×

ඇපල් (Apple), ඩොලර් ට්‍රිලියනයක් වටිනා ලොව ප්‍රථම පොදු සමාගම බවට පත්වෙයි!

පසුගිය වසරේදී ඇපල් සමාගමේ අලෙවි ආදායම ඇ.ඩො. බිලියන 229 ක් විය. එයින් ඇ.ඩො. 48.4 ක් වෙන් වූයේ සමාගමේ ලාභය ලෙස ය.


අයිෆෝන් නිෂ්පාදනය සම්බන්ධයෙන් ලෝකයේ අති මහත් කීර්තියක් උසුළන ඇපල්, සමාගමේ වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියනය ඉක්මවූ ලෝකයේ ප්‍රථම පොදු සමාගම බවට පත්වීමට නියමිත ය.

අලුත්ම සංඛ්‍යාලේඛන අනුව ඇපල් සමාගමේ වත්කම්වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 767 ක් වන අතර නොබෝ දිනකින්ම එහි වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 1000 හෙවත් ට්‍රිලියනය බවට පත්වනු ඇත.

මේ අනුව ඇපල් සමාගම, සිය ක්ෂේත්‍රයේ (සිලිකන් නිම්නයේ ) තරගකරුවන් වන ඇමසන් සහ මයික්‍රොසොෆ්ට් සමාගම පරාජය කර තිබේ.

ඇපල් අයිෆෝනය (iPhone) පළමු වරට වෙළඳපොළට පැමිණියේ 2007 වසරේදී ය. එතැන් පටන් ඇපල් සමාගමේ කොටස් මිල 1100%කින් වැඩි වී අතර, ගතවූ වසරේදී එහි කොටස් මිල තුන් ගුණයකින් ඉහළ ගියේය.

මෙම සමාගම ඇමරිකානු කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක් බවට පත්වූයේ 1980 වසරේදී ය. එතැන් පටන් මේ දක්වා එහි කොටස් මිලෙහි වැඩි වීම සියයට පණස් දහසකි. (50,000%). නමුත් විශ්ලේෂකයන් පෙන්වා දෙන ආකාරයට ඇපල් සමාගමේ කොටස් මිල මේ වනවිට ඇ.ඩො. 207 සීමාවේ පැවතියද, අධික ඉල්ලුම හමුවේ මෙය ‘අධිමිලක්‘ වශයෙන් සැලකෙන්නේද නැත.

එසේම ඇපල් සමාගම පසුගිය කාලයේ දියත් කළ ‘කොටස් නැවත මිලදී ගැනීමේ‘ වැඩසටහන ද එහි ලාභය මෙතරම් අධික වීමට බලපා ඇති බවට විශ්වාස කෙරේ.

ඇපල් සමාගම උපන්නේ 1967 වසරේ එහි නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ ගරාජයෙනි. මුලින්ම මැක් වර්ගයේ පුද්ගලික පරිගණකය සොයාගත් ස්ටීව් ජොබ්ස්ගේ ඇපල් සමාගම පසුව ස්මාට්ෆෝන් නිෂ්පාදනයේ දැවැන්තයා බවට පත්විය.

2011 වසරේදී ස්ටීව් ජොබ්ස් මිය ගිය ද, ඔහුගෙන් පසු සමාගම භාරගත් එහි ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්, අයිෆෝනය වැඩිදියුණු කිරීමේ කටයුතුවල තවදුරටත් නිරත වූ අතර, ඇපල් සමාගමේ වර්තමාන ධනස්කන්ධය සඳහා වැඩිම දායකත්වය දැක්වූයේ ඔහු විසිනි.

පසුගිය වසරේදී ඇපල් සමාගමේ අලෙවි ආදායම ඇ.ඩො. බිලියන 229 ක් විය. එයින් ඇ.ඩො. 48.4 ක් වෙන් වූයේ සමාගමේ ලාභය ලෙස ය. එය ඇමරිකා එක්සත් ජනපදයේ වඩාත්ම ලාභදායී ව්‍යාපාරය බවට ද පත්විය.

ඇපල් සමාගමේ සාර්ථකත්වයේ ප්‍රධානතම රහස වශයෙන් හඳුනා ගැනෙන්නේ එය ‘තොග පිටින්‘ සිය උපාංග නිෂ්පාදනය නොකිරීමයි. එනම් ඔවුන් ‘‘ඉල්ලුම තරමට සැපයුම‘‘ නමැති සාමාන්‍ය සිද්ධාන්තය විශ්වාස කරන්නේ නැත.

එනම්, සමාගම හැමවිටම නිෂ්පාදනය කරන්නේ සීමිත අයිෆෝන් ප්‍රමාණයකි. එහෙත් ඒවා ලෝකයේ මිලෙන් අධිකතම උපාංග ය. මේ නිසා ඔවුන්ට ස්ථාවර සහ අධික ලාභයක් ලැබීමට හැකියාව ලැබී ඇත.

ඇපල් සමාගමට පෙර ලෝකයේ වැඩිම වත්කමක් සහිත සමාගම බවට පත්ව තිබුණේ පෙට්‍රොචයිනා සමාගමයි. 2007 වසරේදී එහි වටිනාකම ඇ.ඩො. ට්‍රිලියන 1.1 ක් විය. එහි වැඩි කොටස් හිමිකාරිත්වයක් තිබුණේ චීන රජයට ය. නමුත් මේ වන විට එහි වටිනාකම ඇ.ඩො. 220 ක් දක්වා අඩු වී තිබේ. කෙසේ නමුත් චීන ස්මාට්ෆෝන් වෙළඳපොළ විසින් ඉදිරි වසර කිහිපය තුළ ඇපල් සමාගමේ වත්කම් වලට අභියෝග කළ හැකි බවට ද මත පළ වේ.

කෙසේ නමුත් සෑම අයෙක්ම අවිවාදයෙන් පිළිගන්නා ආකාරයට ඇපල් මෙවලම් විසින් ලෝකය වෙනස් කර තිබේ. එසේම ඇපල් සමාගම විසින් ලෝකයේ මූල්‍ය ඉතිහාසය ද වෙනස් කර තිබේ.

– අමාලි ජයවීර

https://www.bbc.co.uk/news/amp/business-45050213



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි