×

අවුට්බවුන්ඩ් ටුඩේ වෙබ් අඩවියට අදට වසරකි – අද අමුතුම රැයකි…!

අද අමුතුම රැයකි. පහන් වන්නට නියමිතව තිබෙන්නේ අවුට්බවුන්ඩ් ටුඩේ www.outboundtoday.com වෙබ් අඩවිය උපත ලැබූ පළමු සංවත්සර රාත්‍රියයි.


මෙයට හරියටම දින 365කට පෙර, විවෘත මනසින් ලෝකය දකින්නට රිසි, දූපත් මානසිකත්වයෙන් මිදී භේද කිසිත් නැති ලෝකයක් දකින්නට රිසි ජනතාව වෙනුවෙන් අපි අවුට්බවුන්ඩ් ටුඩේ වෙබ් අඩවිය ආරම්භ කළෙමු. අපගේ ලන්ඩන් කණ්ඩායමට ද අපට ද මුල පටන්ම අවැසි වූයේ යාවත්කාලීන වන දැනුමක් සමග ඉදිරියට යන මායිම් නැති ලෝකයකි. අවුට්බවුන්ඩ් ටුඩේ තේමා පාඨය වන්නේ ද “Borders may divide us, but the hope will unite us” – ‘‘මායිම් අප වෙන් කරනු ඇත – නමුත් බලාපොරොත්තුව විසින් අප එක් කරයි‘‘ යන්නයි.

ලෝකය තනි යායකි. එහි සීමා මායිම් නොතිබිය යුතුය. වර්ග භේදය, ආගම් භේදය, ජාති භේදය පිටුදකින එකම මිනිස් යායක් වෙනුවෙන් – සරල හද බසින් ජනතාව අමතන, වෙනස්වන – අලුත් වන ලෝකය ලිබරල් ඇසකින් දකින මාධ්‍ය කලාවක අවශ්‍යතාවය එදාට වඩා අද අපට දැනේ. එදා අප වෙබ් අඩවිය ආරම්භ කරන සමයේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රට වට කරමින් තාප්පයක් ගැසීම ගැන කතා කරමින් සිටියේය. අද වන විට ඔහුට එම තාප්පයේ ප්‍රධාන කොටස වන මෙක්සිකානු තාප්පය ඉදිකිරීම සඳහා මුදල් සොයාගත නොහැකිව ෆෙඩරල් ආණ්ඩුව වසරේ තුන්වැනි වරටත් අඩපණ වී තිබේ. වොෂින්ටනයේ ජාතික නත්තල් ගස අද ආලෝකමත් වී තිබෙන්නේ ට්‍රම්ප්ගේ ආරක්ෂණවාදී අන්තවාදය විසින් අන්ධකාරයේ හෙළනු ලැබූ ඇමරිකානු අහසක ය. එදා අරාබි සරණාගතයන්ට දියමංකඩ විවර කළ, අන්තවාදයෙන් තොර ‘පොදු අනාගතයක්‘ ගැන සිහින මැවූ ඇන්ජෙලා මර්කෙල් ට අන්ත දක්ෂිණාංශිකයන් විසින් යුද ප්‍රකාශ කර තිබේ. යේමනයේ, සිරියාවේ වැඩිහිටියන්ගේ කෘරකම් ගැන කිසිත් නොදැන මෙලොව උපන් අහිංසක දරුවෝ සිය දහස් ගණනින් දිනපතා මියැදෙමින් සිටිති. ලෝකයේ ලොකුම ආයුධ වෙළෙන්දා වන ඇමරිකාවේ ට්‍රම්ප්, රුසියාවේ පුටින් සමග මොනවාදෝ කරමින් සිටින්නේ අනාගතයේ දිනෙක ‘කනත්තේ ලොකුම සල්ලිකාරයා‘ වීමටද…?

නමුත් සංවරණය සහ තුලනය හරහා ඇතැම් ගැටළු සම්බන්ධයෙන් ලෝකයේ පොදු ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ වෙර ගැන්වෙනු ද අපට පෙනේ. උතුරු කොරියාවේ ‘නාහෙට නාහන‘ කිම් ජොන් උන්, අවසානයේ දකුණු කොරියාවට මිත්‍රත්වයේ දෑත දිගු කළේය. බ්‍රෙක්සිට් නිසා මහා බ්‍රිතාන්‍යයේ ඉරිතලා ගිය ආර්ථික-දේශපාලනික හදවත යළි පාස්සා ගැනීමට යුරෝපා සංගමය ද දැන් නැවතත් මිත්‍රත්වයේ දෑත දිගු කිරීමට සූදානමින් සිටියි. ස්කැන්ඩිනේවියානු රටවල් ලෝකයේ ජීවත් වීමට සුදුසුම රටවල් ලෙස තවදුරටත් මුල් තැන උසුළද්දී අසල්වැසි ඉන්දියාව වේගවත් විදුලි වේගයෙන් ආර්ථික සංවර්ධන ඉලක්ක හඹා යමින් සිටියි.

මේ සියල්ල අතරවාරයේ ලෝකයේ ඇති නැති පරතරය, ණය බර, චීනයේ ව්‍යාප්තවාදය පෙර නොවූ විරූ ලෙස උත්සන්න වෙමින් තිබේ. බරැති දේශපාලන පණිවුඩවලට විදෙස් පුවත් කියවීමට පුරුදු වී සිටින ලංකාවේ ජනයා ස්වභාවයෙන් අකමැති බව අප දනිතත්, අප හැමවිටම උත්සාහ කරන්නේ ඔවුන්ට හැකි පමණ සරලව මේ කතාව කියා දෙන්නට ය. ඒ අතරම, සිත්ගන්නාසුලු විශේෂාංගවලින් අවුට්බවුන්ඩ් ටුඩේ අවකාශය සරු කරන්නට ද අපි නිබඳ වෙහෙසෙමු.

‘‘මගෙ නත්තල දුගියා බත් කන දාය – මගෙ නත්තල වැරහැලි නැති වන දා ය‘‘ යැයි එදා කීවේ ගරු මර්සලීනු ජයකොඩි පියතුමා ය. නත්තල උපන්නේ සාමයේ පණිවුඩය සමග ය. අවුට්බවුන්ඩ් ටුඩේ උපන්නේ මනුෂ්‍යත්වයේ පණිවුඩය සමග ය. ‘‘මෙලොව ඇත්තේ එකම එක ජාතියයි, එය මිනිස් ජාතිය වේ‘‘ යන්න අප අදහන ආගමයි.

අනන්ත කල්ප ආලෝක වර්ෂ ගණනක් ඈතට විහිදෙන මේ මහා විශ්වය තුළ අප ක්ෂුද්‍ර ජීවීන් ය. අපේ ලෝකය විටෙක සුන්දර ය. විටෙක ගැටුම් බහුල ය. නමුත් ඒ සියල්ල පරයා දිවෙන විවිධත්වය තුළ මනුෂ්‍යත්වයේ තෝතැන්න සොයා එය තැනිය යුතුය. ලෝකය තනි යායක් වන්නේ එවිට ය. අවුට් බවුන්ඩ් ටුඩේ (outboundtoday.com) ඒ වෙනුවෙනි.

එදත් අදත් අප සමග වැඩ කරන්නේ කුඩා කණ්ඩායමකි. නමුත් ඒ කණ්ඩායමේ විභවයන් විශාල ය. ඔවුන්ගේ හදවත් ද විශාල ය. එදා අප සමග සිටි ඇතැමෙක් අද අප සමග නැත ද, ඒ සහෘදයන් විසින් අවුට්බවුන්ඩ් ටුඩේ හි නිර්මාණ හදවත උණුසුම් කළ අයුරු සදා මතකයේ රැඳී තිබේ.

නමුත් මේ සියල්ල පරදවා, අප මෙතැනට ඔසවා තැබුවේ දයාබර පාඨක ඔබ විසිනි. කිසිදු විශේෂ අලෙවි හෝ ප්‍රචාරණ උපක්‍රමයකින් තොරව පවා, විශේෂයෙන්ම ලංකාව දේශපාලනික අස්ථාවරත්වය විසින් සසල කළ පසුගිය මාස කිහිපය තුළ පවා, අවුට්බවුන්ඩ් ටුඩේ වෙබ් අඩවියේ ජනප්‍රියත්වය පහළ නොගියේය. එය දේශපාලන පුවත් සහ ගොසිප් සහිත දේශීය වෙබ් අඩවි දහස් ගණනකට වඩා ඉදිරියෙන් රැඳී සිටියි. එනිසා අපගේ පළමු තුති මල් මිට, අවුට්බවුන්ඩ් ටුඩේ පාඨක ඔබට ය!

රදිකා ගුණරත්න Radika Gunaratne
කර්තෘ- අවුට්බවුන්ඩ් ටුඩේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි