×

චාර්ලි ගේ කෙල්ලන් නැවතත් සටන් බිමේ! නව චාර්ලීස් ඒන්ජල්ස් චිත්‍රපටය නොවැම්බර් එළි දැක්වෙයි!!

චාර්ලි ගේ කෙල්ලන් නැවතත් සටන් බිමේ! මෙවර ක්‍රිස්ටින් ස්ටුවර්ට්, නයෝමි ස්කොට් හා එලා බැලින්ස්කා රංගනයෙන්!


සුභ උදෑසනක් සුරඟනණි!” ඔව් ඒ චාර්ලිගේ සුපුරුදු ආමන්ත්‍රණ වදන් පෙළයි. 

70 දශකයේ රූපවාහිනී කතා මාලාවක් ලෙස පුරා දශකයක් තිරගත වූ “චාර්ලීස් ඒන්ජල්ස්” ගැහැණු ජවය පුංචි තිරයට රැ‍ගෙන ආ චාර්ලි ටවුන්සෙන්ඩ් නැමති කිසිදා නොදුටු කෝටිපතියා විසින් මෙහෙයවූ පෞද්ගලික අපරාධ පරීක්ෂණ ඒජන්සියේ රහස් පරීක්ෂකාවියන් තිදෙනා ගේ වික්‍රම පිළිබඳ කියවෙන කතා මාලාවකි. ඇමරිකාවේ සිදුවන අපරාධ විමර්ෂණ කටයුතු සඳහා රජයට දායක වන පෞද්ගලික ඒජන්සියක් වූ චාර්ලි  ටවුන්සෙන්ඩ් ඒජන්සියේ නියෝජිතයන් සෑම විටම හැඳින්වූයේ සුරඟනන් (angels) නමිනි. මන්ද, ඔවුහු සෑම විටම කාන්තාවෝ වූහ. විටක වෙස් වලා ගනිමින් ඔත්තු බැලීමද, විටක ගැහැණු ඉව භාවිතයෙන් පිරිමින් අභිබවා ගොස් බොහෝ හෙලිදරව් සිදුකිරීමටද, ජීවිත අවදානම් ගත් කාර්යයන් වල නිරත වීමට ද, මිනිසුන් සමඟ පොර බැද සටන් කිරීමටද, විටක කඩු හරඹ, වෙඩි හරඹ වල නිරත වෙමින් අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර දීමට ද මෙම සුරඟනහු රුසියන් වූහ.

70 දශකයේ තිරගත වූ චාර්ලීස් ඒන්ජල්ස් රූපවාහිනී කතා මාලාවේ බොස්ලි, ජිල්, කෙලී, ටිෆනි හා ක්‍රිස් චරිත වලට පණ පෙවූ ඩේවිඩ් ඩොයිල්, ෆේරා ෆෝව්සට්, ජැක්ලින් ස්මිත්, ෂෙලි හැක් හා චෙරිල් ලැඩ්

කතාමාලාව පුරාවට කිසිදාක චාර්ලි ගේ රුව නොපෙන්වූ අතර, ඔහු දුරකතනය හරහා සම්බන්ධ වන කටහඬක් පමණක් විය. කලින් කලට මෙම සුරඟනන් අදාල මෙහෙයුම මත වෙනස් වන්නට ඇත. සැබ්රිනා, ජිල්, කෙලී, ටිෆනි, ක්‍රිස්, ජුලී, චාර්ලි ගේ සදාදරණීය සුරඟනන් විය. ඔවුන්ගේ සහයට හා චාර්ලි හා සුරඟනන් අතර සම්බන්ධීකරණ කටයුතු කිරීමට “බොස්ලි” නම් සහයකුද කරලියේ විසීය.

2000 හා 2003 වර්ෂයන් හීදී මෙම රූපවාහිනී කතාමාලාව ඇසුරෙන් කැමරන් ඩියස්, ලුසි ලූ හා ඩෘෘ බැරිමෝර් රඟපෑ Charlie’s Angels හා Charlie’s Angels: Full Throttle නමින් චිත්‍රපට දෙකක් ද එළි දැක්විණි. එය හොලිවුඩයේ වාණිජ තුරුම්පුවක් බවට පත්විය.

කැමරන් ඩියස්, ලුසි ලූ හා ඩෘෘ බැරිමෝර් චාර්ලීස් ඒන්ජල්ස් නිරූපණය කරමින්

චාර්ලි ගේ සුරඟනන් නැවත සටන් බිමට බැසීමට සූදානම් ය. 2019 වර්ෂයේ නොවැම්බර් මස 01 වන දින නව චාර්ලීස් ඒන්ජල්ස් චිත්‍රපටයක් එළි දැක්වීමට නියමිතය. පසුගිය දින සෝනි පික්චර්ස් නිකුත් කළ නව චාර්ලීස් ඒන්ජල්ස් චිත්‍රපට ට්‍රේලරය හරහා ක්‍රිස්ටින් ස්ටුවර්ට්, නයෝමි ස්කොට් හා එලා බැලින්ස්කා රංගනයෙන් දායක වන චාර්ලිගේ නව සුරඟනන් බව හෙලිදරව් කෙරිණ. සටන් බිමේ නව මුහුණුවරක් ගනිමින්, යුගයට ගැළපෙන පරිදි මෙම සුරඟනන් තුන්කට්ටුව නවතම මෙහෙයුමකට දැන් සූදානම් ය.   


මෙවර නව බොස්ලි වරු එකට තිදෙනෙක් ම සුරඟනන්ගේ සහයට පැමිණීමට නියමිතය. නව චාර්ලීස් ඒන්ජල්ස් චිත්‍රපට ට්‍රේලරයේ මුල් කෘති වල මෙන්ම හාස්‍යජනක අවස්ථා හා ත්‍රාසජනක සටන් දර්ශණ බොහොමයක් පෙන්වයි. කාන්තා ජවය, සරාගීත්වය හා ගැහැණු ඉව ඉදිරියේ දණින් වැටෙන අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර දීමේ කලාව නව මුහුණුවරකින් මෙවර ඉදිරිපත් වීමට නියමිත ය. 

ජනප්‍රිය රංගන ශිල්පී පැට්‍රික් ස්ටුවර්ට් ද මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වීමට නියමිතය!

එමෙන්ම, නොවා සෙන්ටිනියෝ, සෑම් ක්ලැෆ්ලින්, ජිමොන් හොන්සොවු හා එලිසබෙත් බෑන්ක් ද රංගනයෙන් දායක වීමට නියමිතය. 

වාර්තා වන අන්දමට, සුපිරි ගායිකාවන් වන මයිලි සයිරස්, ලනා ඩෙල් රේ හා අරියානා ග්‍රාන්ඩේ ගයන ගීතයක් ද මෙම චිත්‍රපටයේ ඇතුලත් වීමට නියමිත ය. පසුගිය දිනක මයිලි සයිරස් ඇගේ ට්විටර් ගිණුමේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ “අප පැමිණීමට සූදානම්” යනුවෙනි. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි