×

නවසීලන්ත අගමැතිනිය බිළිඳියත් සමග පාර්ලිමේන්තු එන හැටි!

අගමැතිවරිය පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇත්තේ බිළිඳු දියණිය - නෙවේ සහ සැමියා - ක්ලාර්ක් ගේෆෝර්ඩ් ද සමඟිනි.


නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා අර්ඩර්න් සිය ප්‍රසූත නිවාඩු හමාර කර රාජකාරි කටයුතු යළි ඇරඹුවා ය. තිස් හත් හැවිරිදි අග්‍රාමාත්‍යවරිය සේවයට වාර්තා කළේ දියණිය ලැබීමෙන් සති හයකට පමණ පසුවයි. ලබන සතියේදී ඈ ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවට ද පැමිණෙනු ඇතැයි කියා මාධ්‍ය වාර්තාවන්හි සඳහන් වේ.

අගමැතිවරිය පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇත්තේ බිළිඳු දියණිය – නෙවේ සහ සැමියා – ක්ලාර්ක් ගේෆෝර්ඩ් ද සමඟිනි. ජනතා නියෝජිතවරියන්ට බිළිඳු දරුවන් අතැතිව පාර්ලිමේන්තු සභා ගර්භයට ඇතුළුවීම, විවාදවලට සහභාගී වීම පමණක් නොව එහි සිට අත දරුවන්ට මව්කිරි දීමත් නවසිලන්ත නීතිය අනුව තහනම් නැත. මේ නිසා අගමැතිනී ජසින්ඩා සම්බන්ධයෙන් මෙයට පරිබාහිර අමුත්තක් සිදු වන්නට අවශ්‍යතාවක් නැත. එසේ වුවත් අගමැතිනිය සිය දියණිය සහ සැමියා සමඟ පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාව වාර්තා කරන්නට මාධ්‍යවේදීන් නම් රැස් කකා බලා හිඳිනු ඇත; එමෙන්ම වඩාත් හොඳම දසුන් – හොඳම ඡායාරූප තම කැමරාවලට හසු කරගන්නා උන්මාදයෙන් ඔවුන් තැනක් නොතැනක් නොබලා කටයුතු කරනු ඇත. තත්ත්වය පාලනය කිරීම සඳහා කතානායක ට්‍රෙවර් මාලර්ඩ් දැනටමත් කටයුතු කරමින් සිටී. ඒ අනුව අගමැතිනියගේ, බිළිඳියගේ සහ සැමියාගේ ඡායාරූප ගැනීමට මාධ්‍යවේදීන්ට ඉඩ ලැබෙන්නේ ඒ සඳහා අනුමැතිය ලබා දී ඇති ස්ථානවලදී පමණි. වගකීම පැහැර හරිමින් ඒ අවස්ථාවේදී බිළිඳියගේ ඡායාරූප ගන්නට ඉදිරිපත් වන මාධ්‍යවේදීන්ට පයින් ගසා, පාර්ලිමේන්තු භූමියෙන් ඉවත් කරන්නට කටයුතු කරන බවත් කතානායකවරයා පවසයි. නිවේදනය මේ අන්දමින්ම පාර්ලිමේන්තු මාධ්‍ය ගැලරියේ නිළධාරීන් වෙත යවන්නටත් කතානායකවරයා අමතක කර නැත. වගකීමෙන් තොරව කටයුතු කරන මාධ්‍යවේදීන්ටත් ඔවුන්ගේ සේවායෝජකයන්ටත් එරෙහිව දඬුවම් ලබාදීමට කටයුතු කරන බැව් කතානායකවරයා සිය නිවේදනයෙන් අවධාරණය කර සිටී. ඒ නිසා ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුව තුළදී මාධ්‍යවේදීන් අනුගමනය කළයුතු නීති එදිනට ඉතා තදින්ම ක්‍රියාත්මක කෙරෙනු ඇත; එපමණක් නොව, අවසරයකින් තොරව බිළිඳියගේ ඡායාරූප ගැනීමටත් මාධ්‍යවේදීන්ට කිසිදු ඉඩක නොලැබෙනු ඇත.

මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් මෙවැනි දැඩි පිළිවෙතක් අනුගමනය කරන්නට කතානායකවරයා තීරණය කර තිබෙන්නේ අග්‍රාමාත්‍යයවරිය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බැව් සඳහන් වේ. බිළිඳු දියණිය සීමාවක් ඇතිව මාධ්‍යයට නිරාවරණය කළ යුතු බැව් අග්‍රාමාත්‍යවරිය එහිදී නිසැකයෙන්ම අවධාරණය කරන්නට ඇත. එසේම පාර්ලිමේන්තුව, ජනතා නියෝජිතයන්ට වඩාත් සමීප ස්ථානයක් බවට පත් කිරීමේ අගමැතිනියගේ උත්සාහයත් මෙහි ගැබ්ව තිබේ.

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා අර්ඩර්න් දියණිය ප්‍රසූත කළේ පසුගිය ජුනි මාසයේදී ය. අගමැතිවරිය මුළුමනින්ම සිය රාජකාරි කටයුතුවල නියැලීම ආරම්භ කළ විට “නෙවේ” බලා ගැනීම සම්පූර්ණයෙන්ම භාර කෙරෙනු ඇත්තේ ඇගේ සැමියා – ක්ලාර්ක් ගේෆෝර්ඩ් වෙත ය. ඔහු රැකියාවක නියැලෙන කෙනෙකු නොවන බැව් මාධ්‍ය වාර්තාවල දැක් වේ. අගමැතිවරිය මව්පදවියේ අත්දැකීම් පළමුවරට විඳින්නේ නෙවේ නිසා ය.

බිළිඳු දියණිය සමඟ තමන් ලබන අත්දැකීම් විස්තර කරමින් අගමැතිවරිය “නිව් සීලන්ඩ් හැරල්ඩ්” පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබිණ. එහිදී ඈ කියා තිබුණේ බිළිඳු දරුවකුගේ ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් තමන් සැබෑවටම තේරුම් ගත්තේ නෙවේගේ උපතින් අනතුරුව යැයි කියායි. බිළිඳු දියණියගේ “නැපි” මාරු කිරීමේ අසීරු කටයුත්ත ගැනත් එහිදී ඈ අදහස් පළකර තිබිණ.

ප්‍රසූත නිවාඩුවෙන් පසු රාජකාරී කටයුතු ආරම්භ කිරීමට පළමුව අගමැතිවරිය සිය ආදරණීය පවුලේ ඡායාරූප කිහිපයක් මාධ්‍යට නිකුත් කර තිබුණාය. ඈ ඒ ඡායාරූපවලට පෙනී සිට තිබුණේ ඇගේ ඕක්ලන්ඩ් නිවසේදී ය.

ඡායාරූප සබැඳුම

http://www.dailymail.co.uk/news/article-6018079/Journalists-kicked-parliament-photos-Jacinda-Arderns-baby.html


Silence is argument carried out by other means.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි