×

බැල්ටිමෝරයේ සිංහයා – 1 කොටස

මේරිලන්ඞ් හි වහලෙකු ව උපන් ෆ්‍රෙඞ්රික් ඩග්ලස් වහල් භාවයෙන් පැනගොස් අවසානයේ නිදහස් මිනිසෙකු බවට පත්විය. වහල්භාවය අහෝසි කළ ඇමරිකාවේ ශ්‍රේෂ්ඨ ජනපති ඒබ්‍රහම් ලින්කන්ගේ ළඟම හිතෛෂියෙකු බවට ද විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු බවට ද ඔහු පත් විය. සෙස්සන්ගේ නිදහස සහ ඔවුන්ගේ අයිතීන් සඳහා දිවි ඇති තෙක් ඔහු කළ අරගලය ඇමරිකානු ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයක සැඟවීගත්, සිත් සසල කරවන අතුරු කතාවකි.


  • නම : ෆ්‍රෙඞ්රික් ඔගස්ටස් වොෂින්ටන් බෙයිලි
  • මව : හැරියට් බෙයිලි (වහල් කාන්තාවකි)
  • පියා : නොදනී.
  • උපන් දිනය : නොදනී (1818 පෙබරවාරියේ දිනයක් යැයි සැලකේ)
  • උපන් ස්ථානය : ඇමරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රන්තයේ ටැබ්ලට් කන්ට්‍රි ප්‍රදේශය
  • මරණය : ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. හිදී(මිය යන විට වයස අවුරුදු 77 කි)
  • අන්වර්ථ නාමය : බැල්ටිමෝරයේ සිංහයා

ෆ්‍රෙඩ්රික් ගේ මව හැරියට් බෙයිලි නම් වූවාය. ඈ ෆ්‍රෙඩ්රික්ගේ සීයා හෝ මිත්තණියටත් වඩා කළු සම ඇත්තියකි. ෆ්‍රෙඩ්රික්ගේ පියා සුදු මිනිසෙකි. ඒ පියා ඔහුගේ වහල් ස්වාමියා යැයි ද කතාවක් කනින් කන කෙඳිරිණි.

මවගෙන් වෙන් කරනු ලැබීමෙන් පසුව ඇය කෙබඳු ආකාර තැනැත්තියක්දැයි දැන ගැනීම පිණිස ජීවිතයේ හතර හෝ පස් වතාවකට වඩා ඇයව ඔහු දුටුවේ නැත. ඒ හතර හෝ පස් වතාව ද ඉතා ලඝු ය. රාත්‍රියේදී ය. ඈව කුලිය ට ගනු ලැබ තිබුණේ ඔහුගේ නිවසින් සැතපුම් දොළහක් එපිටින් ජීවත් වූ ස්ටුවට් මහතා විසිනි. ඈ ෆ්‍රෙඞ්රික් බැලීම පිණිස කුදු මහත් දෛනික වැඩ කටයුතු අවසන් කර මුළු දුරම පයින් ඇවිදිමින් රෑ බෝ වූ පසුව ආවාය. ඈ ට ස්වාමියාගේ කුඹුරු වැඩ තිබිණි. හිරු නගින විට කුඹුරෙහි නොසිටීම සඳහා දඬුවම කස පහර කෑම විය. වහලෙකු ට එය එසේ නොවන්නේ සිය ස්වාමියාගෙන් ඔහුට හෝ ඇයට විශේෂ අවසරයක් ලැබී ඇත්නම් පමණි. දිවා ආලෝකයෙන් ඔහු කිසිදින ඔහුගේ මව නොදිටීය. ඔහුට සත් අවුරුදු වන විට ඈ මිය ගියේ ඔහුගේ වහල් ස්වාමියාට අයත් එක් ගොවිපළකදී ය. ඈ රෝගාතුර ව සිටියදී ඔහුට ඇය බැලීමට යාමට ඉඩ නොලැබුණි. මරණයේදී ද වැළලීමේදී ද එසේම ය. ඒ ගැන කිසිවක් දැන ගැනීමට බොහෝ කලකට පෙර ඈ යන්නට ගියාය. ඔහුගේ පියා කවරෙක්දැයි සුළු ම හෝ සංඥාවක් ලබානොදී ඈ යන්නට ගියාය.

ඔහුට වහල් ස්වාමිවරු දෙදෙනෙක් වූහ. පළමු වහල් ඔස්වාමියාගේ නම ඇන්තනී ය. ධනවත් වහල් හිමියෙක් ලෙස ඔහු නොසැලකිණි. ඔහුට හිමිකම තිබුණේ ගොවිපොළ දෙකක හෝ තුනක හා වහලුන් තිස් දෙනෙකුගේ පමණි. ඔහුගේ වහලුන් ද ගොවිපොළ ද වැඩ අධීක්ෂකයෙකු හෙවත් වහල් කංකානම් යටතේ විය. පිටරැටියාගේ නම ප්ලමර් ය. ප්ලමර් මහතා කාලකණ්නි බේබදුවෙකි. දෙවියන් ට ද අසභ්‍ය බසින් සැහැසි දිවුරම් කරන්නෙකි. දුෂ්ට දාමරිකයෙකි. ඔහු ශිෂ්ටසම්පන්න වහල් හිමියෙකු නම් නොවීය. ඔහු වහලුන් දිගු කලක් මේච්චල් කිරීමෙන් දැඩි වූ කෲර සිත් ඇත්තෙකි. වහලෙකු ට කසයෙන් තළන වේලාවන් හිදී ඔහු එයින් අති මහත් තෘප්තියක් ලබන ආකාරය දැකිය හැකිය.

ෆ්‍රෙඞ්රික් බොහෝ දිනවල අළුයම ඇහැරුණේ ඔහුගේ ම නැන්දණිය යටි ගිරියෙන් මර හඬ තළනු අසමිනි. ඇය ව පරාලයක එල්ලා ඇගේ මුළු සිරුර ම ලෙයින් වැසී යන තෙක් ඇගේ නිරුවත් පිට ට කසයෙන් තැළීමට වහල් ස්වාමියා පුරුදු ව සිටියේය. ඔහුගේ යකඩ හදවත ක්‍රෑර අරමුණ වෙත යොමුවන බව පෙනෙන විට කැටි ගැසුණු ලේ සහිත ඔහුගේ ගොදුරෙන් වචනයක් පවා නොනැගේ. කඳුලු නැත. අයැදීම් ද නැත.

අනෙක් වහල් ස්වාමියා වන කර්නල් ලිලොයිඞ් ඔහුගේ වතුයායේ වහලුන් තුන්සියයේ සිට හාරසියය දක්වා ප්‍රමාණයක් තබාගත් අතර අසල්වැසි ගොවිපළවලට සිටියාට වඩා වැඩි වහලුන් ප්‍රමාණයක් ඔහු සතු විය.

මෙහිද සෙසු සියලු ගොවිපළවලද වහල්ලු සිය මාසික ආහාර දීමනාව සහ වාර්ෂික ඇඳුම් දීමනාව ලැබූහ. වහල්ලු ද වහලියෝ ද සිය මාසික ආහාර දීමනාව ලෙසින් ලැබූයේ ඌරු මස් රාත්තල් අටක්, හෝ ඒ බරට සරිලන මාළු සහ ඉරිඟු ඇට බුසලකි. වසරකට ඔවුන් ට ලැබෙන ඇඳුම් සමන්විත වූයේ හණ කමිස දෙකකින්, කමිස වැනි ම හණ කලිසමකින්, එක් ජැකට්ටුවකින්, ශීත සෘතුවට ඇඳීම සඳහා නීග්‍රෝ රෙද්දෙන් මසන ලද කලිසමකින්, මේස් දෙකකින් සහ සපත්තු දෙකකිනි. ඒ සියල්ලේ ම වටිනාකම ඩොලර් හතකට වඩා වැඩි විය නොහැකි ය. වහල් දරුවන්ගේ දීමනාව ඔවුන්ගේ මවුන් ට හෝ ඔවුන් ව රැකබලාගන්නා වියපත් කාන්තාවන් ට ලබාදිණි. වතු වැඩ කිරීමට අසමත් වූ දරුවන්ට සපත්තු, මේස්, ජැකට් හෝ කලිසම් ලබා දුන්නේ නැත. ඔවුන්ගේ ඇඳුම් සමන්විත වූයේ වසරක් සඳහා ලබාදෙන හණ කමිස දෙකකිනි. එය අවසන් වූ විට මීළඟ දීමනා දිනය වන තෙක් ඔවුහු නිර්වස්ත්‍ර ව සිටියහ. වයස අවුරුදු හතේ සිට දහය දක්වා වූ ගැහැනු පිරිමි ළමුන් දෙපිරිසම වසරේ හැම සෘතුවකදීම නිරුවත් ව සිටින අයුරු දැකිය හැකි විය. ප්‍රධාන උයන්පල්ලා ට අමතර ව පිරිමින් සිව්දෙනෙකුගේ සේවය නිරන්තරයෙන් අවශ්‍ය වූ, විශාල සහ මනාව වගා කළ උද්‍යානයක් කර්නල් ලිලොයිඞ් තබාගත්තේය. මේ උද්‍යානය මෙතැන පිහිටි වඩාත් ම ආකර්ෂණීය ස්ථානය විය හැකිය.

ගිම්හාන සෘතුවලදී දුරිනුත් ළඟිනුත් මිනිස්සු එය බැලීමට එති. බැල්ටිමෝරයේ, ඊස්ටන් හා ඇනාපොලිස් හි සිට එය නැරඹීමට එති. එය හැම ආකාරයකම පළතුරුවලින්-උතුරේ ලෙහෙසියෙන් වැවෙන ඇපල්වල සිට දකුණේ මිහිරි දොඩම් දක්වා හැම පළතුරකින් ම එය සමෘද්ධිමත් විය. කර්නල් ලිලොයිඞ් දස දෙනෙකුගේ සිට පහළොස් දෙනෙකු අතර ප්‍රමාණයක අතවැසියන් පිරිසක් සිය නිවසේ තබා ගත්තේය. ඔහු සතු ව වහලුන් දහසක් දෙනා සිටිතැයි කියැවේ. නමුත් එය සත්‍යයෙන් බැහැර වූවක් විය හැකිය. කර්නල් ලිලොයිඞ් වහලුන් අති විශාල සංඛ්‍යාවක හිමිකරු විය. එම වහලුන් මග තොටදී දුටුව ද මේ තමන්ගේ වහලෙක් යැයි හඳුනාගැනීමට නොහැකි තරම් එම සංඛ්‍යාව විශාල වූ අතර දුර බැහැර පිහිටි ගොවිපොළවල සිටි වහල්ලු ද ඔහු ව දුටු විට හඳුනාගැනීමට අපොහොසත් වූහ. මේ ගැන පවතින එක් කතාන්දරයකට අනුව දිනක් පාර දිගේ අසු එළවාගෙන යන අතර ඔහුට කලු මිනිසෙක් මුණ ගැසුණු අතර දකුණේ මහ පාරකදී කල්ලෙක් මුණ ගැසුණු විට කථා කරන සාමාන්‍ය ආකාරයට කර්නල් ලිලොයිඞ් ඔහු සමග කතා බස් කළේය. “හොඳයි, කොල්ලෝ, උඹ කාටද අයිති…?”

“කර්නල් ලිලොයිඞ් ට.”

වහලා පිළිතුරු දුන්නේය.

“කර්නල් උඹට හොඳට සලකනවද..?”

“නෑ සර්..” යන්න පිළිතුර විය.

“මොනවා..? මිනිහ උඹගෙන් හුඟක් වැඩ ගන්නවද…?”

“ඔව් සර්…”

“හොඳයි… ඇති වෙන්න කන්න දෙන්නෙ නැත්ද…?”

“ඔව් සර්.. ඇති වෙන්න දෙනවා.. තියෙන විදිහට…”

වහලා අයිති කාටදැයි සොයා දැනගත් කර්නල් අසු පන්නාගෙන ගියේය. කළු මිනිසා ද ආ කාරියට ගියේ තමන් කතා කළේ තම ස්වාමියා සමග බව සිහිනෙන්වත් නොසිතමිනි. එයින් පසු සති දෙක තුනක් යන තෙක් මේ ගැන කිසිවක්ම අසන්නට නොලැබුණේය. ඉන්පසු අසරණයා ට ඔහුගේ කංකානම විසින් දැනුම් දුන්නේ එම වහලා ඔහුගේ ස්වාමියා ට වරදක් කර ඇති නිසා ජෝර්ජියා හි වෙළෙන්දෙකු හට විකුණන බවයි. එසැණින් ඔහුට යදම් හා අත්මාංචු දමනු ලැබීය. ඉන්පසු ව මොහොතකටවත් දැනුම්දීම ට පමා නොවී ඔහුව ඔහුගේ පවුලේ අයගෙන් ද මිතුරන්ගෙන් ද වෙන්කර ඩැහැගෙන තනි අතකින් ඇදගෙනයනු ලැබුවේ මරණ තරමට වඩා අඩු නොවූ ක්‍රෝධයකිනි. මෙය, සරල ප්‍රශ්න මාලාවකට පිළිතුරු වශයෙන් සරල සත්‍යයක් පැවසීම වෙනුවෙන් වූ දඬුවම විය!

දෙවන කොටස හෙට…



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි