×

කොරෝනාවට අමෝරන අවි නේපාලයේ කෝ?

කෙසේවෙතත් කලාපීය සහයෝගීතාව අනිවාර්යයෙන් නේපාලයට ලැබිය යුතුමය.


වත්මන් කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරා මරණයට පත් සංඛ්‍යාව 9000 ආසන්නයට පැමිණ පවතී. චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනා වසංගතය අද වන විට ලොව පුරා රටවල් සිය ගණනක ව්‍යාප්තව ඇති අතර, යුරෝපය තුළ පමණක් අතිශය දරුණු තත්වයක් පෙන්නුම් කරනු ලබයි.

මේ වන විට කොරෝනා වසංගත ප්‍රතිචාරයට ඉතාලිය, ස්පාඥ්ඥය, ප්‍රංශය, බෙල්ජියම ආදී රටවල් පූර්ණ වසා දැමීමකට (lockdown) ලක් කර තිබේ.

දකුණු ආසියාව යනු ලෝක ජනගහනයෙන් පහෙන් එකක් ජීවත් වන කලාපයයි. ලොව අවම වෛද්‍ය පහසුකම් ඇති රටවල් ඒ අතර වේ. චීනයට මායිම් ව පිහිටා තිබෙන ඉන්දියාව එම කලාපයේ තිබෙන ජනාකීර්ණම රාජ්‍යයයි. ඉන්දියාව තුළද කොරෝනා වසංගතයේ බලපෑම දක්නට ලැබෙන අතර, මේ වන විට 171 දෙනෙකු ආසාදනයට ලක්ව ඇති බවට වාර්තා වේ. වාර්තා වූ මරණ ගණන 3 කි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසු ගිය දින සාක් කලාපීය රටවල් සමඟ වීඩියෝ සමුළුවක් පවත්වන ලදී. ඒ කොරෝනා වසංගතය මැඩපැවැත්වීමේ කලාපීය සාමූහිකත්වය ගොඩනැංවීම සඳහා යි. ශ්‍රී ලංකාව ද මීට සහභාගී විය.

කොරෝනා වසංගතය මැඩපැවැත්වීම සඳහා හදිසි සාක් අරමුදලක් පිහිටුවීමට යෝජනා කළ මෝදී ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 10ක් එයට ආයෝජනය කරන බවට පැවසීය.

නේපාලයේ පාලකයා අසනීපෙන්!

කොරෝනා වසංගතය තුළ නේපාලය පසුවන්නේ ඉතාමත් තීරණාත්මක අදියරක ය. මීට බලපාන හේතු කිහිපයක් පවතී. චීනය හා ඉන්දියාව අතර පිහිටා ඇති නේපාලය ඊට ආසන්නතම රටවලින් පැමිණෙන රෝගකාරක කෙරේ ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතී. ඊටත් වඩා, නේපාලයේ වත්මන් අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඔලී මහතා සිටින්නේ රෝගාතුරවය. ඒ වකුකඩු බද්ධ කිරීමේ සැත්කමකට මුහුණ පෑම නිසාය.

එවන් වාතාවරණයක් තුළ නේපාලයේ මහජන සෞඛ්‍යය පිළිබඳ අර්බුදයක් මතුවන විටකදී රටේ පරිපාලනය සම්බන්ධයෙන් ශක්තිමත් තීන්දුවක් ගැනීමේ තත්වයක රටේ පාලකයා නොසිටින බව අමුතුවෙන් කිව යුතු නැත.

නේපාලය හා ඉන්දියාව අතර විවෘත දේශසීමාවක් පවතී. මගී ගමනාගමනය හා භාණ්ඩ ප්‍රවාහන කටයුතු නිදහසේ සිදුවේ. බොහෝ චීන ජාතිකයන් නේපාලයේ සේවය කරන අතර, නේපාල ව්‍යාපාරිකයන් සහ සිසුන් නිතර චීනයට පැමිණීමත්, නැවත නේපාලයට පැමිණීමත්, ඇතැම් විට ඉන්දියාවට පැමිණීමත් සිදුවේ. ද්වී පාර්ශ්වික ගමනාගමනයක් අඛණ්ඩව සිදුවේ.

මීට අමතරව නේපාල ජාතිකයන් බොහොමයක් මැදපෙරදිග හා වෙනත් රටවල සේවයේ නියුතු වේ. ඔවුන් නිතර සිය මව්රට බලා පැමිණීම සිදුවේ. මෙම ක්‍රියාදාමයේ නියාමනයක් හෝ පාලනයක් සිදු නොවන්නේ නම් නේපාලය තුළ වෛරස අවදානම ඉහළ යාම වළක්වා ගත නොහැකි වනු ඇත.

පාලකයා අසනීපෙන් ය!!!

සැලසුම් ක්‍රියාත්මකද?

කෙසේවෙතත්, කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්වර් පොකරල් මහතා ඉහළ මට්ටමේ යාන්ත්‍රණයක් පිහිටුවා ඇති බව වාර්තා වේ. ඒ තුළ වීසා අවලංගු කිරීම, ජාත්‍යන්තර ගුවන් ගමන් අවම කිරීම, පරීක්ෂණ මධ්‍යස්ථාන බිහිකිරීම හා ආසාදිත පුද්ගලයින් වෙන් කිරීම ඇතුළු ක්‍රියාදාමයන් රැසක් සිදු කිරීමට සැලසුම් කර තිබේ.

ගැටළුව වන්නේ නේපාලයේ ඇති සම්පත් හිඟකමයි. එම වාතාවරණය තුළ (පාලකයා ද අසනීප වී සිටී) වසංගත තත්වයක් සමනය කිරීම සඳහා රජයට ධාරිතාවක් පවතින බවට මහජනතාවට සහතිකයක් ලබාදීමට නේපාලය අසමත් වී ඇත. ලොව දියුණුතම රටවල් පවා කොරෝනා වසංගත තත්වය හමුවේ අසරණ වී ඇති මෙම මොහොතේ නේපාලයේ හට ගෙන තිබෙන අවදානම ආමන්ත්‍රණය නොකරන තරම් ය.

වාර්තා වන තොරතුරු වලට අනුව නේපාලයේ කත්මණ්ඩු ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පරීක්ෂණ යාන්ත්‍රණය එතරම් සතුටුදායක නැත. ඊටත් වඩා ජාත්‍යන්තර තත්වයන් ට අනුව නේපාලයට පැමිණෙන පුද්ගලයින් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට යටත් කරන්නේද හා එය විධිමත්ව ක්‍රියාත්මක වන්නේ දැයි සහතිකයක් ලබා දී නොමැත. එය පසු විපරම් කර බැලීමට යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ ද නැත. වෙනකක් තබා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් හා එය ගැලපෙන්නේද යන්න පවා තහවුරු කර නොමැත. ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි නේපාල රජයේ කොරෝනා මර්දනයට ගෙන ඇති ක්‍රියාමාර්ගයන් හුදෙක් සැලසුම් පමණක් ය.

නේපාලයේ ඇතැම් පාසල් තවමත් විවෘතව පවතින අතර පළමු ශ්‍රේණියේ දරුවන් ඒවාහි අධ්‍යාපනයද හදාරන බව වාර්තා වේ. නේපාල රජය විසින් සමාජ දුරස්තභාවය පිළිබඳ සංකල්පය වටහා ගෙන ඇති බවක් නම් නොපෙනේ. තවමත් නේපාලය තුළ සමාජශාලා ක්‍රියාත්මක වේ. මහජන රැස්වීම් පවත්වයි. රාත්‍රී අවන්හල් ක්‍රියාත්මක වේ. රෝග අන්තරයාන් පිළිබඳ රජය හෝ මහජනතාව අවදි වී නැති සැටියකි.

කොවිඩ්-19 වසංගතය නිසා නේපාල ආර්ථිකයට සිදුවී ඇති හානිය තවමත් තක්සේරු කර නොමැත. වාර්තා වන අන්දමට නේපාලයේ දළ දේශීය නිශ්පාදිතයෙන් 30% කට පමණ දායක වන්නේ  ප්‍රේෂණයයි. නේපාලයේ මැදපෙරදිග ශ්‍රම බලකාය මෙම වසංගත තත්වයෙන් පීඩා විඳින බැවින් එය නිසැකවම නේපාලයේ ආර්ථිකයට බලපෑමට ඉඩ තිබේ.

යම් හෙයිකින් මහජන සෞඛ්‍යය පතා ඉන්දියාව නේපාලය සමඟ ඇති සියළුම මායිම් වෙළඳ ගනුදෙනු වසා දැමීමට තීරණය කළහොත් නේපාලයට සිදුවන්නේ කුමක්ද යන්න පුරෝකතනය කිරීමට පවා අපහසු ය.

දකුණු ආසියාව තුළ වසංගත පාලනය කිරීම සඳහා මෝදී කැඳවූ සමුළුව තුළ මේ පිළිබඳ තතු අනාවරණය වන්නට ඇත. පසුගිය වසර ගණනාවක් පුරා අතහැර දමා තිබූ මෙම සාක් සම්මන්ත්‍රණය ගෝලීය වසංගතයක් ආමන්ත්‍රණය කිරීමෙහි ලා යළි කැඳවීම බොහෝ වැදගත් ය.

නේපාලය කලබල විය යුතු නැත. කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රට පුරා දැනුවත් කිරීමේ වැඩකටයුතු සීඝ්‍ර කිරීමේ වගකීම නේපාල රජයට පැවරී තිබේ. නේපාල රජය වහා අවදි විය යුතුය. කොරෝනා මර්දන සැලසුම් හුදෙක් කඩදාසි සැලසුම් නොවිය යුතුය.

කෙසේවෙතත් කලාපීය සහයෝගීතාව අනිවාර්යයෙන් නේපාලයට ලැබිය යුතුමය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි