×

කථානායකට රට භාරදී කසාක් නායකයා 30 වසරකට පසු ගෙදර යයි!

පුරා දශක තුනක් එනම්, කසකස්ථානය සෝවියට් සංගමයෙන් නිදහස ලබාගත් දින පටන් එරට පාලනය කළ ජනාධිපති නූර්සුල්තාන් නසාර්බයෙව් (Nursultan Nazarbayev) තමන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය.


ඒ, හදිසියේ රූපවාහිනිය ඔස්සේ පෙනී සිටිමිනි.

මේ තීරණය ලෙහෙසි එකක් නොවන බව පමණක් එහිදී ඔහු පැවසුවේය.

එනම්, නූර්සුල්තාන් මේ ඉල්ලා අස්වීමට හේතු දැක්වූයේ නැත.

මේ වන විට නූර්සුල්තාන් නසාර්බයෙව් 78 හැවිරිදි ය. තෙල් සම්පතෙන් ආඩ්‍ය දේශයක් වන කසකස්ථානය, 1989 වසරේ පටන් මේ දක්වා පාලනය කළේ ඔහු විසිනි. එවකට කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වූ ඔහු, 1991 වසරේදී, සෝවියට් සංගමය බිඳ වැටීමට සති කිහිපයකට පෙර රටේ මහජන ඡන්දයෙන් තේරී පත් වූ පළමු ජනාධිපතිවරයා බවට පත්විය.

නූර්සුල්තාන් නසාර්බයෙව් රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ වෙත දැඩි අවධානයක් යොමු කළ අතරම, දේශපාලන තන්ත්‍රය ප්‍රජාතාන්ත්‍රික වෙනස්කම් වලට ලක් කිරීමෙන් හැකිතාක් වැළකී සිටියේය. කෙසේ නමුත් මේ දශක 3 මුළුල්ලේම ඔහුගේ පාලනයට එරෙහිව රට තුළින් විරෝධයක් ගොඩ නැගුණේ ද නැති තරම් ය. එසේම 2020 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ද නැවත ජනාධිපති ලෙස ඔහු තේරී පත්වේ යැයි ජනතාව බලාපොරොත්තු වූ අතර, කිසිදු විටෙක දේශපාලන අනුප්‍රාප්තිකයෙකු පිළිබඳව ද ඔහු කිසිවිටෙක ඉඟි කර තිබුණේ නැත.

පසුගිය 2015 වසරේදී ඔහු පිටපිට පස්වැනි වතාවටත් කසකස්ථානයේ ජනාධිපති ධුරයට පත්විය.

එසේම පසුගිය මැයි මාසයේදී නූර්සුල්තාන් කසකස්ථානයේ ප්‍රබලතම ආයතනයක් වන ආරක්ෂක කවුන්සිලයේ ද ‘දිවි ඇති තෙක්‘ නායකයා පදවියට පත් විය.

එනිසා ‘‘මා ජනාධිපති වශයෙන් මට ඇති බලතල අත හැරීමට තීරණය කළා‘‘ යැයි හදිසියේම ඔහු ඊයේ පැවසුවේ ජනතාව මහත් සේ පුදුමයට පත් කරමිනි.

‘‘මේ අවුරුද්දට මා රටේ ඉහළම පදවිය හොබවා වසර 30 ක් සම්පූර්ණ වෙනවා. ස්වාධීන කසාක් රාජ්‍යයේ නිර්මාතෘවරයා වශයෙන් මගේ කාර්යය ලෙස මා දැන් දකින්නේ රට ගමන් ගන්නා ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා හැකි අලුත් පරම්පරාවක නැගී සිටීම සඳහා පහසුකම් සැපයීමයි.“ යැයි ද ඔහු එහිදී කියා සිටියේය.

රූපවාහිනිය හරහා කළ එම ජාතිය ඇමතීමේදී තමන්ගේ ධුර කාලය අවසන් වන්නේ වසර 2020 මාර්තු මාසයේ බව නැවත වරක් සිහිපත් කළ ඔහු, ඒ දක්වා ජනාධිපති ධුරයේ වැඩ බැලීමට පාර්ලිමේන්තු කථානායක කාසිම් -ජොමාත් තොකායෙව් හට භාර කළේය.

කසාක් නායක නූර්සුල්තාන් නසාර්බයෙව් මෙයට මාසයකටත් අඩු කාලයකට පෙර තමන්ගේම ආණ්ඩුව විසුරුවා හැරියේ, රටේ කොතරම් බලශක්ති සම්පත් තිබුණ ද ආර්ථික සංවර්ධනය වේගවත් නොවීම ගැන දොස් පවරමිනි. ඉන්පසු ඔහු තමන්ට පක්ෂපාතී නව අගමැතිවරයෙක් ද පත් කර ගත්තේය.

මේ අතර, ජනාධිපති ධුරය අත්හැරිය ද ඔහු තවදුරටත් ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානියා වශයෙන් ද, පාලක ඔතාන් පක්ෂයේ නායකයා වශයෙන් ද කටයුතු කරනු ඇති බවට සැක පළ වේ.

එසේම ධුරය අතහැරිය ද ‘ජාතියේ නායකයා‘ (ලීඩර් ඔෆ් ද නේෂන්) නාමයෙන් ද ඔහුව තවදුරටත් හඳුන්වනු ඇති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි