×

උතුරු කොරියානු නායකයා ලෝකයේ ශක්තිමත්ම න්‍යෂ්ටික බලය ලබා ගැනීමට අපේක්ෂාවෙන්

එක්සත් ජනපදයට පහර දිය හැකි න්‍යෂ්ටික අවියක් තමා සන්තකයේ තබා ගතහැකි නම් එය ඉතා වැදගත් බව උතුරු කොරියානු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදි.


උතුරු කොරියාවේ විශාලතම බැලස්ටික් මිසයිලය වන හ්වාසොං -17 දියත් කිරීමට සම්බන්ධ වූ හමුදා නිලධාරීන් අමතමින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසා ඇත්තේ තම අවසාන ඉලක්කය ලොව බලවත්ම න්‍යෂ්ටික බලය හිමිකර ගැනීම බව, කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය (KCNA) වාර්තා කර තිබේ.


උතුරු කොරියානු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජනපදයට ළඟා විය හැකි අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් (ICBM) වන Hwasong-17 ලෝකයේ ශක්තිමත්ම උපායමාර්ගික අවිය බවත්, උතුරු කොරියානු රාජ්‍යයේ සහ එහි ජනතාවගේ අභිමානය සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා තමන් න්‍යෂ්ටික බලයක් ගොඩනගමින් සිටින බවත්ය.


මෙහිදී, උතුරු කොරියාව තම ප්‍රධාන සතුරා ලෙස සලකන එක්සත් ජනපදයට පහර දිය හැකි න්‍යෂ්ටික අවියක් තමා සන්තකයේ තබා ගතහැකි නම් එය ඉතා වැදගත් බව ප්‍රකාශ කළ උතුරු කොරියානු ජනාධිපතිවරයා බැලිස්ටික් මිසයිල මත න්‍යෂ්ටික යුධ හිස් සවිකිරීමේ තාක්‍ෂණය දියුණු කිරීම අපූරු ඉදිරි පිම්මක් ලෙස සලකා සිය විද්‍යාඥයන්ව පැසසුමට ලක් කර ඇත.


මෙලෙස උතුරු කොරියානු ජනාධිපතිවරයා විසින් ස්ව අභිමතයට කරන ලද මිසයිල අත්හදා බැලීම් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් විසින් හෙළා දැක ඇති අතර, ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට මෙය නිසැක තර්ජනයක් ‌ලෙස ඔවුන් විසින් නම්කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි