මේ යෝධ – දිගටි අයිස් ලෝකයේ ගැටුණා නම්, පෘථිවි විද්‍යාඥයන් විසින් මහත් බලාපොරොත්තු තබාගෙන සිටින නිව් හොරයිසන් යානයේ ඉරණම එතෙකින්ම අවසන් වීමට ඉඩ තිබිණි.
අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුළ, පෘථිවියට දුරින්ම පිහිටා තිබෙන වස්තුව ලෙස මෙතෙක් හඳුනා ගැනෙන්නේ මේ දිගටි අයිස් කුට්ටියයි. එය පිහිටා ඇත්තේ සැතපුම් බිලියන 4 ක් හෙවත් කිලෝමීටර බිලියන 6.5 ක් ඈතිනි.
එය ළඟින්, එය පසුකර යන අවස්ථාවේදී නිව් හොරයිසන් යානය අගනා ඡායාරූප ගණනාවක් ද ලබාගැනීමට සමත් විය. ඒවා ඉදිරි මාස කිහිපය තුළ පෘථිවිය වෙත ලැබීමට නියමිත ය.
තමන් නිරුපද්‍රිත බවට නිව් හොරයිසන් හි රොබෝ යන්ත්‍ර විසින් එවනු ලැබූ රේඩියෝ පණිවුඩ, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පිහිටා තිබෙන දැවැන්ත ඇන්ටනාවලට ග්‍රහණය වූයේ මෙයට පැය කිහිපයකට පෙර ය. එම රේඩියෝ තරංගවලට පෘථිවිය කරා ළඟා වීමට පමණක් පැය 6 ක් සහ විනාඩි 8 ක් ගතවිය. නාසා හි විද්‍යාඥයන් සැනසුම් සුසුම් හෙළුවේ එයින් පසුව ය.මේරිලන්ඩ් හි හොප්කින්ස් සරසවියේ ව්‍යවහාරික භෞතික විද්‍යා අංශයේ විද්‍යාඥයන් එකිනෙකා වැළඳගෙන සුබ පැතුවේ එයින් පසුව ය. එය, තාරකා විද්‍යා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකි. ඒ, මිනිසා විසින් යවනු ලැබූ යානාවක්, සාර්ථක ලෙස සෞර ග්‍රහ මණ්ඩලයේ දුරින්ම පිහිටි වස්තුව නිරුපද්‍රිතව පසුකරගෙන යාමට සමත් වූ බැවිනි.
අල්ටිමා තූල්, කුයිපර් පටියේ (Kuiper belt) සාමාජිකයෙකි. කුයිපර් පටිය යනු කුමක්දැයි මුලින් දැන සිටිය යුතුය. එය, සූර්යයාගේ කක්ෂයේ පිහිටා ඇති අයිස්වලින් මිදී ගිය වස්තූන්ගෙන් සමන්විත කලාපයයි. සූර්යයාගේ මතුපිට උණුසුම පමණක් සෙල්සියස් අංශක 6000 කි. එවිට ඒ වටා අයිස් මිදුණු වස්තු පිහිටන්නේ කෙසේද? සූර්යයා අතිශය උණුසුම් වුවත්, එයින් ඈතට යන්නට යන්නට අති ශීතල කලාප හමු වේ. ඒවායේ ජීවය රහිත බවට පූර්ව නිගමනයක් ඇත. කුයිපර් පටිය පිහිටා තිබෙන්නේ එසේ හිරුගේ කිරණවලින් උණුසුම් වීමට වරම් නැති ශීත කලාපයේ ය. එනම්, නෙප්චූන් ග්‍රහයාගේ සිට කිලෝමීටර බිලියන 2 ක් ඈතිනි. 2015 දී නිව් හොරයිසන් යානය සැප දුක බලා ආ ප්ලූටෝ කුරු ග්‍රහයාගේ සිට කිලෝමීටර බිලියන 1/2 ක් ඈතින් ය. මේ කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 30-40 ක් පමණ වේ. මේ අධික ශීතල හේතුවෙන්ම මේවා තුළ රසායනික ප්‍රතික්‍රියා සිදුවීම ඇණ හිට තිබේ. එනම්, ඒවා බිහිවූ තත්වයෙන්ම අදටත් බොහෝ දුරකට පවතින්නේ යැයි සිතයි. එය විද්‍යාඥයන්ගේ සිත්, උනන්දුවෙන් මත් කරවනසුලු කාරණයකි.
කුයිපර් පටියේ අල්ටිමා තූල් වැනි අයිස් බැඳුණු සාමාජිකයෝ බොහෝ වෙති. සිය දහස් ගණනින් වෙති. අප අයත් සෞර ග්‍රහ මණ්ඩලය බිහි වුණේ මෙයට වසර බිලියන 4.6කට එපිට ය. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ මිදුණු තත්වයේ පවතින අල්ටිමා තූල් වැනි අයිස් කුට්ටි තුළ, සෞර ග්‍රහ මණ්ඩලය බිහිවීම ගැන රහස් රැසක් සැඟවී ඇතැයි කියා ය.
එසේම අල්ටිමා තූල් හි විද්‍යාඥයන් දකින තවත් විශේෂත්වයක් සැඟවී තිබෙන්නේ එහි ප්‍රමාණය තුළ ය. එය, කුයිපර් පටියේ ජීවත් වන සෙසු සාමාජිකයන්ට සාපේක්ෂව කුඩා ය. එහි පළල කිලෝමීටර 30කට වඩා නැත. සාමාන්‍යෙයන් විශ්වයේ දැවැන්ත වස්තුවලට එහි දැවැන්ත ස්වරූපය පවත්වාගෙන යාම සඳහා විශේෂ වෙහෙසක් දරන්නට සිදු වෙයි. මෙය පොදු ධර්මතාවයකි. භූගෝලීය වශයෙන් එම හැඩය පවත්වාගෙන යාම සඳහා එම වස්තුව අභ්‍යන්තරයේ ‘ජියොලොජිකල් එන්ජින්‘ හෙවත් ‘භූගෝලීය එන්ජිමක්‘ ක්‍රියාත්මක වන්නේ යැයි සැලකේ. නමුත් කුඩා වස්තු මෙම අමතර වෙහෙසෙන් මිදේ. ඒ අනුව, එය, බිහිවන අවස්ථාවේදී පැවති ස්වභාවික තත්වය දිගින් දිගටම පවත්වා ගැනීමට සමත් වෙයි.
අල්ටිමා තූල් අවට කුයිපර් පටියේ පරිසරය අතිශය සන්සුන් ය. එය ද විද්‍යාඥයන්ට පහසුවක් වන්නේ, අභ්‍යවකාශය තුළ වස්තූන් එකිනෙක ගැටීම නිසා ඇතිවන කලබගෑනිය මේ නිසල කලාපය තුළ නොමැති නිසා ය.
නිව් හොරයිසන් යානය බලය ලබන්නේ ප්ලූටෝනියම් බැටරියකිනි. එය, සෞර ග්‍රහ මණ්ඩලයෙන් නික්ම යන අවස්ථාව පවා සටහන් කරගනු ඇත. මේ වන විට අල්ටිමා තූල්ගේ ඡායාරූප ගැනීම නිසා යානයේ මතකය අවම වෙමින් තිබුණත්, ඒවා නැවත පෘථිවිය බලා එවීමෙන් පසුව මතක ධාරිතාව නැවත වැඩිවනු ඇත. පෘථිවි විද්‍යාඥයන් පුල පුලා බලා සිටින බොහෝ සාක්ෂි මේ ඡායාරූපවල ගැබ්ව තිබෙනවා ඇත. ඒ අතරම තත්පරයට කිලෝමීටර 14 ක වේගයෙන් (4km/s) එය විශ්වයේ නොදුටු මාන පසුකරමින් ඇදී යනවා ඇත.
මේ අනුව, නිව් හොරයිසන් යානය, එහි නොහැප්පෙමින්, එය නිරුපද්‍රිතව පසුකරගෙන යාම මානවයා ලැබූ සැබෑ ජයග්‍රහණයකි. දැන් එහි සම්භවය, එහි ව්‍යූහය, එයට කෘත්‍රිම ග්‍රහයන් පිහිටා තිබේද, එයට වායුගෝලයක් තිබේද යන වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම ආරම්භ කරන්නට පුළුවන. ඒ ඇසුරෙන් ඔවුන් සැබවින්ම සොයාබලන්නේ හුදෙකලා, දුරබැහැර අයිස් කුට්ටියක් ගැන නොව, විද්‍යාවේ සදාතනික අබිරහසක් බවට පත්ව තිබෙන සෞරග්‍රහ මණ්ඩලයේ සම්භවය පිළිබඳව ය.
විශ්වය තවත් සියවස් ගණනක් ඇතුළත මිනිස් වාසයට නුසුදුසු තැනක් වනු ඇතැයි විද්‍යාඥයෝ විස්තර කරති. මේ අතර පෘථිවි වැසියන්, දේශගුණික විපර්යාස පාලනය කර ගැනීම සඳහා පැරිස් සම්මුතියෙන් අනුදකින සෙල්සියස් අංශක 1.5 සීමාව පවත්වාගෙන යාමට පවා කැප වන්නේ නැත. ජීවත් වන මිහිතලය බේරාගැනීම වෙනුවට, වෙනත් මිහිතලයක් සොයායාමේ ආශාව මිනිසා පසුපස නිබඳව ලුහු බඳියි. ‘‘පෘථිවිය මානවයාගේ තොටිල්ල ය. නමුත් මිනිසාට සැමදා තොටිල්ලේ සිටිය නොහැක‘‘ යැයි කීවේ, අජටාකාශ විද්‍යාවේ පියා ලෙස සලකන ශ්‍රේෂ්ඨ සෝවියට් විද්‍යාඥ කොන්ස්ටන්ටයින් සියොල්කොවුස්කි ය. ඉතින් අපි වෙන කුමක් කරමුද..?
කවරයේ ඡායාරූපය: Discover Magazine Blogs
කොන්ස්ටන්ටයින් සියොල්කොවුස්කි ගැන සවිස්තරාත්මක ලිපිය මෙතැනින් කියවන්න.
‘‘නිහඬ කලූගාවේ ඌරන් අතර හිඳ සිහින දකින්නා‘‘