×

නොවිචොක් ප්‍රහාරය රුසියාවේ වැඩක්! ඇමරිකාවෙන් රුසියාවට සම්බාධක

බ්‍රිතාන්‍යයේ ජීවත් වූ රුසියානු රහස් ඔත්තුකරුවෙකු වූ ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණියට නොවිචොක් නමැති ස්නායු ප්‍රහාරක රසායනිකය එල්ල කර ඔවුන් මරණාසන්න කළේ රුසියාව විසින් බව ඇමරිකාව තරයේ කියා සිටියි. ඒ අනුව ඇමරිකාව විසින් රුසියාවට විරුද්ධව සම්බාධක ද පනවන ලදී.


2018 මාර්තු මාසයේ මුල, සෙර්ගෙයි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය යුලියා (ඉහත ඡායාරූපයේ දැක්වෙන) එක්සත් රාජධානියේ සැලිස්බරි නගරයේදී නොවිචොක් නර්ව් ඒජන්ට් (ස්නායු විෂ) ප්‍රහාරයකට ලක් වූහ. සති කිහිපයක් තිස්සේ ඔවුන් මරණාසන්න තත්වයෙන් රෝහල් ගත කර සිටි අතර මේ වන විට මද සුවයක් ලබා රෝහලෙන් පිටව ගොස් සිටිති. (NOVICHOK-US-RUSSIA-SANCTIONS)

මේ සම්බන්ධයෙන් එක්සත් රාජධානි බලධාරීන් ද හිටපු රහස් ඔත්තු සේවා නිලධාරියා සහ ඔහුගේ දියණිය වෙනුවෙන් ඇඟිල්ල දිගු කළේ රුසියානු පාලනය හෙවත් ක්‍රෙම්ලිනය වෙත ය. නමුත් රුසියානු බලධාරීහු එම චෝදනා ප්‍රතික්ෂේප කළහ.

මේ අතර, ඩෝන් ස්ටෘෘගස් නමැති 44 රුසියානු ජාතික, බ්‍රිතාන්‍යයේ ජීවත් වූ කාන්තාවක් ද එම නොවිචොක් ස්නායු විෂ හේතුවෙන්ම ජූනි මාසයේ රෝහල් ගත කළ අතර, රෝහලේදී ඇය මිය ගියාය. ඇගේ සහකරු වූ චාල්ස් රොව්ලි ද විෂ ශරීරගත වීම නිසා අසනීප වූ නමුත් පසුව ඔහු සුවය ලැබුවේය.

ඊයේ දිනයේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධි සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ලදී. එහිදී පෙන්ටගන් ප්‍රකාශිකා හෙදර් නෝරට් ස්ථිර ලෙසම කියා සිටියේ ‘‘රුසියාව විසින් අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කරමින් රසායනික හෝ ජීව විද්‍යාත්මක ආයුධයක් වශයෙන් නොවිචොක් යොදාගෙන ඇති බව‘‘ යි.

එම ප්‍රකාශය මත පදනම් ව රුසියාව වෙත සම්බාධක පැනවීමට ද ඇමරිකාව පැකිළුණේ නැත.

ඒ අනුව අගෝස්තු 22 වැනිදා පටන් ‘සංවේදී ඉලෙක්ට්‍රොනික උපාංග සහ වෙනත් තාක්ෂණික උපාංග‘ සඳහා ඇමරිකාව විසින් රුසියාව වෙත සම්බාධක පනවා තිබේ.

බ්‍රිතාන්‍ය රජය ද ඇමරිකාවේ මෙම තීරණයට සහාය පළ කරයි.

එක්සත් රාජධානියේදී නොවිචොක් ප්‍රහාරයට ලක් වූ මෙම සිව්දෙනාම, උපතින් රුසියානු ජාතිකයන් වන නමුත් පසුව බ්‍රිතාන්‍යයේ පුරවැසි භාවය ලබාගත් අය වේ.

‘‘රුසියාවේ කුපිත කරවනසුලු හා සාහසික හැසිරීම් සඳහා ඔවුන් වෙත ලබාදෙන ප්‍රබල පණිවුඩයක්‘ බවට මෙය පත්වනු ඇතැයි එක්සත් රාජධානි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ඇමරිකාව රුසියාවට එරෙහිව සම්බාධක පැනවූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ.

පසුගිය ජූනි මාසයේ ඇමරිකාව තුළින් රුසියාවෙන් එල්ල වූ සයිබර් ප්‍රහාර ගණනාවක් පිළිබඳව වාර්තා විය. එවිට ද ඇමරිකාව මේ අන්දමින් සම්බාධක පැනවූ අතර, සයිබර් ප්‍රහාරවලට සම්බන්ධ රුසියානු සමාගම්වලට ඇමරිකානු මූල්‍ය පද්ධති හරහා කිසිදු ගනුදෙනුවක නියැළීම ද තහනම් කරන ලදී.

නව සම්බාධක සම්බන්ධයෙන් රුසියාව කියා තිබෙන්නේ ඒවා ‘‘දුෂ්ට‘‘ පියවරක් බව ය.

ඇමරිකාවේ පිහිටා තිබෙන රුසියානු තානාපති කාර්යාලය එසේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රතිචාර දක්වමින් කියා තිබෙන්නේ ‘රුසියාව රසායනික අවි තවදුරටත් භාවිතා නොකරන බවට ඉදිරි දින 90 ක කාලය තුළ සහතික නොවන්නේ නම්, ‘ඊටත් වඩා දුෂ්ට‘ සම්බාධක ඉදිරියේදී තමන් විසින් රුසියාවට එරෙහිව පැනවීමට අපේක්ෂා කරන බව ය.

පෙර ලිපි;

නොවිචොක් ප්‍රහාරයට ලක් වූ අයෙක් ජීවිතක්ෂයට

තවත් රහස් ඔත්තුකාර යුවළක් නොවිචොක් ප්‍රහාරයට බිලි

රසායනික ප්‍රහාරයට ලක් වූ ස්ක්‍රිපල්ලාගේ සුරතල්ලු

Lab-X රුසියාවේ අබිරහස් ඝාතන පිටුපස සැඟවුණු විෂ රහස



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි