×

ඔක්තෝබර් 27 – දවසේ වැදගත්කම

අද, ඔක්තොම්බර් 27 වැනිදා යි


ශ්‍රව්‍යදෘෂ්‍ය උරුමය සම්බන්ධ ලෝක දිනය (World Day for Audiovisual Heritage)  යි.

විචාරක සම්භාවනාවට පත් ඇමරිකානු කිවිඳියක වන සිල්වියා ප්ලාත් උපත ලබා ඇත්තේ අද වැනි දිනක යි.

1275 – ඇම්ස්ටර්ඩෑම් බිහි වෙයි

1275 – ඇම්ස්ටර්ඩෑම් නගරය පිහිටුවනු ලබයි. එය නෙදර්ලන්තයේ අගනුවර ද වැඩි ම ජනගහණයෙන් යුතු නගරය ද වේ.

1795 – මැඩ්රිඩ් ගිවිසුම

1795 – එක්සත් ජනපදය සහ ස්පාඤ්ඤය අතර මැඩ්රිඩ් ගිවිසුමට අත්සන් තබනු ලබයි. මේ ගිවිසුමෙන් ස්පාඤ්ඤ යටත් විජිත සහ එක්සත් ජනපදය අතර සීමා නිර්ණය කෙරිණ. මෙය ‘පින්ක්සනි ගිවිසුම‘ යනුවෙන් ද හඳුන්වයි.

1913 – වුඩ්රෝ විල්සන්ගේ කඩවුණු බලාපොරොත්තුව

1913 – එක්සත් ජනපදය කිසිදා වෙනත් රටකට ප්‍රහාර එල්ල නොකරන බව එවකට ජනපති වුඩ්රෝ විල්සන් කියා සිටියි. නමුත් ඉතිහාසය විසින් සපථ කර සිටින්නේ එය කොතරම් වාර ගණනක් ඇමරිකාව විසින් කඩ කර තිබේද යන්නයි. සැබවින්ම මෙම ප්‍රකාශයෙන් වසරක් ගත වන විට වුඩ්රෝ විල්සන් ම මෙම ප්‍රකාශය කඩ කරන තැනට පත් වුණේය. ඒ, පළමු ලෝක යුද්ධ සමයයි. වුඩ්රෝ විල්සන්, විදේශ කටයුතු සම්බන්ධයෙන් සිය නිලයේ වැඩි කාලයක් වෙන් කළ යුතු යැයි කල්පනා කළ අයෙක් නොවේ. එනිසා පළමු ලෝක යුද්ධ සමයේදී ඔහු ද අනුගමනය කළේ නිෂ්ක්‍රිය ප්‍රතිපත්තියකි. ඇමරිකාව සාම සාධකයාගේ භූමිකාව ඉටු කිරීමට බලාපොරාත්තුවෙන් සිටියේය. නමුත් ලුසියානා නමැති ඇමරිකානු මගී ප්‍රවාහන නෞකාව, ජර්මනිය විසින් ගිල්වා දැමීමත් සමග එය නිහඬතාවය බිඳී ගියේය. ඇමරිකාව ද පළමු ලෝක යුද්ධයේ පාර්ශවයක් බවට පත් විය.

1982 – චීන ජනගහනය බිලියනය පසු කරයි.

1982 – චීනය තම ජනගහණය බිලියනයේ සීමාව ඉක්මවා ඇති බව නිවේදනය කරයි. මේ සමගම චීනය ජනගහනය අඩු කිරීම සඳහා දැඩි පියවර අනුගමනය කිරීමට සූදානම් වෙයි. ‘එක් දරු ප්‍රතිපත්තිය‘ හෙවත් එක පවුලකට එක දරුවෙක් යන සංකල්පය ඇතිවන්නේ එයින් පසුව ය. මෙම එක්දරු ප්‍රතිපත්තිය තුළ චීනය දරු උපත් මිලියන 400 ක් වළක්වාගෙන ඇතැයි චීන රජයේ දත්ත පවසයි. මෙය දැඩි විවේචනයන්ට ද ලක්ව තිබේ. 2019 වසරේදී චීන ජනගහනය බිලියන 1.4 ක් විය. එය තවමත් ලෝකයේ වැඩිම ජනගහනයක් ජීවත් වන රටයි.

1986 – ලන්ඩන් මූල්‍ය වෙළඳපොළේ ‘මහා පිපුරුම‘

1986 – බ්‍රිතාන්‍ය රජය එක්වර ම එහි මූල්‍ය වෙළඳපොළවලට පනවා තිබූ සීමාවන් ඉවත් කරයි. මෙය එම මූල්‍ය වෙළදපොළවල් එරට ක්‍රියා කරන ආකාරය පූර්ණ වෙනසකට භාජනය කරයි. මෙම ක්‍රියාවලිය අද බ්‍රිතාන්‍යයේ මහා පිපිරුම (Big Bang) ලෙස හැදින් වේ. බ්‍රිතාන්‍ය අගමැතිනී මාග්‍රට් තැචර් විසින් මුල පිරූ මෙම ක්‍රියාවලිය තුළ ලන්ඩනය ලෝකයේ මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට ක්‍රමිකව පත් විය. පැරණි මූල්‍ය ආයතන දේශීය සහ විදේශීය විශාල බැංකු විසින් එක් රැයකින් මිලදී ගත් බව කියැවේ. කෙසේ නමුත් එවකට මාග්‍රට් තැචර්ගේ චාන්සලර්වරයා ලෙස කටයුතු කළ නිගෙල් ලෝසන්, පසුව පැවසුවේ 2007-2012 අතර කාලයේ හටගත් ගෝලීය මූල්‍ය අර්බුදය, මෙම මහා පිපුරුමේ අනපේක්ෂිත ප්‍රතිඵලයක් බවයි.

1991 – ටර්ක්මෙනිස්ථානය හෙවත් තුර්කිමෙනිස්ථානය සෝවියට් දේශයෙන් නිදහස ලබයි. මෙය සෝවියට් දේශය කැබලි වීමේ තවත් ප්‍රතිඵලයක් විය.

2017 – කැටලෝනියාවට නිදහස

2017 – 2006 වසරේ පටන් ගෙන ගිය කැටලෝනියානු නිදහස් අරගලයේ ප්‍රතිඵලයක් ලෙස කැටලෝනියානු පාර්ලිමේන්තුව එක්‍ රැස් ව, ඒක පාර්ශ්වික ව, ස්පාඤ්ඤයෙන් නිදහස් වූ බවට නිවේදනය කරයි. මෙය සිදුකළේ ජනමත විචාරණයක් මගිනි. ස්පාඤ්ඤයෙන් වෙන්වීමට අදහස් කළ කැටලෝනියාව යුරෝපා සංගමයට බැඳීමට උත්සාහ ගැනීම ද ඉන්පසු සිදුවිය. කෙසේ නමුත් ස්පාඤ්ඤයේ මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස හැඳින්වුණු කැටලෝනියාව, මෙම බෙදී යාමෙන් අනතුරුව අස්ථාවර විය. කලහකාරී තත්වයන් ඇති කළ කැටලෝනියානු අමාත්‍යවරුන්ට එරෙහිව ස්පාඤ්ඤය විසින් නඩු පවරා ඇති අතර ඔවුන් රටින් පළා ගොස් තිබේ. කිහිප දෙනෙක් ස්පාඤ්ඤය විසින් සිරගත කර තිබේ. කැටලෝනියාවට දැන් වෙනම පාලනයක් ඇත. එහි ජනාධිපති Quim Torra කෝවිඩ් වසංගතය හමුවේ දැඩි අර්බුදයකට ලක් ව සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි