×

පස් වතාවක් තමිල්නාඩුවේ මහ ඇමති වූ කරුණානිධි මිය යයි

1969 වසරේ සිට පස් වතාවක් තමිල්නාඩුවේ මහඇමති ධුරය හෙබවූ සහ වසර 60කට අධික කාලයක් තමිල්නාඩු දේශපාලනයේ සලකුණ වශයෙන් සැලකුණු කරුණානිධි, අද පස්වරුවේ වයස අවුරුදු 94 දී මෙලොව හැර ගියේය. ඔහු හැඳින්වෙන්නේ ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් හෙවත් DMK පක්ෂයේ කුලදෙටුවා ලෙස ය.


අසනීප තත්වයෙන් පසු වූ කරුණානිධි Karunanidhi පුරා වසරකට අධික කාලයක් ප්‍රසිද්ධියේ දැකගත හැකි වූයේ නැත. මුත්‍රා ආසාදනයක් සහ අධික උණ තත්වය හේතුවෙන් අවසානයේ ඔහුව පසුගිය ජූනි 28 වැනිදාරෝහල්ගත කෙරුණු අතර ඔහු මිය ගියේ ද රෝහලේදී ය.

කරුණානිධිගේ වියෝවෙන් වැළපෙන ජනතාව

ලංකාවේ දමිල ප්‍රශ්නය සම්බන්ධයෙන් ද තීරණාත්මක චරිතයක් වශයෙන් සැලකුණු කරුණානිධි, ඔහුගේ සමකාලීන විරුද්ධකරුවන් වූ එම්.ජී. රාමචන්ද්‍රන් සහ ජයලලිතා ජයරාම් වැනි චරිත අතර ද කැපී පෙනුණු අයෙකි. මේ වන විට තමිල්නාඩු ජනතාව ඔහුගේ වියෝව වෙනුවෙන් වැළපෙති.

Twitter

ඔහුගේ වියෝව සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩ ගණනාවක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබුණේ කරුණානිධි යනු ගැඹුරු මුල් සහිත ජන නායකයෙක්, විපුල චින්තකයෙක්, දක්ෂ රචකයෙක් සහ දුප්පතුන්ගේ සුබ සාධනය වෙනුවෙන් කැප වූ ශක්තිවන්තයෙක් බව ය. හදිසි නීතිය සම්බන්ධයෙන් කරුණානිධි පළකළ දැඩි විරුද්ධත්වය ද තමන්ට කිසිදිනෙක අමතක නොවනු ඇතැයි මෝදි පවසා තිබිණි. හෙට දිනයේ අගමැති මෝදි, චෙන්නායි නුවර වෙත ගොස් කරුණානිධි වෙත අවසන් ගෞරවය දැක්වීමට නියමිත ය.

කරුණානිධි රෝගාතුරව සිටින බව අසා ඔහුගේ සුවදුක් බැලීමට ගිය පිරිස අතර ඉන්දීය ජනපති රාම්නාත් කෝවින්ද, උප ජනාධිපති වෙන්කයියා නායිදු සහ දේශපාලන පක්ෂ නායකයන් ගණනාවක් වූහ. කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි මෙන්ම දේශපාලක-නළු කමල් හාසන් සහ රජිනිකාන්ත් ද ඒ අතර වූහ.

අති දක්ෂ තිර කතා රචකයෙකු වන කරුණානිධි “Kalaignar” චිත්‍රපටයේ රචකයා වන අතර, මෙම පිටපත ඔහුගේ දේශපාලන දිවියට දැඩි බලපෑමක් ඇති කළ එකක් සේ සැලකේ. එසේම ඔහු ව්‍යක්ත කථිකයෙකු ද විය.

විටින් විට මහඇමති ධුරය හිමි කරගනිමින් සහ අහිමි කර ගනිමින් සිටි කරුණානිධි, බලයේ හිණිපෙත්තට නැංගේ 1989 වසරේ එම්.ජී.ආර්. මිය යාමත් සමග ය. නමුත් රජීව් ගාන්ධි ඝාතනයත් සමග ඔහුට නැවත ධුරය අහිමි විය. ඒ, අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනය කෙරුණේ ලංකාවේ LTTE සංවිධානයේ බෝම්බ ප්‍රහාරයකින් බව තහවුරු වීමත් සමග ය. කරුණානිධි LTTE හිතවාදියෙකු සේ සැලකේ.

නැවත ඔහු 1996 වසරේ බලයට පැමිණියේ ජයලලිතාට එරෙහිව දැඩි දූෂණ චෝදනා එල්ල වීමේ ප්‍රතිඵලයක් ලෙස ය. එතැන් පටන්, 2016 වසරේ ජයලලිතා මහජන මතයෙන් දෙවන වතාවටත් මහ ඇමතිනිය බවට පත්වීමෙන් අනතුරුව කරුණානිධි නිහඬ ජීවිතයක් වෙත යොමු විය.

LTTE සහ කරුණානිධි

ලංකාවේ ජන වාර්ගික ගැටළුව සහ LTTE සංවිධානය පිළිබඳ කරුණානිධි විසින් මතභේදාත්මක ප්‍රකාශ ගණනාවක් පළ කර තිබේ.

‘‘ප්‍රභාකරන් මගේ හොඳ මිත්‍රයෙක්! නමුත් මා ත්‍රස්තවාදියෙක් නොවෙයි“ යැයි කී දිනයට පසුදිනම ‘‘LTTE සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් නොවේ යැයි මා කිසිවිටෙක කීවේ නැහැ. රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් LTTEයට කිසිදා සමාව දෙන්නට බැහැ“ යැයි ද කරුණානිධි පැවසුවේය.

මේ සිදුවීම වාර්තා වූයේ LTTE සංවිධානය යුධමය වශයෙන් පරාජය වීමට දින කිහිපයකට පෙර 2009 අප්‍රේල් මාසයේ ය. පසුව විකිලීක්ස් මගින් හෙළිවූයේ  දෙමළ ප්‍රශ්නය වෙනුවෙන් පෙනී නොසිටින්නේ නම් ඔහුව ඝාතනය කරන බවට LTTE සංවිධානය විසින් 1989 වසරේදී කරුණානිධි හට තර්ජනය කළ බව ය.

එසේම කරුණානිධිගේ පසමිතුරෙකු වූ එම්.ජී.ආර් හෙවත් එම්.ජී. රාමචන්ද්‍රන් LTTE සංවිධානය සමග පැවැත්වූ සමීප සබඳතා නිසා LTTEය කිසිවිටෙක ශ්‍රී ලංකාව තුළ කරුණානිධිගේ ප්‍රියතම දමිල පක්ෂය නොවූ බව ද විකි ලීක්ස් මගින් හෙළිකළ තවත් කේබල් පණිවුඩයකින් දැක්විණි.

කෙසේ නමුත් කරුණානිධිගේ DMK පක්ෂය ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටළුවේදී දමිල ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් දැඩි හඬක් නැගූ බව නොරහසකි. තමිල්නාඩු දේශපාලනයේ ප්‍රියතම සහ මගහැරිය නොහැකි මාතෘකාවක් බවට ලංකාවේ ජනවාර්ගික ගැටළුව පත්කිරීමට කරුණානිධි ලබාදුන් දායකත්වය සුළුපටු නොවේ.

පෙර පුවත්-

කරුණානිධි රෝහලට



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි