×

ජීවිතයක් නැති රටක ඔවුන් ඉපදුණා පමණයි! – ඇෆ්ගන් දරුවන්ගේ අද දවසේ ඉරණම

සාගින්නෙන් හා මන්දපෝෂණයෙන් මිය යන ඇෆ්ගන් දරුවෝ


”ඇතුළෙ ඉඩ නෑ..” යැයි වැඩ වැඩි කම නිසා පීඩනයෙන් සිටින රෝහල් සේවකයෙක් මොර දෙයි. පෝෂණ මලු ලබාගැනීමට පෙළ ගැසී සිටින ඇෆ්ගන් මව්වරුන් සහ දරුවන් පීරාගෙන ඔහු ඇවිදින්නේ ද අසීරුවෙනි. ”හැමදාම මෙහෙමයි..” යනුවෙන් ද ඔහු තවදුරටත් කියයි. ”පහුගිය මාස 4-5 පුරාම..”

ඇෆ්ගනිස්ථානයේ යුද්ධය අවසන් නමුත් ආර්ථික යුද්ධය දැඩි වී ඇත. ආර්ථිකය වේගයෙන් බිඳ වැටෙමින් යයි. ගෝර් පළාතේ පිහිටා තිබෙන මෙම පිටිසර රෝහලට එය වැඩියෙන් දැනේ. රෝහල අකර්මණ්‍ය වීම වළක්වාගන්නේ කෙසේදැයි ඔවුහු සිතති. අගෝස්තු මාසයේ තලෙයිබානය රට අල්ලා ගත්තේය. ඒ සමගම අන්තර්ජාතික පීඩනය අන් කවරදාටත් වඩා වැඩි විය. ඇෆ්ගනිස්ථානයේ විදේශ සංචිත ප්‍රමාණය වූ ඇමරිකානු ඩොලර් බිලියන 10 ක් අත්හිටුවා තිබේ. ඒවා සෙළවිය නොහැකිය. වැඩි වශයෙන්ම එසේ කළේ ඇමරිකා එක්සත් ජනපදය විසිනි.

ගෝර් පළාතේ අම්මලා සහ දරුවන්, මෙසේ පෝෂණ සලාක ලබාගැනීමට පෝලිම් වී සිටින්නේ මුදල් හිඟ කම සහ ආහාර හිඟකම නිසා ය. අතේ මුදල් තිබෙන අයට පවා මිලදී ගන්නට දේවල් නැති තරම් ය.

BBC

රෝහ‌ලේ ජ්‍යේෂ්ඨ වෛද්‍යවරයෙකු මෙසේ කියයි. ”මන්දපෝෂණය හැදිලා රෝහලට එන දරුවන් සංඛ්‍යාව ගිය අවුරුද්දෙ හිටිය වගේ දෙගුණයක් වෙලා..”

”අපිට කන්න කිසිම දෙයක් නෑ. මගෙ දරුවො අසනීපයෙන්. දරුවන්ට බේත් නෑ..” අයැදින දෑසින් මවක් එසේ කියයි.

ගෝර් පළාතේ පමණක් නොව ඇෆ්ගනිස්ථානය පුරාම තත්වය මේක ය. ඉදිරි මාස කිහිපය තුළ ඇෆ්ගන් දරුවන් මිලියනයක් දෙනා සාගින්න නිසා මිය යනු ඇතැයි ජගත් සංවිධානය පවසා තිබේ.

BBC

මන්දපෝෂණ වාට්ටු

මේ රෝහලේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහාම වෙන් වූ වාට්ටුවක් තිබේ. රාත්‍රියේදී මෙතුළ උණුසුම සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ 10 දක්වා පහළ වැටෙයි. නමුත් හීටර රත් කර උණුසුම ලබාගැනීමට රෝහල සතුව දර තිබෙන්නේ දිනකට පැය දෙකකට ප්‍රමාණවත් වීම සඳහා පමණි. සමහර විට ඒ දර මිටි දෙක ද ඔවුන්ට පරිත්‍යාග කර තිබෙන්නේ අන්තර්ජාතික සංවිධානයක් විසිනි.

පෙර පැවති හමීඩ් කර්සායි ආණ්ඩුව යටතේ ද රෝහලේ පැවතියේ හොඳ තත්වයක් නොවේ. නමුත් අවම වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ඔවුන්ට අවශ්‍ය දර සහ ඉන්ධන ප්‍රමාණයවත් ලැබිණි. දැන් ඒ අරමුදල් කපා දමා තිබෙන්නේ තලෙයිබාන් ආණ්ඩුවට මුදල් නැති නිසා ය.

”දැනට එක ඇඳක බබාල දෙන්නෙක් අම්මලත් එක්ක ඉන්නවා.. සමහර වෙලාවට බබාල තුන්දෙනා ගාණෙ ඉන්න වෙලාවලුත් තියෙනවා..” යැයි රෝහල් හෙදියක් පවසයි.

මෙම රෝහලේ කාර්ය මණ්ඩලයට වැටුප් ලැබුණේ මාස 5 කින් පසු පළමු වතාවට ය. ඒ ද, අන්තර්ජාතික රතු කුරුස සංගමයේ මැදිහත් වීමෙනි.

”රෝහ‌ලේ බෙහෙත් නෑ. දැන් නම් කිසිම දෙයක් නැති තරම්..” යැයි රෝහ‌ලේ වෛද්‍යවරයෙක් කියයි. ඒ අනුව රෝහලෙන් නියම කරන ඖෂධ ෆාමසිවලින් මිලට ගත යුතුය. නමුත් ෆාමසිවල ද බෙහෙත් දැඩි සේ හිඟ ය.

ගෝර් රෝහල පිහිටා තිබෙන්නේ කාබුල් අගනුවර සිට පැය 10 ක පමණ ගමනකිනි. ඒ ගමනේ මග සැරසී තිබෙන්නේ පින්තූරයක් තරම් සුන්දර කඳු-මිටියාවත් වලිනි. නමුත් මෙවර හිම පතනය අඩු වී ඇත. එය, ඉඩෝරය තව කල් ඇදෙන බවට නියත ලකුණකි. ඇෆ්ගනිස්ථානය දැන් මුහුණ පා සිටින මානුෂීය අර්බුදය ඉදිරියේදී තවත් දැඩි වන බවට ද එය නියත ලකුණක් වේ.

සිසේරියන් සැත්කම්

20 හැවිරිදි ගුල්ෆිරෝස් සිසේරියන් සැත්කමකට රෝහලේදී මුහුණ දුන්නාය. ඇගේ දරුවා වන බෙනියැහිම්ගේ ජීවිතය බේරුණ ද දරු ප්‍රසුතිය විසින් ඇගේ පවුලම ණය උගුලකට හසුව ඇත.

”අපිට ටැක්සියකට ගෙවන්න ඇෆ්ගනි (ඇෆ්ගන් මුදල් ඒකකය) 10 ක් අතේ තිබ්බෙ නෑ..” යැයි ඇගේ නැන්දම්මා BBC මාධ්‍ය වේදීන් සමග කීවාය. ”අපිට බෙහෙත් ගොඩක් පිටින් ගන්න සිද්ධ වෙලා තියෙනවා. ලේලිට හොඳ කෑම දෙන්න විදිහක් නෑ. කිරි ටික විතරයි… අපි හැමෝගෙන්ම ණයට සල්ලි ඉල්ලුවා..”

වැටුප් නොලැබෙන විට පවා මේ රෝහලේ වෛද්‍යවරු තමන් ඉතිරි කරගෙන සිටින මුදල් පසුම්බියෙන් අදිමින් රෝහල පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය දේවල් එයින් මිලට ගනිති. රෝහල් ප්‍රධානී වෛද්‍ය පර්සා, සිය පුද්ගලික මුදල් වැය කර හෙදියන් 6 දෙනෙකුගේ සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය දෑ මිලට ගෙන ඇත.

රෝහල් ප්‍රධානී වෛද්‍ය පර්සා

ඇෆ්ගනිස්ථානයට අරමුදල් සැපයීම නැවත ආරම්භ කළ යුතුද යන්න ගැන බටහිර රටවල් අතර මේ දක්වා ද එකඟතාවයක් නැත. නමුත් මේ රෝහල පණ අදිමින් සිටියි. රෝහල් ප්‍රධානියා මෙසේ කියයි.

”අන්තර්ජාතික ප්‍රජාවට මගේ පණිවුඩය, අපි නරකම තත්වයෙ ඉන්නෙ. කරුණාකරලා අපට මානුෂීය ආධාර එවන්න. අපිට උදව් අවශ්‍යයි..”

”අපිට ඉන්ධන නෑ. සීතලට පොරව ගන්න දෙයක් නෑ. අඳින්න ඇඳුම් නෑ… කන්න දෙයක් නෑ..” යැයි සිය මිණිපිරිය තුරුල් කරගත් මිත්තණියක් කියයි. ඇය සිටින්නේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ය. ”අපිට ජීවිතයක් නෑ… අපි අවතැන් වෙච්ච සරණාගතයෝ…!”



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි