×

ලෝක‌යේ ධනවත්ම මිනිසා උඩු ගුවනට යාමට සැරසෙද්දී ‘ආපහු නාවාට කමක් නැතැයි’ දහස් ගණන් දෙනා අන්තර්ජාලයේ පෙත්සමක් ලියති!

ලෝකයේ ධනවත්ම මිනිසා වන ඇමසන් අධිපති ජෙෆ් බෙසොෆ්, ලබන මාසයේදී අභ්‍යවකාශ ගත වන්නට සූදානම් වෙයි.


ඒ ගමනෙන් පසු ඔහු නැවත පෘථිවිය වෙත නාවාට කමක් නැතැයි කියමින් දහස් ගණන් දෙනා මේ වන විට අන්තර්ජාලයේ පෙත්සමක් ලියමින් සිටිති.

බ්ලූ ඔරිජින් යානයෙන් තමන් අභ්‍යවකාශ ගත වන බව ජෙෆ් බෙසොෆ් හෙළිදරව් කළේ ජූනි 7 වැනිදා ය. ඒ අනුව ජූලි 20 වැනිදා ජෙෆ් සිය සොයුරු මාක් බෙසොෆ් ද සමග පෘථිවියෙන් සමුගෙන යයි. සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ වීඩියෝවක් පළ කරමින් ඔහු මෙසේ කියයි.

”වයස අවුරුදු 5 ඉඳන් මම අජටාකාශයට යන්න සිහින මැව්වා. ජූලි 20 වැනිදා මම මගෙ සහෝදරයත් එක්ක ඒ ගමන යනවා. මගෙ හොඳම මිතුරා එක්ක මහා ත්‍රාසජනක වීර ක්‍රියාව කරනවා..”

මෙම පෙත්සම මේ වන විට Change.org හි සක්‍රිය වී පවතියි. මෙයට සතියකට පමණ පෙර පෙත්සම ආරම්භ කළේ ජොස් ඔර්ටස් නමැත්තා විසිනි. මේ වන විටත් එයට 16,000 කට අධික දෙනෙක් විසින් සිය අත්සන් යොදා තිබේ.

එහි මාතෘකාව ලෙස යොදා තිබෙන්නේ ”ජෙෆ් බෙසොෆ් ට නැවත පෘථිවියට එන්න ඉඩ දෙන්න එපා..” යනුවෙනි. Do not allow Jeff Bezos to return to Earth..

මෙම පෙත්සමේ නිර්මාතෘවරයා මෙසේ කියයි.

”බිලියනපතියන් සිටිය යුතු නහැ. පොළොවේවත් අහසේවත්.. නමුත් තමන් අහසේ සිටිය යුතුයිද කියා ඔවුන්ට තීරණය කරන්නට පුළුවන්..”

Billionaire’s should not exist…on earth, or in space, but should they decide the latter they should stay there.

වසංගත සමයේදී ජෙෆ් බෙසොස්ගේ ආදායම ඩොලර් බිලියන 186 දක්වා වැඩි විය. ජෙෆ් බෙසොස්ගේ පමණක් නොව බිල් ගේට්ස්, එලන් මස්ක්, මාර්ක් සකර්බර්ග් ඇතුළු තාක්ෂණික ක්ෂේත්‍රයේ දැවැන්තයන් ගණනාවකගේ ආදායම් දැනට වසරක පමණ කාලයක සිට දෙගුණ තෙගුණ වී තිබෙන්නේ කෝවිඩ් වසංගතයත් සමග ඇති වූ වෙළඳපොළ ප්‍රවණතාවන් හේතුවෙනි.

මේ අතර, ජූනි මාසයේ මුල සතියේ හෙළිදරව් වූයේ ජෙෆ් බෙසොස්, 2007-2011 අතර කාලසීමාවේදී එනම් පුරා අවුරුදු 3 ක් ආදායම් බදු ගෙවීම පැහැර හැර තිබෙන බව ය. ඇමරිකාවේ ලොකුම ධනපතියන් 25 දෙනෙක් 2014 – 2018 කාල සීමාව තුළ ඩොලර් බිලියන 401 ක බදු මුදල් පැහැර හැර ඇති බවත් ප්‍රෝ පියුබිකා – ProPublica නමැති ගවේෂණාත්මක මාධ්‍ය සංවිධානය හෙළිදරව් කර තිබේ‍ෙ

මේ වන විට ජෙෆ් බෙසොස්ගේ අන්තර්ජාල පෙත්සමට අත්සන් කර ඇති සමහරුන් කියා තිබෙන්නේ ඔහුව ඉරට යැවිය යුතු බව ය. නැතිනම් අඟහරු මතට යැවිය යුතු බව ය. ඒ, නැවත පැමිණීමක් නැති නිසා ය.

මේ අතර අද දිනයේ ජෙෆ් බෙසොස් ව ඉලක්ක කරගෙන අලුත් අන්තර්ජාල පෙත්සමක් ද ඇරඹී තිබේ. එයින් කියැවෙන්නේ ජෙෆ් බෙසොස් මොනාලිසා චිත්‍රය මිලට ගෙන එය කා දැමිය යුතු බව ය!

කෙසේ නමුත් ප්‍රෝ පබ්ලිකා අනාවරණය සමග නම් කිව යුතුව තිබෙන්නේ, ජෙෆ් බෙසොස්ගෙන් බදු මුදල් අය කර ගත යුතු ව ඇති නිසා ඔහුව අනිවාර්යයෙන්ම ආපසු ගෙන්වා ගත යුතුව තිබෙන බව ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි