×

ඇමරිකාවේ අධිශීත මෝචරි පේළි සමග ගෝලීය කොවිඩ් මරණ ගණන ලක්ෂ 3 ඉක්මවයි!

ඊයේ රාත්‍රිය වන විට ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 3 කඩඉම පසු කළේය.


ලොව පුරා සිටින කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට ලක්ෂ 44 ඉක්මවයි.

ලක්ෂ 3 ක් වන ගෝලීය මරණ සංඛ්‍යාවෙන් 1/4 කට වඩා එනම්, මරණ 84,000 ක්ම වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. අප්‍රේල් මාසයේ සිට ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ ගියේය.

මේ වන විට ඇමරිකාවේ දිනකට කොවිඩ් රෝගීන් 1500 දෙනා බැගින් මිය යමින් තිබේ.

ඇමරිකානුවන් මිලියන 36 ක් මේ වන විට රැකියා විරහිත භාවයට ද පත්ව සිටිති.

නිව්යෝක් නුවර තාවකාලික මෝචරි – අවමංගල්‍ය කටයුතු සඳහා මළ සිරුරු රැගෙන යන තෙක් ඒවා මෙම අධිශීත මෝචරි තුළ දහස් ගණනින් තබා තිබේ. (Photo by Justin Heiman/Getty Images)

අද (2020.05.15) දහවල් 12 වන විට කොවිඩ් වසංගතයෙන් වැඩිම මරණ ගණනක් සහිතව බැටකන රටවල් 5

1. ඇමරිකා එක්සත් ජනපදය – මරණ 86,912
2. එක්සත් රාජධානිය – මරණ 33,614
3.  ඉතාලිය – මරණ 31,368
4. ප්‍රංශය – මරණ 27,425
5. ස්පාඤ්ඤය – මරණ 27,321

යුරෝපය කොවිඩ් වසංතයෙන් බැට කෑමට ටන් ගත්තේ ඇමරිකාවට පෙර ය. මේ වන විට ජර්මනිය, ස්පාඤ්ඤය සහ ඉතාලිය වැනි රටවල් තරමක් දුරට යථා තත්වයට පත් වෙමින් සිටින නමුත් එක්සත් රාජධානියේ තත්වය තවදුරටත් බැරෑරුම් අවධියේ පවතියි.

කෙසේ නමුත් ඉරිදා දින පටන්, දැඩි සීමාකිරීම් මධ්‍යයේ රට නැවත විවෘත කිරීමට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් තීරණය කර තිබේ. මේ පිළිබඳ විවේචන එල්ලවෙමින් තිබෙන්නේ අප්‍රේල් අගභාගය වන විට දිනකට කොවිඩ් පරීක්ෂණ 100,000 ඉලක්කය සපුරාලීමට පොරොන්දු වී සිටියත් තවමත් එය ඉටු නොවී තිබීම හේතුවෙනි.

චීනයේ රුසියානු දේශසීමාව අසල නගරයක් ලොක්ඩවුන් කරයි.

චීනය නැවත යථා තත්වයට පත් වෙමින් පවතින බව පෙර පැවසුණද, නගර දෙකකින් නව කොරෝනා රෝගීන් වාර්තා වීමත් සමග නැවතත් සීමාකාරී තත්වයන් වෙත යොමුවීමේ අවශ්‍යතාවය අවධාරණය වෙමින් තිබේ.

මේ අතර, රුසියානු දේශසීමාව අසල පිහිටා ඇති ෂුලාන් නමැති නගරය සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කිරීමට චීනය කටයුතු කර තිබේ.

බොල්සොනාරෝගේ ‘පුංචි හෙම්බිරිස්සාව‘ තවදුරටත් අසාධ්‍ය වේ

ලතින් ඇමරිකානු රටවල් ගණනාවක් ද මේ වන විට කොවිඩ් වසංගත මරණවල සීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරයි. මේ අතරින් බ්‍රසීලය ප්‍රධාන ය.

‘‘පුංචි හෙම්බිරිස්සාවක්‘ යැයි කොවිඩ් වසංගතය හැඳින්වූ බ්‍රසීල ජනපති ජයර් බොල්සොනාරෝ (Jair Bolsonaro) මේ රෝගයේ බරපතළ කම තවදුරටත් ප්‍රතික්ෂේප කරමින් සිටියි. නමුත් මේ වන විට බ්‍රසීලයේ වාර්තාගත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,000 ඉක්මවා ඇත.

මෙක්සිකෝවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 4000 ඉක්මවන අතර, ඉක්වදෝරය සහ පේරු යන රටවල් ද රෝගයට සීඝ්‍රයෙන් ගොදුරු වෙමින් තිබේ.

මේ අතරින් ඉක්වදෝරයේ මරණ සංඛ්‍යාව රජය විසින් වසං කරන අතර, මියගිය පුද්ගලයන් ව ඔවුන්ගේ ඥාතීන්ට පවා සොයාගත නොහැකි ව ඇති බව මීට පෙර අප විසින් පළ කළ ලිපියකින් දක්වා තිබේ. කියවන්න – වසංගතයෙන් බිලිගත් ඉක්වදෝරයේ මරණයේ නගරය

ජෝන් හොප්කින්ස් වෛද්‍ය විද්‍යාලය විසින් සජීවී ව ගණනය කරනු ලබන ගෝලීය කොවිඩ් තත්වය සඳහා ඔවුන් යොදාගනු ලබන්නේ ලෝකයේ රටවල් විසින් නිල වශයෙන් ලබාදෙන තොරතුරු පමණක් වන හෙයින්, සත්‍ය තත්වය සහ සත්‍ය මරණ සංඛ්‍යාව මෙයට වඩා වැඩි විය හැකි බවට ද මතයක් පවතියි.

දකුණු කොරියාවේ පොකුරු රෝගීන් හමුවේ

රෝගය මර්දනය කළ බවට වාර්තා වූ දකුණු කොරියාවෙන්ද තවදුරටත් පොකුරු රෝගීන් හමුවීමේ අවදානමක් ඇති වී තිබේ. පොකුරු පිටින් රෝගීන් හමුවීමේ තත්වය වාර්තා වන්නේ සෝල් අගනුරිනි.

දකුණු කොරියානු ජනපති මූන් ජේ-ඉන් (Moon Jae-in) විසින් මේ වන විට ලොව පුරා නින්නාද වන අනතුරු ඇඟවීම් ප්‍රකාශයක් සිදු කර තිබේ.

“It’s not over until it’s over.”

‘එය අවසන් වන තෙක් එය අවසන් නොවේ‘



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි