×

අවුරුදු 23 කට කලින් යුදෙව් සංහාරය ‘ජෝක් එකකට ගත්‘ ඔලිම්පික් ප්‍රධානියා දොට්ට දැමූ හැටි

ජපානය ලංකාව වගෙ නොවේ.


ලංකාවේදී සමාජ මාධ්‍ය හරහා හෝ ඉන් පිටතදී ඕනෑම ආකාරයක වර්ගවාදී – ජාතිවාදී ප්‍රකාශයක් සිදුකර සිවිල් සමාජ ඉදිරියේ සත්ගුණවත් මැදිහත් පුත්‍රයන් ලෙස සුළු ජාතීන්ගේ සහ අන්‍යාගමිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කරන්නෙකු බවට පත් විය හැකිය. කිසිවෙක් ඔවුන් ව ප්‍රශ්න නොකරති. ප්‍රශ්න කළත් පලක් නැති බව දන්නා නිසා ය.

නමුත් ජපානය ලංකාව වගෙ නොවේ. කෙටි කාලයක් ඇතුළත, ජපන් ඔලිම්පික් උළෙලේ සංවිධායක මණ්ඩලයේ තුන්වැන්නාටත් ‘කළකම් පල දීම‘ හේතුවෙන් ඉවත් වන්නට සිදුව තිබේ.

ඒ ඉරණමට මුහුණ දුන්නේ ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයේ ප්‍රධානී කෙන්තාරෝ කොබයාෂි ය.

ඔහු යුදෙව් සංහාරය ගැන ‘කැත‘ විහිළුවක් කරන්නේ 90 දශකයේදී ය. හරියටම මෙයට වසර 23 කට පෙර ය.

කඩදාසි බෝනික්කන් යොදාගෙන විකට ශිල්පියෙකු සමග කුඩා ළමුන් පිනවීමේ අංගයක් රඟපාමින් ඔහු, ‘‘අපි හොලෝකෝස්ට් සෙල්ලම කරමු‘‘ යැයි කියා ඇත. ‘let’s play the Holocaust'”

හොලෝකෝස්ට් යනු යුදෙව් සංහාරයයි. හිට්ලර්ගේ නාසි උමතුව විසින් ලක්ෂ හයක් වූ යුදෙව්වන් සංහාරය කර දැමීම හොලෝකෝස්ට් ලෙස හඳුන්වයි.

 

ජපන් අගමැති යොෂිහිදේ සුගා මේ අදහස ‘‘වියරු සහ පිළිගත නොහැකි ‘‘ බව කියා ඇත.

ප්‍රතිඵලය වුයේ ඔහුට සමාරම්භක උත්සවයේ ප්‍රධානී තනතුරෙන් ගෙදර යන්නට සිදු වීමයි. අවසානයේ ඔහු නිවේදනයක් නිකුත් කර ඉල්ලා අස්වුණේය.

‘‘මට තේරෙනවා, ඒ කාලයේ මගෙ වචන තෝරාගැනීම මෝඩයි කියලා. ඒ ගැන මම දුක් වෙනවා..‘‘ යැයි කියා ඔහු ගෙදර ගියේය.

එය ‘කට වරද්දා ගැනීමක්‘ යැයි ඔහු සිතන බව පෙනේ. නමුත් එය ඇත්තෙන්ම කට වරද්දා ගැනීමක්ද, නැතිනම් හිතේ කැත කම ප්‍රදර්ශනය වීමක් ද කියා දන්නේ ඔහුම පමණි.

ඔලිම්පික් ප්‍රධානී සෙයිකෝ හෂිමොටෝ කීවේ කොබයාෂිගේ මේ කැත විහිළුව ගැන තමන් කලින් නොදැන සිටි බවයි. එසේ දැන සිටියා නම් මේ පත්වීම නොකරන බවත් ඔහු කීවේය.

කෝවිඩ්-19 වසංගතය නිසා 2020 වසරේ පැවැත්වීමට නියමිත ව තිබූ ඔලිම්පික් උළෙල, ඔහුගේ ඉල්ලා අස්වීමත් සමග තවත් කල් දමන්නට අදහසක් නැත. කෙසේ නමුත් සමාරම්භක උත්සවයේ පුහුණු වීම් නැවත නැවතත් සිදුකිරීමට දැන් සිදුව තිබේ.

2021 වසර ජපන් ඔලිම්පික් උළෙලේ සංවිධායකයන්ට අපල කාලයක් විය.

පහත දැක්වෙන්නේ මීට පෙර ඔවුන් තිදෙනෙකුට අත් වූ ඉරණමයි.

මේ සතියේ මුල ඔලිම්පික් වාද්‍ය වෘන්දයේ සාමාජිකයෙකු, පාසල් කාලයේදී ආබාධිත තත්වයේ සිටි සිය පන්ති සගයෙකුව බුලි කර තිබෙන බව (හිරිහැර කර ඇති බව) හෙළි විය. සිද්ධිය කරළියට ඒමෙන් පසු ඔහුට අස්වන්නට සිදු විය.

මාර්තු මාසයේ ඔලිම්පික් උළෙලේ නිර්මාණාත්මක අංශයේ ප්‍රධානියා වූ හිරෝෂි සසාකි, තරබාරු දේහයක් සහිත හාස්‍ය ශිල්පිනියක වන නයෝමි වටනබේ ට ඔලිම්පික් උළෙලට ‘ඔලිම්පිග්‘ කෙනෙකු ලෙස සහභාගි විය හැකි බව කීවේය. පසුව ඔහු සමාව ඉල්ලා සිටියේය.

ප්‍රහසන ශිල්පිනී නයෝමි වටනබේ

පෙබරවාරි මාසයේදී ඔලිම්පික් සංවිධායක කමිටුවේ ප්‍රධානියා වූ යොෂිරෝ මොරි ට එයින් ඉල්ලා අස්වීමට සිදුවූයේ ස්ත්‍රීන්ගේ ‘නරක හැසිරීම්‘ ගැන කළ ප්‍රකාශයක් නිසා ය. ගැහැණුන් කච කච ගාමින් කතා කරන අය බවත්, තමන්ගේ අධ්‍යක්ෂිකාවන් සමග පවත්වන රැස්වීම්වලට වැඩි වේලාවක් ගත වන බවත් ඔහු කියා තිබිණි. මේ බව හෙළිවීමෙන් පසු ඔහු ද ගෙදර ගියේය.

ජපානය, ස්ත්‍රීන් කෙරෙහි දක්වන දෙවන පන්තියේ සැලකිල්ලකි. එය ඔවුන්ගේ අධි සංස්කෘතික බව සමග මුසුව ඇත. රැස්වීම්වල මුලසුන හොබවන කාන්තාවන් ජපානයේදී දක්නට ලැබෙන්නේ ඉතා අඩුවෙනි. තවද ජපන් කාන්තාවන් රැස්වීමකදී කතා කරන්නේ පවා ඉතා අඩුවෙනි. ඔවුන් මේසය සරසන මල් පෝච්චි මෙන් වාඩි වී සිටින අයුරු සුලබ දසුනකි. වර්ගවාදීන්ගේ පොදු ලක්ෂණයක් වන්නේ ස්ත්‍රීන් වෙත ද්වේශ සහගත ලෙස සැලකීමයි. එසේත් නැතිනම් ඔවුන්ව පහත් කරමින් කොන් කිරීමයි. මෙවර ඔලිම්පික් උළෙලේ ඉල්ලා අස්වීම් කියා දෙන්නේ එහි ආනිශංසයයි.

කෙසේ නමුත් සිය රට තුළදී කෙසේ හැසිරුණත් අවම වශයෙන් ජාත්‍යන්තර කටයුත්තකදීවත් ප්‍රමිතියට අනුව හැසිරෙන්නට උත්සාහ කරන බව පෙනේ. ඒ අනුව ජපානය, ලංකාව වගෙ නොවේ. ඊට වඩා මදක් ඉස්සරහින් සිටියි.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි