ සිංහයා – 2 කොටස

මෙතෙක් කතාව : මේරිලන්ඩ් හි ටැබ්ලට් කන්ට්‍රි ප්‍රදේශයේ ඊස්ටන් ත්‍අසල ෆ්‍රෙඞ්රික් ඩග්ලස් වහලෙකු ලෙස උපන්නේය. උපතේදී ඔහුගේ නම ෆ්‍රෙඞ්රික් ඔගස්ටස් වොෂින්ටන් බෙයිලි විය. ඔහුගේ උපත සිදුවූ අවුරුද්ද හරිහැටි නොදනිතත් එය 1818 වර්ෂය බව ඔහු දත්තේය. වයස සති කිහිපයක් පමණක් වූ විට සිය මවගෙන් වෙන් කළ ඔහු මවගේ දෙමාපියන් විසින් හදාවඩා ගැනිණි. වයස අවුරුදු හයේදී ඔහුගේ මිත්තණිය ඔහු ව වහල් ස්වාමියාගේ වතුයායට ගෙනැවිත් ඇරලවූවාය. අද එතැන් සිට...


ෆ්‍රෙඞ්රික් කර්නල් ලිලොයිඩ් ගේ වතුයායේ ජීවත්වන විට ඔහුට ලැබුණේ ද අනෙක් වහල් දරුවන් ට ලැබුණු ආකාරයේ ඉතාම සමාන සැලකීමකි. කුඹුරුවල වැඩ කිරීමට වයස නැති තරම් කුඩා වූයෙන් විශාල විවේක කාලයක් ඔහුට ලැබිණි. ඔහු විසින් වැඩිපුරම කළේ සන්ධ්‍යාවේදී එළදෙනුන් එළවීම, උද්‍යානයෙන් පක්ෂීන් එළවා දැමීම, මිදුල පිරිසිදු ව තබාගැනීම සහ මහලු ස්වාමියාගේ දියණිය වූ ලුක්‍රේෂියා ඔව්ල්ඞ් ගේ පණිවුඩ ගෙන දිවීමයි. ඩැනියෙල් ලිලොයිඞ් විසින් කුරුල්ලන් ට වෙඩි තැබීමෙන් පසුව උන් ව සොයාදීමට ඔහු සිය විවේක කාලයෙන් වැඩි කොටස ගත කළේය. ඩැනියෙල් ස්වාමියා සමග ඔහුගේ පැවති සම්බන්ධය ඔහුට වාසියක් විය. ඔහු ෆ්‍රෙඞ්රික් සමග යම් සමීපත්වයක් ගොඩ නගා ගෙන සිටි අතර ෆ්‍රෙඞ්රික් හට එක්තරා ආකාරයක ආරක්ෂකයෙකු විය. ෆ්‍රෙඞ්රික් හට වැඩිමහලු කොල්ලන් ගේ දඬුවම්වලට ලක්වීමට ඔහු ඉඩ නුදුන්නේය. සිය කේක් ෆ්‍රෙඞ්රික් සමග බෙදාහදා ගත්තේය.

ඔහු ද මහලු ස්වාමියා අතින් ඉඳහිට කස පහර කෑවේය. කුසගින්න සහ ශීතල හැර අන් ඕනෑම දෙයකින් මද වශයෙන් දුක් වින්දේය. ඔහු කුසගින්නෙන් බොහෝ සේ දුක් විඳි අතර ශීතලෙන් ඊටත් වඩා දුක් වින්දේය. උණුසුම් ම ගිම්හානයේ ද ශීතල ම ශීත සෘතුවේ ද සපත්තු, මේස්, ජැකට්, කලිසම් කිසිවක් ම නැතිව හණ රෙද්දකින් පමණක් විළි වසාගෙන මුළුමනින්ම පාහේ නිර්වස්ත්‍ර ව සිටියේය. ඒ හණ රෙද්ද ඔහුගේ දණ තෙක් පමණක් දිග විය. ඔහුට ඇඳක් නොවීය. ශීතලේ මැරෙන්නට පවා තිබිණි. නමුත් ශීතල ම රාත්‍රීන් හිදී මෝලෙන් තිරිඟු ගෙන ඒම සඳහා යොදාගත් මල්ලක් සොරකම්කිරීමට ඔහු සමත් විය. මේ මල්ලට රිංගා යන ඔහු හිස ඇතුළතද දෙපා පිටතද සිටින සේ, ශීතල-තෙතබරිත මැටි පොළොවේ නිදා ගනියි.

වහලුන් ට විධිමත් ලෙස දීමනාව ලබාදුන්නේ නැත. ඔවුන්ගේ ආහාරය වූයේ තැම්බූ ඉරිඟු ය. එයට තලපය යැයි කියනු ලැබීය. එය විශාල ලී තැටියක හෝ කොරහක දමා බිමින් තියයි. ඉන්පසු ළමයින් ට අඬ ගැසෙන අතර ඔවුහු ඌරන් තොගයක් මෙන් දිව අවුත් එය ගිල දමති. ඇතැමුන් තලප තලි පිටින් ගන්නේ බෙලි කටු වලිනි. සෙස්සන් අත්වලිනි. හැඳිවලින් නම් නොවේ. වේගයෙන් ගිල දමන්නාට වැඩියෙන් ලැබේ. ශක්තිවන්තයා ට වැඩියෙන් ලැබේ. කිහිප දෙනෙක් පමණක් මේ කෑමෙන් තෘප්තිමත් වෙති.

කර්නල් ලිලොයිඞ් ගේ වතුයාය හැරදමා යන විට ඔහුගේ වයස අවුරුදු හතක් හෝ අටක් අතර ප්‍රමාණයක් විය හැකිය. එය ඔහු විසින් අත්දුටු ප්‍රීතිමත් ම දවස් වලින් එකකි. ගමනට ඉතිරි ව තිබූ දිනවලින් වැඩි කොටස ඔහු ගත කළේ කලපුවට ගොස් ඇඟේ තැවරී තිබූ වතුයායේ කුණු සෝදා දමා ඒ සමුගැනීමට ලැහැස්ති වන්නට ය.

සෙනසුරාදා උදෑසනක ඔවුහු මයිල්ස් ගඟ දිගේ බැල්ටිමෝරයට යාත්‍රා කළහ. ෆ්‍රෙඞ්රික් ට මතක ඇත්තේ එය සෙනසුරාදාවක් වූ බව පමණි. එයට හේතුව, මාසයේ දින ගණන් හෝ අවුරුද්දේ මාසය පිළිබඳ ඒ වන විට ඔහුට දැනුමක් නොමැති වූ නිසා ය. එදින සවස්වරුවේ ඔවුහු ප්‍රාන්තයේ අගනගරය වූ වෙත ළඟා වූහ. අවුල්ඞ් මහතා සහ එම මහත්මිය නිවසේ සිටි අතර සිය කුඩා පුතු තෝමස් සමග ඔවුහු ෆ්‍රෙඞ්රික් ව හමුවූහ. ෆ්‍රෙඞ්රික් රැකබලාගත යුතු වූයේ මේ කුඩා ස්වාමියාව ය. මෙහිදී පෙර කිසිදා දැක නොතිබූ දෙයක් ඔහු දිටීය. එය නම්, අතිශයින් ම කාරුණික හැඟීම්වලින් බබළමින් තිබූ සුදු පැහැති මුහුණකි. එය ඔහුගේ අලුත් ස්වාමි දියණිය වූ සොෆියා අවුල්ඞ් ගේ මුහුණ විය. ඇය එයට පෙර කිසිදා තමන් යටතේ වහලෙකු තබාගෙන නොසිටි අතර විවාහයට පෙර තමන්ගේම කර්මාන්තයක් ජීවිකාව පිණිස ගෙන ගිය තැනැත්තියකි. ඇගේ

ගුණ යහපත්කම දැක ෆ්‍රෙඞ්රික් අතිශයින් ම පුදුමයට පත්විය. නමුත් මේ කාරුණික හදවතේ එකී කාරුණිකත්වය ඉතිරි ව පැවතියේ තවත් මද කලක් පමණි. වගකීම් රහිත බලයේ මාරක විෂ ඒ වන විටත් ඇගේ දෑත්වල වූයෙන් ඉක්මනින් ම එකී වගකීම් රහිත භාවය විසින් ශාපලත් ක්‍රියාවන් සිදුකිරීම ආරම්භ කළේය. වහල්භාවයේ බලපෑම නිසා ඒ කාන්තිමත් දෙනෙත ඉක්මනින් ම රතු සහ වියරු පැහැයට හැරිණි. මිහිරි සම්මුතීන් බිහිකළ ඒ කටහඬ රළු සහ බියකරු විසම්මුතීන් බිහිකරන්නක් බවට පත් විය. දිව්‍යමය මුහුණ යක්ෂයෙකු ගේ මුහුණක් බවට හැරුණේය.

කෙසේ නමුත් ඔහු අවුල්ඞ් මහතා සහ එම මහත්මිය සමග ජීවත්වීමට ගොස් ඉතා ඉක්මනින්ම ඈ ඔහුට කාරුණික ලෙස අකුරු කියා දීම ඇරඹුවාය. ෆ්‍රෙඞ්රික් විසින් එය උගත් විට ඇය අකුරු තුනෙහි සහ හතරෙහි වදන් උච්ඡාරණය කරන ආකාරය කියා දුන්නාය. එතරම් දියුණුවක් ලබාගත් වහාම පාහේ අවුල්ඞ් මහතා සිදුවන දෙය සොයාගත්තෙන්, තවදුරටත් මට උගැන්වීම අවුල්ඞ් මහත්මිය වෙත එසැණින් තහනම් කළේය. ඔහු එසේ කළේ, සෙසු දේ අතර, වහලෙකු ට අකුරු කියවීමට උගැන්වීම නීති විරෝධී මෙන්ම අනාරක්ෂිත බව ද ඇය ට කියමිනි.

“ඔබ කල්ලෙකුට අඟලක් දුන්නොත් මිනිහ ඒකෙන් අඟල් හතළිස් පහක් ගන්නවා. තමන්ගෙ ස්වාමියා ට කීකරු වෙන එක-ඔහු කියන දේ කරන එක මිසක් වෙන කිසිම දෙයක් කල්ලෙක් දැනගන්න ඕනෙ නෑ. මේ ලෝකෙ ඉන්න හොඳ ම කල්ලව වුණත් නාස්ති කරල දාන්න ඉගැන්නිල්ලට පුළුවන්.” ඔහු කීවේය.

ඒ නිමේෂයේ වහල් භවයේ සිට නිදහස දක්වා වූ මාවත හේ දැනගත්තේය. ඔහුට උවමනා වූයේ එපමණකි.

3 වන කොටසින් හමු වෙමු.


බැල්ටිමෝරයේ සිංහයා – 1



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි