×

ඇලන් ටියුරින් පවුම් 50 නෝට්ටුව සරසයි!

වසර 2021 පටන් බ්‍රිතාන්‍යෙය් සංසරණය වන පවුම් 50 නෝට්ටුව සැරසෙන්නේ ඇලන් ටියුරින්ගේ රුවෙනි.


නූතන පරිගණක විද්‍යාවේ සහ කෘතිම බුද්ධියේ (AI) පියා ඔහු ය. යන්ත්‍රයකට සිය කෘතිම බුද්ධිය මෙහෙයවා මිනිසෙකුගේ හැසිරීම අනුමාන කළ හැකිදැයි සොයා බලන ‘ටියුරින් පරීක්ෂාව‘ ‘Turing Test‘ සොයාගත්තේ ඔහු ය. තවද ඔහු, දෙවන ලෝක යුධ සමයේදී බ්ලෙචෙලි පාක් හි සිට ‘කෝඩ් බ්‍රේකර්‘ කෙනෙකු ලෙස සේවය කරමින් මහා බ්‍රිතාන්‍යය යුද්ධයේ අපරාජිතයා කරවීය.

දැන්, 2021 වසරේ පටන් බ්‍රිතාන්‍යයේ සෑම මිනිසෙකු අතම රැඳී පවතිනු ඇත්තේ ඇලන් ටියුරින්ගේ රුව මුද්‍රණය කළ පවුම් 50 නෝට්ටුවකි. ඒ බව එංගලන්ත මහ බැංකුව හෙවත් ‘බෑන්ක් ඔෆ් ඉන්ග්ලන්ඩ්‘ ඊයේ (15) නිල වශයෙන් නිවේදනය කළේය. එහිදී ඔහු විසින් තරග කර පරාජය කළ අය අතර, පසුගිය වසරේදී ලොවින් සමුගත් මහා විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස් පවා වෙයි.

Indy100
Indy100

මේ සියලු ගෞරවයන් ඔහුට හිමි වන්නේ මරණින් මතු ය. අතිශය වේදනාකාරී මරණයකින් වසර 65 කට පසුව ය. ඇලන් ටියුරින්ගේ ආයු කාලය පවා වසර 65 ට අඩු ය. වයස අවුරුදු 42 දී ඔහු සයනයිඩ් දැමූ ඇපල් ගෙඩියක් කා සිය දිවි නසාගත්තේය.

මිය යන මොහොතේ ඔහුට කුමක් සිහි වන්නට ඇත්ද? බ්ලෙචලි පාක් හි ගිමන් හරින, සතුරාගේ රහස් කේත බිඳ දැමූ එනිග්මා යන්ත්‍රය ඔහුට සිහිවන්නට ඇත. මේ ලෝකය විසින් ඔහුට කළ සියලු නින්දා අපහාස, ගැරහුම් සිහි වන්නට ඇත. ඒ සියල්ලටමත් වඩා, ඔහු ආදරය කළ යමෙකු සිටියේ නම් ඒ කඳුළු පිරි මුහුණ සහ ඒ බෙදාගත් ආදරණීය මතකයන් සිහි වන්නට ඇත.

ලෝකය විසින් ඇලන් ටියුරින්ට සයනයිඩ් කැවූ රහස කුමක්ද? ඔහු සමරිසියෙකු වීමයි.

ශිෂ්ට ලෝකයක් ගැන සිහින මවන අපි, යමෙක් යහන්ගත වන්නේ කා සමග ද යන්න අතිශය පෞද්ගලික කාරණයක් යැයි අද පවසමු. එය අපරාධයක් නොවන බව ඒත්තු ගන්වන්නට දිවි හිමියෙන් සටන් වැද සිටිමු. නමුත් ඇලන් ටියුරින් ජීවත් වූ සමකාලීන එංගලන්තය, හෝමෝෆෝබියාවෙන් වෙළුණු සුද්දන් බහුල රටකි. ඇලන් ටියුරින්ගේ මහා ප්‍රතිභාව, රට වෙනුවෙන් ඔහු කළ මහා සේවය පරයා ඔහුගේ ලිංගික නැඹුරුතාවය සහ ලිංගික දිශානතිය හෝමෛා්ෆෝබික් මනස්වල කරණම් ගසයි. එය කොතරම් ම්ලේච්ඡ සහ දුෂ්ට ලෙස ඔහුගේ දක්ෂතාවයන් යටපත් කරන්නට, ඔහුගේ මනස මරා දමන්නට තැත් කළේද යන්න ගැන සාක්ෂි බොහෝ ය.

ඒ වන විට දෙවන ලෝක යුද්ධය අවසන් වී ගත ව තිබුණේ වසර 08 කි. ඒ, 1953 වසරයි. ඒ වසරේ මාර්තු මාසයේදී ඇලන් ටියුරින් හට ලිංගික වරද පනත යටතේ ‘පිරිමියෙකු සමග දැඩි අශෝභන හැසිරීම් පළ කිරීම‘ යන චෝදනාව නැගුණේය. චෝදනාවෙන් වරදකරු වුණේය. එවිට සිදුවූයේ කුමක්ද? GCHQ යන කෙටි නමින් හඳුන්වන එංගලන්තයේ Government Communications Headquarters නොහොත් සංඥා ඔත්තු සේවය සහ සන්නද්ධ හමුදාවල බුද්ධි අංශ තොරතුරු භාරව සිටි අංශය වෙත ඇතුල් වීම තහනම් කළේය. ඇලන් ටියුරින් මේ පරිශ්‍රයේ සිටම කෝඩ්බ්‍රේකර් කෙනෙකු ලෙස සතුරු හමුදාවල රහස් කේත බිඳ නොදැමුවා නම් මිත්‍ර හමුදාවට අත්ලාන්තික් සටන ජය ගන්නට හැකි නොවන බවත්, නාසි සතුරා මැඬීමේ යුරෝපීය සටන වසර දෙකකට සීමා වී අඩුම ගණනේ මිලියන 14 ක් ජීවිත රැකුණු බවත් එතැනදී ඒ මව්රට සදහටම අමතක කළේය.

ඔවුන් එයට දැක්වූ හේතුව කුමක්ද…? සමලිංගිකයන් ආරක්ෂක නිෂ්කාණයන් සඳහා නුසුදුසු වීමයි.

The Conversation
ඇලන් ටියුරින් පරිගණක කේත බිඳ දමමින් (The Conversation)

ඒ වරද නොහොත් සමාජ සම්මතයට එරෙහි වීම වෙනුවෙන් ඇලන් ටියුරින් ලැබුණු දඬුවම වූයේ රසායනික වන්ධ්‍යාකරණයට ලක් වීමයි. එය කොතරම් බිහිසුණු සහ, මානව හිමිකම් උල්ලංඝනය කරන්නේ ද යන්න ගැන එදා ඊනියා සුදු මහත්තුරුන්ට වගක් තිබුණේ නැත.

ඇලන් ටියුරින් රට වෙනුවෙන් සිය රාජකාරි කළේ සහකරු සමග සයනගත වී නොවේ. අන් තෝරාගැනීමක් නැතිනිසාම දඬුවම විඳින්නට එකඟ වූ ඇලන් ටියුරින්, මාස කිහිපයකට පසු 1954 වසරේදී සයනයිඩ් දැමූ ඇපල් ගෙඩියක් කා සදහටම දෙනෙත් පියා ගත්තේය.

ඔහුගේ සයනය අසල තිබී හමුවූ අඩක් කා දැමූ ඇපල් ගෙඩිය, එයට දශක දෙකකට පසුව ගරාජයකට වී පුද්ගලික පරිගණක සෑදීමට වෙහෙස වූ තරුණයන් දෙදෙනක් විසින් සිය පරිගණක සමාගමේ ලෝගෝව ලෙස තෝරාගත්තේය. ඇපල් සමාගම බිහි වූයේ එසේ ය!

ලොකුම හාස්‍යය එය නොවේ. ඇලන් ටියුරින්ව රසායනික වන්ධ්‍යාකරණයට ලක්කිරීමට නියම කළ 1967 ලිංගික වරද පනත 2004 වසරේදී සංශෝධනයට ලක් විය. එංගලන්තය සමරිසියන් ද මනුෂ්‍යයන් සේ දැකීමට ඉතා අසීරුවෙන් පුරුදු පුහුණු විය. නමුත් ඇලන් ටියුරින් හට සමාව ලැබුණේ 2009 වසර තරම් මෑතකදී ය! 2017 වසරේදී ‘මළ පසු සමාව‘ ලබාදෙන ඇලන් ටියුරින් නීතිය ‘Alan Turing Law’ ගෙන එන ලදී. එමගින් එංගලන්තය සහ වේල්සය තුළ ජීවත් වූ සමලිංගික (සමරිසි) සහ ද්වීලිංගික (ද්වීරිසි) මිනිසුන් සහ ගැහැනුන් ට සමාව දෙනු ලැබීය.

සුද්දන්ගේ අශිෂ්ටත්වය කදිමට පෙනී ගියේ ඇලන් ටියුරින් නිසා මළ පසු සමාව ලද පිරිස කොතරම් විශාලදැයි හෙළිවීමත් සමග ය. ඒ ගණන සුළුපටු නැත. පුරුෂයන් 65,000 ක් මේ අනුව වරදකරුවන් කර විවිධ දඬුවම්වලට යටත් කර තිබිණි. එයින් අද වන විට ජීවතුන් අතර සිටින්නේ 15,000 ක් පමණි. ඒ අනුව මේ නීතිය යටතේ වරදකරුවන් බවට පත් කළ, ජීවතුන් අතර ඉතිරි වී සිටින අය පවා වයස අවුරුදු හැත්තෑව ඉක්මවා තිබේ. ඇලන් ටියුරින්ට ඒ පිරිස අතර සිටින්නට සමාජය ඉඩ දුන්නේ නැත. ඔහු ඩෙස් නමැති රසායනික වන්ධ්‍යාකරණය වෙනුවට සිය දිවි නසාගැනීම තෝරාගෙන තිබූ නිසා ය.

මේ සමාජය තුළ ශිෂ්ටත්වයේ නීති සාදන්නේ කවුද? බහුතර මතය සුවිශේෂී ජන ප්‍රජාවන්ගේ මතයට වඩා වෙනස් වූ පමණින් – සැසඳෙන්නේ නැතිවූ විට ඒ සඳහා සුළුතරය පළිද…? එසේ වූ පමණින් ඒ සුළුතරයේ අයිතිවාසිකම් කඩ කළ හැකිද? බහුතරය හෝමෝෆෝබියාවෙන් පෙළෙන විට වන්දි ගෙවිය යුත්තේ වෙනත් කෙනෙක්ද? ඇයි, සුළුතරය මනුෂ්‍යයන් නොවේද?

British mathematician Alan Turing at the school in Dorset, southwest England, aged 16 in 1928. 
ඇලන් ටියුරින් 1928 වසරේදී වයස අවුරුදු 16 දී. CREDIT:GETTY 
ඇලන් ටියුරින් ළමා වියේදී

ඇලන් ටියුරින්ගේ රුව, ‘බ්‍රිතාන්‍යයේ දූෂිත ප්‍රභූන්ගේ මුදල් නෝට්ටුව‘ යැයි ද නම් ලද, වැඩිපුරම සංසරණය වන මුදල් නෝට්ටුව ලෙස තෝරාගැනීම නිවේදනය කරමින් එංගලන්ත මහබැංකුවේ ආණ්ඩුකාර මාක් කානි මෙසේද කියයි.

“…Turing also leaves a very different, though no less important, legacy. In the UK today, we are fortunate to live in more inclusive times.

“Thanks to groups like the Sexual Law Reform Society and Stonewall, and initiatives like Pride, there has been huge progress towards ending the unfair treatment of people on the basis of sexual orientation and creating a society in which everyone can be their true selves without fear or favour.”

ස්ටෝන්වෝල් සමරිසි අරගලයට වසර 50 ක් සපිරුණු 2019 වසරේදී ඇලන් ටියුරින්ගේ රුව, පවුම් 50 මුදල් නෝට්ටුව සඳහා තෝරාගැනීම එංගලන්තය සිය ඓතිහාසික වරදක් නිවැරදි කර ගැනීමක් වන්නේ මේ පසුබිම තුළය. එය, නූතන එක්සත් රාජධානිය ගල් යුගයෙන් පිටමං වී ඇති බව සපථ කරන්නකි. දෙලක්ෂ විසි තුන් දහසක මහජන නාම යෝජනා අතුරින් ඇලන් ටියුරින් තෝරා ගැනෙන්නේ ඒ නිසා ය.

කේම්බ්‍රිජ් සරසවියේ ගණිතය පිළිබඳ පළමු පන්තියේ උපාධියක් හිමි වූ ඇලන් ටියුරින්, පරිගණක මතකය සහිත ටියුරින් යන්ත්‍රය නිර්මාණය කළේ වයස අවුරුදු 24 දී ය.

An Enigma machine 
කිසිදා බිඳ හෙළිය නොහැකි යැයි කියූ, ජර්මානුවන්ගේ එනිග්මා කේතය, ඇලන් ටියුරින් බිඳ දැමුවේ මේ යන්ත්‍රය මගිනි. CREDIT: PAUL GROVER 

ලෝකයේ පළමු, වාණිජ වශයෙන් අලෙවි කළ හැකි වූ ඉලෙක්ට්‍රොනික පරිගණකය නිර්මාණය කළේ ද ඔහු ය. එය අද ද මැන්චෙස්ටර් සරසවියේ පරිගණක විද්‍යාගාරයේ දැකගත හැකිය.  

මේ නෝට්ටුවේ මුද්‍රණය වී ඇති ඇලන් ටියුරින්ගේ සිතුවම 1951 වසරේදී එලියට් සහ ෆ්‍රයි විසින් සිතුවම් කළ, මේ වන විට ලන්ඩනයේ ජාතික ඡායාරූප ගැලරියේ ප්‍රදර්ශනය වන්නකි. 1951 වසර සුවිශේෂී ය. ඔහුට බරපතළ – අශෝභන ලිංගික හැසිරීම් පිළිබඳ චෝදනා නැගෙන්නේ එයට පසු වසරේය. ඔහු සිය දිවි නසාගන්නේ මේ ඡායාරූපය ගෙන වසර 2 කට පසුව ය.

මේ මුදල් නෝට්ටුව මත එනිග්මා කේතය බිඳ දැමීමට උපකාර කළ බ්‍රිටිෂ් බොම්බේ ක්‍රිප්ටොග්‍රැෆික් යන්ත්‍රෙය් තාක්ෂණික සිතුවමක් මෙන්ම ඇලන් ටියුරින් විසින් 1936 වසරේදී සිදුකළ විද්‍යාත්මක පර්යේෂණයක සටහනකින් කොටසක් දැක්වේ. හොඳින් කියවන්න. එහි ඔහු සටහන් කර තිබෙන්නේ නූතන පරිගණක විද්‍යාවට පදනම දැමූ Computable Numbers ගැන මිස, ඔහුගේ සමරිසිභාවය ගැන යමක් නොවේ!

සමරිසියන්ට ජීවිතයේ සිදුවන යම් හැලහැප්පීමක් වෙතොත්, එය හුදෙක් ඔවුන්ගේ සමරිසි භාවය නිසාම සිදුවන්නක් බවට ලඝු කර ඔවුන්ට උන් හිටි තැන් නැති කරන, සාමාන්‍ය ජීවිතයක් ඔවුන්ට උරුම නැතැයි සිතන හෝමෝෆෝබික් ලෝකයා දෙස, දැන් පවුම් 50 නෝට්ටුව බවට පත්වී ඔවුන්ගේම අතැඟිලි අතර රැඳෙන ඇලන් ටියුරින් සෝපහාසයෙන් යුතුව සිනා නගනු ඇත.

පෙර ලිපිය මෙතැනින් –



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි