×

කුජ ග්‍රහයා මත සිටි ‘ඔපචුනිටි‘ මියයයි.

පුරා 15 වසරක් කුජ හෙවත් අඟහරු ග්‍රහයා ගැන අප සිතූ අන්දම වෙනස් කිරීමට දත්ත සහ තොරතුරු එවූ ‘ඔපචුනිටි රෝවර් යානය‘ මරණයට පත්ව ඇති බව නාසා ආයතනය තහවුරු කළේය.


මේ ගොල්ෆ් කරත්තයක් ප්‍රමාණයේ රෝවර් යානය, කුජ ග්‍රහයා හෙවත් අඟහරු ගැන මිනිසා සිතා සිටි බොහෝ දේ වෙනස් කළේය. මෙයට මාස 8කට පෙර එය පෘථිවිය සමග පවත්වාගෙන යමින් සිටි සියලුම සබඳතා එකවරම නතර කර දමයි. විද්‍යාඥයන් පසුව සොයාගත්තේ කුජ ග්‍රහයා මතදී ඔපචුනිටි දුහුවිලි කුණාටුවකට හසුවූ බව ය. අද දිනයේ නාසා ආයතනය ස්ථිර ලෙස කියා සිටියේ, ඔපචුනිටි මිය ගියා සේ සැලකිය යුතු බව ය. ඒ, අඟහරුවාදා දිනයේදී ද ඔපචුනිටි සම්බන්ධ කර ගැනීමට ගත් අවසන් උත්සාහයත් අසාර්ථක වීමෙන් පසුව ය.

‘‘මා මෙතැන සිටගෙන සිටින්නේ අති මහත් කෘතඥතාවය හේතුවෙන් ගල්වු හදවතින් යුතුවය.‘ යැයි ඔපචුනිටි රෝවරයේ මෙහෙයුම් භාරව සිටි නාසා ආයතනයේ විද්‍යාඥ සුබුකෙන් පවසයි.

2004 ජනවාරි මාසයේ ඔපචුනිටි යානය අඟහරු මතට යැවුණේ ‘ස්පිරිට්‘නමැති එහි නිවුන් සහෝදරයා අඟහරු මතට යවා මද වේලාවකට පසුව ය. ඒ දෙදෙනාම නාසා ආයතනයේ අඟහරු ගවේෂනය කරන Mars Exploration Rover වැඩසටහනේ කොටස්කරුවන් ය. නමුත් ස්පිරිට් හට ඔපචුනිටි තරම් අලුත් පරිසරය අල්ලාගෙන සිටින්නට බැරි විය. එය කුජගේ පස තුළ 2009 වසර වන විට සිරවී මියැදුණේය. 2011 වසරේදී එය අකර්මණ්‍ය තත්වයට පත්ව තිබෙන බව නිල වශයෙන් ප්‍රකාශ කරන්නට නාසා ආයතනයට සිදුවිය.

නමුත් ඔපචුනිටි තමන් යැවූ මෙහෙයුම වෙත සාවධාන ලෙසද, කැපවීමෙන් යුතුව ද ඇළී සිටියේය. පුරා පහළොස් වසරක් එය පෘථිවිය වෙත දත්ත එවීමට සමත් වන්නේ එනිසාය. සැබවින්ම එය, දුර බැහැර විශ්වයේ සිට පෘථිවිය ට තොරතුරු එවන භූ විද්‍යාඥයෙකුගේ කාර්යභාරය ඉටු කරමින් සිටියේය.

ඔපචුනිටි, එහි පියවරුන් බලාපොරොත්තු වූවාට වඩා බොහෝ දේ කළ කුඩා රෝවරයකි. මුලින් බලාපොරොත්තු වුණේ එය මීටර 1006 ක් පමණක් කුජ ග්‍රහයා මත ඇවිදිමින් අඟහරු දින 90 ක් පමණක් ඒ මත ජීවත් වෙතැයි කියා ය. නමුත් ඒ වෙනුවට ඔපචුනිටි සැතපුම් 28 ක් කුජ මත කරක් ගැසුවේය. පළමු අඟහරු ශීත සෘතුවට පමණක් එය ඔරොත්තු දෙතැයි සිතුවත් පුරා වසර 15 ක් එය සියලුම ශීත සෘතුවලදී නොනැසී සිටියේය. සැබවින්ම එය රොබෝ මෙහෙයුමකටත් වඩා ‘මිනිසා විසින් කුජ ඇල්ලීමක්‘ කියා කීම නිවැරදි ය.

අවසානයේ ඔපචුනිටි සදහටම නිහඬ කර දැමුවේ අති දැවැන්ත සූර්ය කුණාටුවක් නිසා හටගත් දුහුවිලි කුණාටුවක් හේතුවෙනි. මෙය ‘ඓතිහාසික දුහුවිලි කුණාටුවක්‘ ලෙසට නාසා විද්‍යාඥයෝ හඳුන්වති. අහස දැඩි සේ අඳුරු විය. සිය සූර්ය පැනල ආරෝපණය කර ගැනීමට ඔපචුනිටි හට නොහැකි විය. එනිසා අවසානයේ පණ නොලබාම මිය ගියේය.

‘ඔපචුනිටි‘ අපට ලබාදුන් ‘අවස්ථාව‘

මේ එයින් කිහිපයකි.

අඟහරු මත අතීතයේ ජලය පැවති බව මිනිසා සොයාගත්තේ ඔපචුනිටි නිසා ය. ‘බ්ලූබෙරි‘ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ, යකඩවලින් පොහොසත් කුඩා ගෝල කුජගේ ආවාටයක් තුළ තිබෙන බව සොයාගත්තේ ඔපචුනිටි විසිනි. එන්ඩෙවර් නමැති එම ආවාටය සනාථ කරන්නේ, වරෙක අඟහරු ග්‍රහයා ස්වභාවික ජල ස්ථරයකින් වැසී තිබූ බව ය. එසේම, විද්‍යාවේ නියමය අනුව ජලය ජීවයේ සම්භවය හෙයින්, ජලය ඇති තැන ජීවයක් ද පවතියි. එය විශ්ව න්‍යායකි. ඒ අනුව කුජ ග්‍රහයා අතීතයේ එක් කලෙක ජීවීන්ට හිතකර පරිසරයක් තිබූ, ජීවය පැවති ග්‍රහලෝකයක් බව පෙනේ. තවද, මිනිසා විසින් පෘථිවිය නොවන වෙනත් ග්‍රහලෝකයකින් සොයාගත් පළමු උල්කාව හමුවුණේ ද ඔපචුනිටි හේතුවෙන් අඟහරු ග්‍රහයා මතිනි.

එසේම වරෙක මේ කුඩා රෝවර සගයා කුජ ග්‍රහයා ඇඹරී යන තරම් දැවැන්ත දුහුවිලි රකුසෙකුට නතු වී සිටින අයුරු දැක්වෙන අති දුර්ලභ ඡායාරූප පෙළක් ද එවන්නට සමත් විය. ඒ අතර, අඟහරු ආවාටවල අතිශය වැදගත් ඡායාරූප ගණනාවක් ද වූ අතර, නාසා විද්‍යාඥයන් පසුව සඳහන් කළේ ඒවා දුටු විට තමන්ට ‘හුස්ම ගැනීමටත් අමතක වූ බව‘ යි.

‘‘එය අඟහරු සහ එහි පරිණාමය ගැන අප සිතූ හැටි උඩු යටිකුරු කළා. ‘‘ යැයි නාසා විද්‍යාඥයෝ කියති.

නමටම ගැළපෙන කාර්යයක් කරමින් ‘ඔපචුනිටි‘ විසින් මිනිසා වෙත ලබාදුන් ඒ ‘අවස්ථාවන්‘ නිසා මෙතැනින් එහාට පෘථිවි මිනිසා කුජ ග්‍රහයා සම්බන්ධයෙන් කෙසේ හැසිරිය යුතුද යන්න ගැන පැහැදිලි අදහසක් දැන් විද්‍යාඥයන් තුළ ඇත. මේ අනුව මීළඟ පියවර වනු ඇත්තේ එය හාරමින් ජීවයේ සලකුණු සෙවීමයි. එම කාර්යය පැවරී තිබෙන්නේ ‘එක්සොමාස්‘ රෝවරය වෙත ය. කුජ මතුපිට මීටර 2 ක් පමණ විදගෙන ගොස් එහි තත්වය විශ්ලේෂණය කිරීම එයට බාර ය.

https://twitter.com/tanyaofmars/status/1095580232797450241/photo/1?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1095580232797450241&ref_url=https%3A%2F%2Fwww.theguardian.com%2Fscience%2F2019%2Ffeb%2F13%2Fnasa-makes-final-attempt-to-communicate-with-mars-rover-opportunity

ඔපචුනිටි සමුගෙන ඇති බව දැනගැනීම, ඒ මෙහෙයුම බාරව සිටි පෘථිවි මිනිසුන්ට හැඟීම්බර මොහොතක්ම විය. ආචාර්ය තාන්යා හැරිසන්ගේ ට්විටර් සටහන එයට දෙස් දෙයි. එහි මෙසේ සඳහන් වේ.

‘‘දැන් තිබෙන්නේ කඳුළු.. සහ ශෝකයෙන් වැළඳ ගැනීම් ය. ඒවා අප අතීතයේ සතුටින් සිනාසුණු අවස්ථාවන් හා මතකයන්ගේ සැමරුම් ය!“



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි