×

ජෝර්දානය ස්වයංක්‍රීය ගිනි අවිවලට වැට බඳියි.

අවම වශයෙන් දඩයම් සඳහාවත් ගිනි අවි මිලදී ගැනීම මේ අනුව තහනම් වනු ඇත.


ජෝර්දානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ස්වයංක්‍රීය සහ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි මිලදී ගැනීමට ඇති ඉඩකඩ අහුරාලීම සඳහා අලුත් නීතියක් ගෙන ඒමට සූදානම් වෙති. මේ අනුව අවම වශයෙන් දඩයම් සඳහා පවා ගිනි අවි මිලදී ගැනීම ඉදිරියේදී තහනම් වනු ඇත.

2017 වසරේදී හෙළි වූ පරිදි ජෝර්දානයේ මිලියන 10 ක් වන ජනගහනයෙන් 1/10 කට වඩා, එනම් මිලියන 1.47 ක ජනතාවකට අවම වශයෙන් එක් ස්වයංක්‍රීය/අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියක් බැගින් තිබේ. ඔවුන්ගෙන් 80%ක්ම ඒවා මිලදී ගෙන තිබෙන්නේ නීත්‍යානුකූල ලෙස ය. නමුත් නව කෙටුම්පත සම්මත වීමෙන් පසු රජය ඒවා ඔවුන්ගෙන් සාධාරණ මිලකට ආපසු ලබාගනු ඇත. මාස 6 ක කාලයක් ඒවා භාරදීම සඳහා පුරවැසියන්ට ලැබේ.

හරි රජෙක් සිටින විට…

ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු ගේ සහයෝගය මේ සඳහා අති මහත් ලෙස ලැබේ. ඔහුට අවශ්‍ය වී තිබෛන්නේ ජෝර්දානයේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන්නට ය. එයට පසුබිම් වී ඇති කතාව, ජෝර්දානයේ ‘ගිනි අවි සංස්කෘතිය‘ සමග බැඳී පවතියි.

බොහෝ මැදපෙරදිග ජාතීන් මෙන්ම ජෝර්දාන වැසියන් ද සතුටක් මෙන්ම දුකක් දැනුණු විට තුවක්කු පත්තු කිරීමට පුරුදු වී සිටිති. උදාහරණයක් වශයෙන්, විවාහ මංගල්‍යවලදී, උපන්දින සැමරුම්වලදී මෙන්ම අවමංගල්‍යයන්හිදී ද මැදපෙරදිග වැසියෝ අහසට වෙඩි තබති. එය ඔවුන්ගේ සංස්කෘතික චාරිත්‍රයකි. ජෝර්දානයේ අබ්දුල්ලා රජු, මේ සංස්කෘතික අංගයට එළිපිට විරෝධය පළ කරන්නෙකි. මෙවැනි ‘ගිනි අවි සහ ගිනි කෙළි‘ හේතුවෙන් බොහෝ විට මෙවැනි උත්සවවලදී කිහිප දෙනෙක්වත් තුවාළ ලබති. ඇතැම්විට මිනිස්සු වෙඩි වැදී මිය යති.

පවුල් සහ ගෝත්‍ර අතර පවතින ප්‍රශ්න ද මැදපෙරදිග ජාතීන් ගිනි අවි වලින් විසඳා ගන්නා අවස්ථා පවතියි.

ඊට අමතරව ජෝර්දානයේ ක්‍රියාත්මක වන ත්‍රස්ත කල්ලි මර්දනය සඳහා ද ස්වයංක්‍රීය ගිනි අවි තහනම අතිශය ඵලදායී වේ යැයි සැලකේ.

ඇමරිකාවට බැරි දේ

ඇමරිකාවෙන් වසරකට ගිනි අවිවලින් සිදුකරන මහා පරිමාණ මනුෂ්‍ය ඝාතන සිදුවීම් කිහිපයක්වත් අසන්නට ලැබේ. නමුත් ලෝකයේ ලොකුම ආයුධ වෙළෙන්දා වන ඇමරිකාව, කිසිදු විටෙක ට්‍රම්ප් පාලනය යටතේ නම් සිය ගිනි අවි ප්‍රතිපත්තිය වෙනස් නොකරනු ඇත.

මේ අතර ජෝර්දානය මෙම ගිනි අවි තහනම තුළින් ඇමරිකාවට ද කණේ පාරක් එල්ල කරයි. මේ සම්බන්ධයෙන් ජෝර්දාන විශේෂඥයන්ගේ මතය මෙසේ ය.

‘‘ආරක්ෂක විමර්ශනවලින් පෙනී යන පරිදි ත්‍රස්තවාදීන් සිය ස්වයංක්‍රීය/අර්ධස්වයංක්‍රීය ගිනි අවි ලබාගෙන තිබෙන්නේ රුසියාවෙන් සහ ඇමරිකාවෙන්. විශේෂයෙන්ම රුසියාවේ නිෂ්පාදනය කරන කලෂ්නිකොව් රයිෆල් සහ ඇමරිකාවේ නිෂ්පාදනය කරන M16 ගිනි අවි ඔවුන් ජෝර්දානයේදී පහසුවෙන්ම ගිනි අවි වෙළඳසල්වලින් මිලදී ගන්නවා…“

මෙසේ පවසන ඕමාර් රෂාඩ්, ජෝර්දානයේ උපදේශකයෙකු මෙන්ම විශ්‍රාමලත් හමුදා බුද්ධි අංශ  ජනරාල්වරයෙකු ද වේ. අරාබි වසන්තය සහ සිරියාවේ සිවිල් යුද්ධයෙන් අනතුරුව මැදපෙරදිග ‘ආයුධ කළු කඩ‘ අති බහුල වූ බව ද ඔහු තවදුරටත් පෙන්වා දෙයි.

ගිනි අවි තහනමට සමාජ ජාලා විරෝධයක්

මේ අතර ගිනි අවි සංස්කෘතියට පෙම් බැඳ සිටින ජෝර්දානයේ සිවිල් සමාජය තුළින් මේ තහනම වෙත විරෝධයක් එල්ල වී තිබේ. සමාජ ජාල වෙබ් අඩවිවල මේ දිනවල පළ වන පෝස්ට්වලින් කියැවෙන්නේ මෙම නව නීතිය ගෙන එන්නේ අපරාධ හෝ ත්‍රස්තවාදය මැඬලීම සඳහා නොව, දේශපාලන හේතු මත බව ය. සංඛ්‍යාෙල්ඛනවලින් පෙන්වා දෙන්නේ, ජෝර්දානයේ සිදුවන මරණ ලක්ෂයක් අතරින් ගිනි අවි හේතුවෙන් සිදුවන්නේ මරණ 1.4 ක් පමණක් බවයි. කෙසේ නමුත් මෙය 2012 වසරේදී පැවති තත්වයයි.

‘ගිනි අවි සහ ගිනි කෙළි‘ සංස්කෘතිය අවසන් කරමින් ජෝර්දානය ගත් මෙම පියවර අන්තර්ජාතික සාම ප්‍රවර්ධකයන්ගේ පැසසුමට ද මේ අතර ලක් වේ. කෙසේ නමුත් කිව හැක්කේ, මිනිසුන් මරා දමන අලුත් නීතිවලට වඩා, මිනිස් ජීවිත ආරක්ෂා කරන අලුත් නීති ගෙන ඒම ප්‍රගතිශීලී රටවල ලක්ෂණයක් වන බවයි. ඒ අතින් දැන් මැදපෙරදිග රටක්, මේ මොහොතේ ලංකාවට වඩා ඉදිරියෙන් සිටියි!

මූලාශ්‍රය – The Jerusalem Post



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි