×

රහස් නාසි සංකේතයෙන් ජර්මනියේ අලුත් පක්ෂයක්

ජර්මනියේ අන්ත දක්ෂිණාංශික දේශපාලකයෙක්, 1930 දශකයේ ඔස්ට්‍රියාවේ භාවිතා කළ රහස් නාසි ලාංඡනය යොදාගෙන නව පක්ෂයක් නිර්මාණය කර තිබේ.


ඇන්ඩ්‍රේ පොගෙන්බර්ග් (André Poggenburg) නමැති මේ දේශපාලඥයා සිය පක්ෂය වූ AfD හි නැගෙනහිර සැක්සනි පළාතේ කලාපීය නායකයා විය. පසුගිය වසරේදී තුර්කි ජාතිකයන් ‘ඔටුවන් පදින්නන්‘ යැයි (camel drivers) පවසමින් නින්දා කළේ ඔහු ය. ද්විත්ව පුරවැසිභාවය සහිත සංක්‍රමණිකන් ‘‘තවදුරටත් උවමනා නැති ගෙවල් නැති මැරයන්‘‘ යැයි පැවසුවේ ද ඔහු ය. මේ සතියේ මුල, ඔහු පක්ෂය හැර යන බව දන්වා පක්ෂ නායකත්වයට ඊ මේල් පණිවුඩයක් යවා තිබිණි.

ඔහු එම අන්ත දක්ෂිණාංශික පක්ෂය හැර යන්නේ එයටත් වඩා අන්ත දක්ෂිණාංශික නව පක්ෂයක් බිහිකිරීම පිණිස ය. සිය ඊ මේල් පණිවුඩය මගින් ඔහු, ජර්මානු බුද්ධි අංශ සේවය ගැන පක්ෂය පමණට වඩා වදවීම ගැන දෝෂාරෝපණය කර තිබිණි. එසේම එම පක්ෂය ‘ටිකක් වමට බරවන ගතියක් ඇති බවට‘ ද ඔහු පුවත්පතකට කියා තිබිණි. ‘‘ඒ නිසා මට තවදුරටත් ඒක මගෙ දේශපාලන මහ ගෙදර විදිහට සලකන්න බැහැ‘‘ යැයි ද ඔහු කියා තිබේ.

දැන්, ඔහු පිහිටුවාගෙන තිබෙන්නේ Aufbruch der deutschen Patrioten නමැති පක්ෂයකි. ජර්මානු බසින් එහි තේරුම ‘‘ජර්මානු දේශප්‍රේමීන්ගේ අවදිවීම“ (Awakening of German Patriots) යන්නයි. පක්ෂයේ කොඩිය, ජර්මානු ධජයේ පසුබිම පරදවමින් ඉස්මතු වන තෘණ මලකි. එම කුඩා නිල්පාට මල සමග ඔහු විශේෂ ලාංඡනයක් ද යොදයි. එය වනාහී 1930 දශකයේ, ඔස්ට්‍රියාවේ සිටි යුදෙව්වන් සමූලඝාතනය කිරීමට නාසීන් විසින් පිඹුරුපත් සකසන කාලයේ එරට භාවිතා කළ රහස් සංකේතයයි. එවකට ජාතිකවාදී සමාජවාදීන් විසින් නාසි පක්ෂයට ඔස්ට්‍රියාව තුළ ඉඩක් තැබුවේ නැත. ඔස්ට්‍රියාවේ නාසීන් විජයග්‍රහණය කළේ 1938 වසරේදී ය.

පොගෙන්බර්ග් නාසි ශබ්දකෝෂය නිතර නිතර සිය වාග්කෝෂය තුළ භාවිතා කරන අයෙකි. මේ වන විට ඔහුගේ අලුත් පක්ෂය සැක්සනි, තුරින්ජියා සහ බ්‍රැන්ඩන්බර්ග් හි මේ ගිම්හානයේ පැවැත්වීමට නියමිත ප්‍රාදේශීය මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට ද සැලසුම් කරයි. තමන්ගේ පෙර පක්ෂය වූ AfD ට විරුද්ධව එහිදී ඡන්දය ඉල්ලන බව ඔහු කියන්නේ නැත. ඒ වෙනුවට ඔහු පවසන්නේ AfD පක්ෂයේ ස්ථානගත වීම සාර්ථක කරගැනීම සඳහා නව පක්ෂය යොදවන බව කි.

ජර්මනියේ නැගී ගෙන එන අන්ත දක්ෂිණාංශික රැල්ල තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවට කදිම සාක්ෂියක් ලෙස විචාරකයෝ පොගෙන්බර්ග්ගේ කරණම හඳුන්වති.

මේ වන විට ජර්මනියේ අන්ත දක්ෂිණාංශිකයන් පිඹුරුපත් අඳින්නේ මහා බ්‍රිතාන්‍යයට බ්‍රෙක්සිට් නිසා සිදුවූ දේ කරගන්නට ය. මහා බ්‍රිතාන්‍යයෙන් පාඩමක් ඉගෙන ගන්නවා වෙනුවට ඔවුන් දවල් වැටුණු වළේ රෑ වැටෙන්නට යත්න දරන්නේ සිය දේශප්‍රේමිත්වය පෙන්වන්නට ය. බ්‍රෙක්සිට් වෙනුවට, ජර්මනිය යුරෝපා සංගමයෙන් ‘එක්සිට් වීම‘ හඳුන්වනු ඇත්තේ ‘ඩියුක්සිට්‘ (“Deuxit”) යනුවෙනි. මේ දෙක අතර තිබෙන්නේ අකුරු කිහිපයක වෙනස පමණක් බව පෙනෙන විට, බොහෝ විට ප්‍රමාද වැඩි වී තිබෙනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි