×

ශ්‍රී ලාංකික නියෝජනයක් ද සමගින් 10 වන සමරිසි ක්‍රීඩා සැණකෙළිය ප්‍රංශයේදී උත්සවාකාරයෙන් ඇරඹේ

ලෝකය පුරා විසිරී සිටින සමරිසි පුද්ගලයින් ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන වසර හතරකට වරක් පැවැත්වෙන සමරිසි ක්‍රීඩා සැණකෙළිය ගැන ඔබ අසා තිබේද?


Gay Games 2018

ඔලිම්පික්, ලෝක ශූරතා, ලෝක කුසලාන යනාදී විවිධ ක්‍රීඩා සැණකෙලි ලෝකය පුරා විසිරී සිටින ජවන හා පිටිය දක්ෂයින්ගේ හැකියාවන් උරගා බලන අතර, ලොව වේගවත්ම, ශක්තිවන්තම, රිද්මයානුකූල මෙන්ම සෞඛ්‍ය සම්පන්න මිනිසුන්ද ජයග්‍රාහකයින් ලෙස තෝරාගනියි.

2018 වර්ෂය සඳහා නියමිත සමරිසි ක්‍රීඩා සැණකෙළිය මෙම මස 04 වැනිදා සිට 12 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී උත්සවාකාරයෙන් පැවැත්වේ. දසවන වරට පවත්වන මෙම ක්‍රීඩා තරඟ සැණකෙළියට ලෝව පුරා විසිරී සිටින සමරිසියන් පුරුෂයින්, කාන්තාවන්, සංක්‍රාන්ති සමාජභාවීය කාන්තාවන් හා පුරුෂයින් හා අන්තර් ලිංගික පුද්ගලයින් සහභාගී වේ. 2018 වර්ෂයේදී ලොව පුරා විසිරී සිටින 10,000 ක් පමණ විවිධ ලිංගික අනන්‍යතා සහිත වූවන් පැරිස් නුවරට රැස්වෙන්නේ එකිනෙකාට එරෙහිව තරඟ වැදෙමින් ජය පරාජය උරගා බලන්නටම නොවේ. ආදරයේ, සාමයේ, මානව නිදහසේ පණිවිඩය ලොව පුරා බෙදාගැනීමට මෙම ක්‍රීඩා උළෙල මගින් ඔවුහු උත්සාහ කරති. සමරිසියෙකුව ඉපදීම හෝ සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයෙකුව ඉපදිම පවක්, කරුමයක්, සමාජ අපචාරයක් ලෙස හංවඩු ගසමින් තිබෙන අප වැනි රටකට එවැනි ක්‍රීඩා උළෙලක් ගැන ඇසීම පවා මැජික් විය හැකි වුවද, කකුල් දෙක මැද තිබෙන අවයව හා එයින් කරන දෙයට වඩා, එය කරන්නේ කා සමගද යන්නට වඩා ආදරයේ හා ජීවිතය බෙදා හදා ගැනීමේ උණුසුම පිළිබඳ කතාන්දරයක් මෙම ක්‍රීඩා උළෙලින් ප්‍රතීයමාන කරයි. එමෙන්ම සමරිසියන් හා සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාව යනු කාය බලය අඩු පිරිසක්ය, විෂම ලිංගික චර්යාවන් කරන්නට බැරි නිසා සමලිංගිකයින්ව හැසිරෙනවාය යනුවෙන් සමාජය පුරා විසිරී ඇති හංවඩුවට කදිම පිළිතුරක්ද මෙම ක්‍රීඩා උළෙල මගින් ලබාදෙයි.

ඊයේ (04) ආරම්භ වූ මෙම සැණකෙළියට ලෝකයේ රටවල් 91 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන අතර, එම රටවල් 91 අතර ඊජිප්තුව, නයිජීරියාව, සෞදි අරාබියාව වැනි දැඩි ලෙස සමරිසිභාවය මර්දනය කර ඇති රටවල් මෙන්ම, ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි සමරිසිභාවය අපරාධයක් ලෙස සලකන රටවල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද සහභාගී වෙති. ඉතිහාසයේ ප්‍රථම වරට චීනය සමරිසි ක්‍රීඩක ක්‍රීඩිතාවන් කණ්ඩායමක්ම තරඟයට සහභාගී කර ඇති අතර, 2022 දී පළමු වරට ආසියාවේ පැවැත්වීමට නියමිත මෙම තරඟාවලිය සඳහා සත්කාරකත්වය සපයන හොංකොං දේශයට සහයෝගය ලබාදීමට බලාපොරොත්තුවෙන් පසුවේ.

ලෝකයේ ඔලිම්පික් උළෙල වසර හතරකට වතාවක් පවත්වනවාක් මෙන් සමරිසි ක්‍රීඩා උළෙලද පවත්වන්නේ වසර හතරකට වතාවකි. 1992 දී ප්‍රථම වරට ඇමෙරිකාවේ කැලිෆෝනියාවේදී ඉතා සුළු ආකාරයෙන් ආරම්භ වූ සමරිසි ක්‍රීඩා සැණකෙළිය වර්තමානය වන විට ලෝක‍යේ විවිධත්වය හා බහුවිධතාවය උපරිමයෙන්ම අගය කරන විශාලතම ක්‍රීඩා උළෙල බවට පත්ව තිබේ. මෙම ක්‍රීඩා උළෙල පැවැත්වීමේ ප්‍රධානතම අරමුණ වශයෙන් හඳුනාගෙන ඇත්තේ විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව හෙවත් LGBTIQ ප්‍රජාවට එරෙහිව සමාජයේ පවතින විවිධ මතවාදයන් හා දුර්මතයන් වෙනස් කිරීමයි. එමෙන්ම විවිධ ලිංගික අනන්‍යතා සහිත වූවන්ගේ ප්‍රජාව ශක්තිමත් කිරීම හා එකමුතු කිරීමයි.

මෙම ක්‍රීඩා උළෙල ආරම්භ කිරීමේ ගෞරවය හිමිවන්නේ හිටපු ඔලිම්පික් ශූරයෙකු හා භෞත චිකිත්සකයෙකු වූ ටොම් වැඩෙල් මහතාටය. ඔහු මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කළේ ලොව පුරා විසිරී සිටින සමරිසි භිතිකාවෙන් හා වෙවරයෙන් පීඩා විඳිමින් සිටින මිනිසුන්ගේ උසුළු විසුළු, අපහාස හා අධෛර්ය කිරීම් මධ්‍යයේ පවාය. අඩුම තරමේ ඔහු දැන සිටි සමරිසි ප්‍රජාවේ අය පවා මෙය යථාර්ථයක් වනු ඇතැයි විශ්වාස කළේ නැත. එහෙත් අනුග්‍රාහකයෙක් හෝ සොයාගැනීමට නොහැකිව පසුතැවිල්ලෙන්, හිරිහැරයෙන්, අවමානයෙන් හා පීඩනයෙන් ඇරඹී සමරිසි ක්‍රීඩා උළෙල දස වැනි වතාවටත් පැවැත්වීමට තරම් දරුණු ආරම්භයක් ගැනීමට ඔහු එදා සමත් විය. ක්‍රීඩා උළෙල ආරම්භයේදී ඔහු මෙයට සමරිසි ඔලිම්පික් උළෙල (Gay Olympic) ලෙස නම් කළ ද, එය ඔලිම්පික් උළෙලට බාධාවක් වනු ඇතැයි ඇමෙරිකන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම නිසා එය සමරිසි ක්‍රීඩා තරඟාවලිය ( World Gay Games) ලෙස නම් කෙරුණි. වෙඩල් යනු ද්විරිසි පුද්ගලයෙකු වූ අතර, ඔහුට පුරුෂයින් සමග මෙන්ම කාන්තාවන් සමගද සම්බන්ධතා පැවතුණි. අවසන් වරට ඔහු විවාහ වී සිටියේ සමරිසි කාන්තාවක් හා මළල ක්‍රීඩිකාවක වන සාරා ලෙවින්ස්ටයින් සමගය. ඔවුන් දෙදෙනාට ජෙසිකා වෙඩල් ලෙවින්ස්ටයින් නම් දියණියක්ද සිටියාය. 1987 දී නතුකරගත් ප්‍රතිශක්තීකරණ ඌනතා සහලක්ෂණයෙන් (AIDS) රෝගයෙන් පීඩා විඳ ඔහු මිය යන විට ලොව පුරා විසිරී සිටින සමරිසියන් ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාවට ඔවුන්ගේ දක්ෂතාවන් ලෝකයට පෙන්වීමට කදිම පිටියක් සකස් කර තිබුණි.

ටොම් වැඩෙල් මහතා සම්බන්ධව ඔහුගේ දියණිය ජෙසිකා මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ කියා සිටියාය.
“ ඔහුට අවශ්‍ය වුණේ මිනිසුන්ගේ නිදහස දකින්න. තම ලිංගික අනන්‍යතාව හෝ දිශානතිය පිළිබඳ පසුතැවිලි වෙමින් හෝ වෛර කරමින් ජීවත්වනවා වෙනුවට තමන්ගේ අනන්‍යතාවය අභිමානයක් කරගෙන එළියට එන්න. ඔහු ඒ සඳහා යෝජනා කළේ ක්‍රීඩාව. ඒ ඔහු ඔහුගේ ලිංගික දිශානතියට අමතරව දන්නා හොඳම දෙය නිසා”.

වෙනත් ක්‍රීඩා උළෙලවල් වලදී සංක්‍රාන්ති ලිංගිකයින් හා සමරිසි කාන්තාවන් තරඟවලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න පැන නැගෙන අතර ඔවුන්ගේ ජාන, හෝමෝන යනාදිය පවා ඉතා තදින් පරීක්ෂණයට ලක්කෙරේ. පසුගිය ඔලිම්පික් තරඟාවලියේදී මීටර් 800 රන් පදක්කම දිනූ හා එම ඉසව්වේ වර්තමාන ලෝක ශූරිය වන දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා කාස්ටර් සෙමෙන්යා ක්‍රීඩිකාව වසර ගණනාවක් පුරා විවිධ පර්යේෂණවලට හා පරීක්ෂා කිරීම්වලට භාජනය වූ අතර වර්තමානයේදී පවා ඇය සමරිසි කාන්තාවක් වීම හේතුවෙන් විවිධ වෙනස්කම්වලට හා නොපණත්කම්වලට භාජනය කරයි. එහෙත් ලෝක සමරිසි ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන් හඳුනාගත් අනන්‍යතාවය මත පදනම්ව තරඟ ඉසව්වලට සහභාගී විය හැකි අතර, වෙනස්කමකට හෝ නොසලකා හැරීමකට ලක්වීම උපරිම වශයෙන් අවම කිරීමට අවශ්‍ය සියලු පියවර සංවිධායකින් විසින් ගෙන තිබේ.

ක්‍රීඩාව විශ්ව භාෂාවක් යැයි අප අසා තිබේ. ආදරය ද විශ්ව භාෂාවක් යැයි කියනු ලැබේ. ක්‍රීඩාව හා ආදරය එක් වූ කල ලෝකයේ විශිෂ්ටගත විශ්ව භාෂාවන් දෙකක් එක්ව තැනූ මනරම් කවියක් තරම් සුන්දර වනු ඇත. 2018 වර්ෂයේ ලෝක සමරිසි ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ සමරිසි තරුණයෙකුද මීටර් 400 තරඟ බිමේ තරඟ වැදීමට නියමිතය. කිසිදු අනුග්‍රහයක්, කිසිදු ප්‍රසිද්ධියකින් තොරව ඔහු අවම පහසුකම් හා අවම සැලකීම් මධ්‍යයේ රට වෙනුවෙන් තරඟ බිමට බසිනු ඇත. ගරු කටයුතු ශ්‍රී ලංකා වාසී නෝනාවරුණි මහත්වරුණි! සමරිසියන්ට වෛර කරන්න. තලන්න, පෙළන්න. එහෙත් ඔවුන් ඔබට ආදරයේ හා සාමයේ පණිවිඩය කියා දෙනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි