×

නවසීලන්ත ජනපතිනිය කෝවිඩ් වෙනුවෙන් සිය විවාහ උත්සවය ‘කැප කරයි’!

කෝවිඩ් නිසා තමන්ගේ විවාහ උත්සවය කැන්සල් කළ නවසීලන්ත ජනපතිනිය


නවසීලන්ත ජනපතිනිය ජසින්ඩා ආර්ඩෙන්, සිය සහකරු සමග විවාහ වීමේ උත්සවය මේ මාසය යට යොදාගෙන තිබිණි.

නමුත් අද දිනයේ නිවේදනයක් නිකුත් කරමින් ඇය කියා තිබෙන්නේ, මෙම වසංගතය පැරදවීම වෙනුවෙන් නවසීලන්ත ජාතිකයන් කරන කැපවීමට තමන් ද එක්වන බවයි.

ඒ අනුව සිය විවාහ උත්සවය ඇය විසින් දින නියමයක් නැතිව කල් දමා තිබේ. හෙවත් අවලංගු කර දමා තිබේ.

සැබවින්ම මේ වන විට නවසීලන්තයේ පවතින කෝවිඩ් රෙගුලාසිවලට අනුව, ආරාධිත අමුත්තන් 100 දෙනෙකු සමග ඇයට ජයටම මගුල් කෑ හැකිව තිබිණි.

නමුත් ඇය එසේ ද නොකරන්නේ ජනතාවට ආදර්ශමත් වෙමිනි.

මෑත ඉතිහාසයේ බිහි වූ ජනප්‍රියම සහ ප්‍රගතිශීලී ම නායිකාවක වන ජසින්ඩා ආර්ඩෙන්, ජනතාවගෙන් පමණක් ‘කැපකිරීම්’ බලාපොරොත්තු වන ජාතියේ කෙනෙක් නොවේ.

ඇය ජනතාවටත් වඩා කැපකිරීම් කරන සැබෑ ජන නායිකාවකි.

අද මධ්‍යම රාත්‍රියේ සිට නවසීලන්ත ජනතාව කෝවිඩ්-19 පිළිබඳ වෙනදාට ද වඩා සැලකිල්ලෙන් කටයුතු කරනු ඇත. ඒ, නගරාන්තර ගමනාගමනයේ යෙදෙමින් විවාහ මංගල්‍යයකට සහභාගි වීමට ගිය එකම පවුලේ 9 දෙනෙකුට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ය. මෙවැනි තනි සිද්ධියක් පවා ඔවුන්ට රතු නිවේදනයකි.

ඒ සමගම නවසීලන්තයේඑකවර රැස්විය හැකි ප්‍රමාණය සීමා කෙරෙන අතර, ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම ද අනිවාර්ය කෙරේ. නව රෙගුලාසි ලබන මාසය දක්වා බලපැවැත්වෙනු ඇත.

සිය දීර්ඝකාලීන සහකරු වූ ක්ලාක් ගේෆෝඩ් සමග විවාහ වන දිනයක් ආර්ඩෙන් නිවේදනය කර තිබුණේ නැතත්, අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ ඉදිරි සති කිහිපය ඇතුළත මංගල්‍යය ගනු ඇති බවයි.

”ජීවිතේ එහෙම තමයි..” යැයි ජසින්ඩා ආර්ඩෙන් පවසා තිබිණි. ”වසංගතයෙන් පීඩා විඳින දහස් ගණනක් වූ නවසීලන්ත ජාතිකයන් සහ මා අතර වෙනසක් නෑ.” යැයි ඇය ඉතාම උපේක්ෂාවෙන් යුතුව කියා තිබේ.

එහෙම බලන විට ඒ පිටරැටියන්, ලංකාවටත් වඩා උපේක්ෂාව පුහුණු කළ අය ය!

වසංගතයේ ආරම්භයේ සිට මේ දක්වා නවසීලන්තයෙන් වාර්තා වූයේ මරණ 52 ක් පමණකි. ලංකාවේ නම් මරණ 500 ඉක්මවා ගියේ මාස කිහිපයකට පෙර ය.

නමුත් ”ජනතාවට කැප කිරීම් කරන්න වෙනවා” යැයි කියමින් සියලු දුෂ්කරතාවල බර, ජනතාව පිට පටවන නායකයන් ඒ රටවල නැත. එනිසා මෙවැනි අසීරු සමයන්වලදී ඒ රටවල නායක නායිකාවන් සුර සැප විඳින්නේ නැත. ඒ රටවල ජීවිතේ එහෙම තමයි!

ජනතාවට කැප කිරීම් කරන්න යැයි කියන අය, මුලින් කැප කිරීම් කර පෙන්විය යුතුය. එය ‘කරන දේ කියන – කියන දේ කරන’ නොහොත් යථාවාදී-තථාකාරී නායකයන්ගේ ලක්ෂණයයි.

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි