×

කිසිදා නූපන් – මිය නොගිය ඕෂෝ – පළමු කොටස

කුෂ්වාන්ත් සිං නමැති සුප්‍රකට ඉන්දීය ලේඛකයා ඕෂෝ පිළිබඳ තැබූ සටහනකින් උපුටා ගත්තකි.


මට රජ්නීෂ් (ඕෂෝ පෙර භාවිතා කළ නම) මුණ ගැසී ඇත්තේ එක් වරක් පමණි. ඒ 1970 වර්ෂයේ බොම්බාය නගරයේ කෙම්පස් කෝනර් යන ස්ථානයට නුදුරු තැනක් වූ ‘වුඩ්ලන්ඩ්ස්‘ හි ඔහු ජීවත් වන කාලයේදී ය. මම ඔහු ගැන තොරතුරු පුවත්පත් වලින් කියවා තිබුණෙමි. කෂාය වස්ත්‍රයෙන් සැරසී, රජ්නීෂ් ගේ පිංතූරය ගෙළ වටා දමාගත් ඔහුගේ ශ්‍රාවකයන් කිහිප දෙනෙකු ද මට මුණ ගැසී තිබිණි. මට ඔහු මුණ ගැසීමට තදබල ආශාවක් නැති වුවද ඔහු අගය කළ කිහිප දෙනෙකුම ඒ කටයුත්ත සඳහා මා දිරිගැන්වූයේ ආධ්‍යාත්මික වශයෙන් ඔහු කළ කී දෑ සමකාලීන අනෙක් ගුරුතුමන්ට වඩා වෙනස් බව පවසමිනි. එබැවින් මගේ සිතේ නළියන ප්‍රශ්නවලට බොහෝ විට ඔහුගෙන් පිළිතුරු ලබාගත හැකි බව ඔවුන්ගේ විශ්වාසය විය.

මේ කාරණයේදී මම බොහෝ ආශ්‍රමයන්ට ගොස් ඇති අතර ‘ගුරු‘ යන ගෞරව නාමයෙන් හඳුන්වන බොහෝ ප්‍රකට පුද්ගලයන් ගේ දේශනයන්ට ද සවන් දී ඇත්තෙමි. නවතාවයෙන් යුත් යමක් මේ අයගෙන් කියවුණේ නැති තරම් ය. දෙවියන් වහන්සේ සෑම මනුෂ්‍යෙයකු තුළම ජීවත් වන බවත්, කිසිවෙකු සිය අභ්‍යන්තරය වෙත එබී මෙනෙහි කරන්නේ නම් සත්‍යය හා යථාර්ථය පසක් කිරීමෙන් අඳුරෙන් ආලෝකයට ගමන් කළ හැකි ය යන තේමාව පදනම් කර ගත් විවිධ දිශානතීන් ඔස්සේ මේ දේශන පැවැත්විණි. එය පරණ බෝතල්වල අලුත් වයින් දැමීමකට සමාන කටයුත්තක් විය. ඔවුන්ගේ දේශනයන්ට සවන් දීමට වඩා මගේ සිත ගත්තේ එවැනි ‘ගුරුවරුන්‘ සිය ශ්‍රාවකයන් කෙරෙහි ඇති කළ සුවිශේෂී බලපෑම ය. කිසියම් ආශ්‍රමයක නීතිරීති පිළිපදිමින්, දේශනයකට සවන් දෙමින්, ඔවුන් නියම කරන වස්ත්‍ර අඳිමින් තරමක කටුක ජීවිතයක් ගත කිරීමට ඔවුන් පැමිණෙන්නේ මන්ද? එවැනි දෙසුම්වලට සවන් දෙන විට ඔවුනට ලබාගත හැකි මට නොලැබෙන දෙය කුමක්ද?

Osho Arena
Osho Arena

මා රජ්නීෂ් මුන ගැසීමට යන්නේ මේ පසුබිම යටතේ ය. යමක් අසා දැනගැනීමට වඩා ඔහු මුණ ගැසීමේ කුතුහලයක් මා වෙත තිබුණු බව පැවසිය යුතුය. ඔහු හමුවීමට දිනයක් මම ලබා ගත්තෙමි. ඔහු හමුවීමට යන විට සුවඳ විලවුන් හෝ සුවඳ සබන් භාවිතයෙන් වැළකී සිටින ලෙසට මට උපදෙස් ලැබී තිබිණි.

වුඩ්ලන්ඩ්ස් කරා සම්ප්‍රාප්ත වූ පසු හොඳින් වාතාස්‍රය හා පොතපත පිළිවෙළකට තබා ඇති සුවිසල් කාමරයකට මා කැඳවාගෙන යන ලදී. භගවාන් රජ්නීෂ් පැමිණෙන තෙක් මට විනාඩි කිහිපයක් එතැන රැඳෙන්නට සිදුවිය. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මම පොත් රාක්ක වටා සැරිසැරුවෙමි. බොහෝ පොත පත තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙනි. හින්දු හා සංස්කෘත භාෂාවෙන් ද පොත් කිහිපයක් එහි තිබිණි. එකී පොත්පත්වලට පාදක වුණු විෂයපථයෙහි ඇති පුළුල් බව මා විස්මයට පත් කළේය. ආගම, දේව ධර්මය, දර්ශනය, ඉතිහාසය, සාහිත්‍යය, චරිතාපදාන, ස්වයං චරිතාපදාන, අපරාධ හා හාස්‍යය යන විෂය කරුණුවලට අයත් බොහෝ පත පොත රාක්කවල තැන්පත් කර තිබිණි. මා ගිය බොහෝ ආශ්‍රමයන් හි පුස්තකාලයක් නොතිබිණි. පුස්තකාලයක් තිබුණද ඒවා ශ්‍රාවකයන්ගේ ප්‍රයෝජනය සඳහා පමණක් වෙන් ව තිබිණි. ආගමික විෂයන් හෝ අදාළ ගුරුතුමන් විසින් පැවැත්වූ දෙසුම්වලට පමණක් සීමා වූ පතපොත ඒවායෙහි තැන්පත් කර තිබිණි. බොහෝ ගුරුවරු හින්දු ශුද්ධ ග්‍රන්ථ, වේද, උපනිෂද් හා මහා කාව්‍යයන් හැරෙන්නට ඉන් එපිට යමක් කියවූ අය නොවූහ. සරතුස්ත්‍රගේ ඉගැන්වීම්, ජුදා ආගම, කිතුණු හෝ ඉස්ලාම් දහම වැනි විවිධ ආගම් ගැන කියැවීමට ඔවුහු එතරම් කරදර නොවූහ. එහෙත් රජ්නීෂ් එහි පරතෙරට කියැවූ අයෙකු බව පෙනෙන්ට තිබිණි. එහි ප්‍රතිඵලයක් හැටියට අනෙක් අය ඔවුන්ගේ දහම පමණක් ඉගෙන ගන්නා විට, (එය ද තව කෙනෙකුගේ මග පෙන්වීම ඔස්සේ) රජ්නීෂ් එකී ආගම්වල මූලාශ්‍ර ඇසුරු කරමින් සිය දැනුම ප්‍රගුණ කළ බැවින් ඔහුට ම අනන්‍ය වූ හරවත් හා ප්‍රබල විශ්වාසයක් ඔහු තුළ ගොඩ නැගෙන්නට විය. බුදුන් වහන්සේත් මහා වීරත් හින්දු ආගම හැරෙන්නට වෙනත් ආගමක් ගැන නොදත්හ. සරතුස්ත්‍රා ශුද්ධත්වයේ ගිනි දැල්ල වෙත එසැවෙන විට කොතරම් දැනීමක් තිබුණාදැයි මම නොදනිමි. එහෙත් ජුදා ශාන්තුවරයන් විසින් ගොඩ නැංවූ හීබෘ විශ්වාසය නමැති මන්දිරය තැනීමට උපයෝගී කර ගත් දෑ විශ්ලේෂණය කිරීමට අපට හොඳ පසුබිමක් තිබේ. කිතු දහමත් ඉන් පසුව ආගමනය වූ ඉස්ලාම් දහමත් බොහෝ දෑ ජුදා ශාස්තෘවරයන්ගේ ඉගැන්වීම් ඇතුළත් පුරාණ ගිවිසුමෙන් උපුටා ගැනුණු බව අපි දනිමු. එහෙත් මුස්ලිම් ආගමේ නිර්මාතෘවරයා මොහොමඩ් අකුරු කිසිවක් නොදත් තැනැත්තෙකු බවට ඉස්ලාම් ආගම උදම් අනයි. ඉන්දියාවේ නූතන දහමක් බවට සැලකෙන සීක් දහමේ පදනම ද විශාල වශයෙන් වේද ග්‍රන්ථ මත පදනම් වී ඇත. මුල් යුගයේ කිසි ශාස්තෘවරයෙකු සිය දහම පිළිබඳ හැරෙන්නට අන් දහම් පිළිබඳ පාණ්ඩිත්‍යයක් අ්ැති අය ලෙස සැලකිය නොහැකි ය. ඇතැම්විට සියලු දහම් ගැඹුරට හැදෑරූ පළමු මහා ගුරුවරයා ලෙස රජ්නීෂ් සැලකිය හැකිය. සමකාලීන සියලු ආගම් පිළිබඳව තුලනාත්මක හැදෑරීමක් කළ පළමු උගතා ද ඔහු විය හැකිය.

රජ්නීෂ් මා සිටි කාමරයට ඇතුළු විය. ඔහු සුදුමැලි හා දුර්වල සිරුරකින් හෙබි, වයස හතළිහක පමණ පෙනුමක් තිබුණ ඉන්දියානුවෙකි. සුදු පැහැ ගැන්වෙමින් තිබුණු පුළුන් රොදක් වන් ඔහුගේ රැවුල දිගු ය. වූල් තොප්පියක් ඔහුගේ හිසේ විය. හැඳ සිටි සැහැල්ලු කෂාය වස්ත්‍රය ඔහුගේ දෙපතුල් දක්වා වැටිණි. මගේ සිත් වඩාත් පැහැර ගත්තේ ඔහුගේ සුවිසල් දෙනෙත් ය. කෙනෙකු මෝහනය කිරීමට තරම් සමත් ආකර්ෂණයක් ඒවායේ ගැබ්ව තිබිණි. ඔහු මගේ දෑත් අල්ලාගෙන සමාචාර පවත්වන විට ඉතා පියකරු සිනහවක් ඔහුගේ මුහුණේ දිස් විය. ‘‘නමස්කාර්..‘‘

අපි අසුන්වල හිඳ ගත්තෙමු. ‘‘ඔබ වෙනුවෙන් මට කුමක්ද කළ හැක්කේ?“ ඔහු ඉතා මෘදු අයුරින් ඇසුවේය. ඔහුගේ කටහඬෙහි ඉන්දියා අනන්‍යතාවය හොඳින් ගැබ් වී තිබිණි.

‘‘එතරම් දෙයක් නැහැ..“ මම කීවෙමි. ‘‘මට ප්‍රශ්න මොකුත් නැහැ“

‘‘එහෙනම් මොකටද මාව මුණ ගැහුණේ?“

එය සංවාදයකට උචිත ආරම්භයක් නොවන බව මට වහා පසක් විය. ‘‘මට ලොකු කුතුහලයක් තියෙනවා. ඇයි මිනිස්සු මෙච්චර ඔබ හම්බ වෙන්න එන්නෙ? ඒ අය මොනවද ඔබෙන් බලාපොරොත්තු වෙන්නෙ?“ මම කටට ආ යමක් වහා කීවෙමි.

‘‘ඒ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. ‘‘ ඔහු කීවේය. ‘‘මට පුළුවන් විදිහට මම ඒව විසඳන්න උත්සාහ කරනවා. ඔබට මොකුත් ප්‍රශ්නයක් නැත්නම් මට කරන්න ඇති දෙයක් නැහැ“

මම ප්‍රශ්නයක් ගැන කල්පනා කළෙමි. ‘‘මම දෙවියෝ විශ්වාස කරන්නේ නැහැ. ඒත් මට මරණය කියන සංසිද්ධිය එක්ක එකඟතාවයකට එන්න බැහැ. මම දන්නවා ඒක වළක්වන්න බැරි සිද්ධියක් කියන එක. ඒත් මට නැවත ඉපදීමත් අන්තිම විනිශ්චයකත් පිළිගන්න බැහැ. මරණය කියන්නේ මට මගේ පැවැත්මේ අවසානයයි. එතැනින් එහාට දෙයක් නැහැ. ඒ වුනාට මට බයක් තියෙනවා. කොටින්ම කියනවා නම් මම මැරෙන්න බයයි. හැම තිස්සෙම මගේ හිත අස්සේ කරකැවෙන මේ බියෙන් මිදෙන්නේ කොහොමද?“

Meetup
Meetup

ඔහු පිළිතුරු දීමට පෙර මොහොතක් මා දෙස බලා සිටියේය. ‘‘ඔබ කියන එක හරි. මරණයෙන් බේරෙන්නවත් ඒක කොයි මොහොතේ එනවාද කියලත් කිසි කෙනෙකුට කියන්න බැහැ. මේ සත්‍යය ගැන හැම තිස්සෙම මෙනෙහි කරන්න. මැරෙන්න ඉන්න අය හා මැරුණු අය සමග ඇසුර වැඩි කරන්න. ඔබේ බිය ක්‍රමයෙන් අඩු වෙයි. ඒක එතරම් බියකරු අත්දැකීමක් නොවේ. ඒ ගැන ඉන් එහාට කළ හැකි දෙයක් නැහැ. “

ඕෂෝ පැවසූ දෙය මට ලොකු අර්ථයක් ගෙන දුන්නේය. ඒ වන විටත් මම ඔහු කියූ දේවල් අනුගමනය කරමින් සිටියෙමි. ආදාහනාගාරවල හා කනතුවල ඇවිදින්නට ගියෙමි. නෑදෑ හිතවතුන් මිය ගිය විට ඔවුන්ගේ මෘතදේහ අසල වැඩි වේලාවක් ගැවසුණෙමි. එයින් මම තාවකාලික සහනයක් ලද්දෙමි. එහෙත් බිය නැවත මා සොයාගෙන ආවේය. මා රජ්නීෂ් හමු වන විට, ඉපදීම මරණය හා පුනරුප්පත්තිය සම්බන්ධයෙන් ඇති මතවාද සම්බන්ධයෙන් ඔහු ද අදහස් දක්වා ඇති බව නොදැන සිටියෙමි. එසේ දැන සිටියේ නම් මට ඔහුගෙන් අසන්නට කොතෙකුත් ප්‍රශ්න තිබිණි. මා ඔහුගෙන් සමුගත්තේ කිසියම් පැහැදීමක් ඇතිව ය. අනෙක් ස්වාමිවරුන් හා ගුරුදේවයන් විසින් සාමාන්‍යෙයන් හිත් ගැනීම සඳහා කියනු ලබන විෂයානුබද්ධ කරුණු හෝ ප්‍රලාප කිසිවක් ඔහු මා සමග කීවේ නැත. අප දෙදෙනගේ සිතිවිලි එකම තරංග ආයාමයක පිහිටා ඇති බව මම පසක් කර ගතිමි.

* * * *

රජ්නීෂ්, දරුවන් එකොළොස් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා විය. ඔහුගේ පියා රෙදි වෙළෙන්දෙකි. 1931 දෙසැම්බර් එකොළොස් වැනි දින ඔහු උපත ලද්දේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ හොෂන්ගාබාද් දිස්ත්‍රික්කයේ කුෂ්වාදා නම් වූ කුඩා නගරයකදී ය. ළදරු අවධියේදී ඔහුගේ නම චන්ද්‍ර මොහාන් විය. ඔහුගේ ළදරු අවධිය ගෙවී ගියේ සිය දෙමාපියන්ගෙන් දුරස්ව සිය මෑණියන් ගේ දෙමාපියන්ගේ සෙවණෙහි ය. ඔහු ඉගැනීමට දක්ෂ දරුවෙකු වූවත් නාහෙට නාහන වැඩ කරන ලොකු දඟකාරයෙකු විය. දිනපතාම පාහේ ඔහුට විරුද්ධව පැමිණිලි මුල් ගුරුතුමා වෙත ඉදිරිපත් වූයේය. විවාදවලට අතිශය රුචියක් දැක්වූ ඔහු නිරතුරුවම සත්‍යය වෙනුවෙන් කතා කළේය. මුත්තණුවන්ගේ අසනීපයත් ඔහුගේ මිය යාමත් තරුණ අවධියේදී ඔහු තුළ අතිශය කම්පනයක් ඇති කළ සිද්ධියක් විය. ළඟපාත වෛද්‍යවරයෙකු නැති බැවින් කරත්තයකින් නගරයට රැගෙන යන අතරතුරම මුත්තණුවෝ අවසන් හුස්ම හෙළූහ. ඔහු බොහෝ අවස්ථාවලදී මේ වේදනාකාරී අත්දැකීම සිහිපත් කරමින් කතා කළේය.

1953 දී ඔහු දර්ශන විද්‍යාවේ පළමු පෙළ සාමාර්ථයක් ජබාල්පූර් විශ්ව විද්‍යාලයකින් ලැබීය. සියලු ආගම් පිළිබඳ ගැඹුරු කියවීමෙන් හා අඛණ්ඩව භාවනාවේ නිරත වීමෙන් පසු එක්තරා දිනෙක ඔහු තමා සර්වඥ තත්වයකට පත් වූ බව ප්‍රකාශ කළේය. මේ උත්කෘෂ්ට දිනය 1953 මාර්තු 21 වැනිදා බව ඔහු පැවසීය. ඒ වන විට ඔහු එකුන් විසි වියේ පසුවිය.

1958 දී ඔහු ජබල්පූර් විශ්වවිද්‍යාලයේ දර්ශන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ධුරයට පත් විය. ඉගැන්වීමට අමතරව ඔහු නොයෙක් නගරවල සංචාරය කරමින් දේශනා පැවැත්වීම ඇරඹීය. ඔහුගේ දෙසුම්වලට ජනයා බෙහෙවින් ආකර්ෂණය වූහ. එයට විශේෂ හේතුවක් වූයේ ඔහු කළ කතා මින් පෙර ජනයා නොඇසූ කතා වීම ය. ඔහු සම්ප්‍රදායන්ගෙන් බැහැරව කතා කළේය. මිනිසුන්ගේ සිත්ගන්නට හැකි මෝහනීය කටහඬක් ඔහු සතු විය. ඉපැරණි මත බිඳ දමමින් ඔහු කළ දේශනා නොයෙකුත් දෘෂ්ටාන්ත කතාවලින් හා උපහාසයෙන් අනූන විය. අවුරුදු දහස් ගණනක් තිස්සේ ශුද්ධ යැයි පිළිගැනුණු මති මතාන්තර ඔහු තාර්කික පදනමක් මත සිට බිඳ හෙළුවේය. උගත් ස්ත්‍රී පුරුෂයෝ ඔහු වටා එක්රොක් වන්නට වූහ.

දෙවන කොටසට..

  • උපුටාගැනීම – OSHO | අමුතු තරණය | සෙන් සිදුවීම් ඇසුරින් | පරිවර්තනය : ෂර්ලි චන්ද්‍රා ප්‍රනාන්දු


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි