×

බටහිර යුරෝපයේ තාප තරංග හේතුවෙන් මියගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි.

පොසිල ඉන්ධන දහනය, වන විනාශය සහ අනෙකුත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උණුසුම ඇති වේ.


යුරෝපා සංගමයේ කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවාවට අනුව, 2022 ගිම්හානය අසාමාන්‍ය උණුසුම් එකකි. එහි ඇති වූ අධික තාප තරංග හේතුවෙන් බටහිර යුරෝපය පුරා පුද්ගලයන් 20,000 කට වැඩි පිරිසක් මිය ගිය බව සංඛ්‍යාලේඛණ දත්ත පෙන්වා දී තිබේ.


ගිම්හානයත් සමඟ ලන්ඩනයේ උෂ්ණත්වය 40C (104F) ඉක්මවූ අතර, නිරිතදිග ප්‍රංශයේ ප්‍රදේශ 42C දක්වා ළඟා විය. ස්පාඤ්ඤයේ Seville සහ Córdoba 44C ලෙස වාර්තා තැබීය. ඒ අනුව ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලයට අනුව, එංගලන්තයේ සහ වේල්සයේ, ජුනි 1 සිට සැප්තැම්බර් 7 දක්වා කාලය තුළ අතිරික්ත මරණ 3,271 වාර්තා වී ඇත.


ප්‍රංශයේ, රජයේ සෞඛ්‍ය ඒජන්සිය වන සැන්ටේ පබ්ලික් ප්‍රංශය විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, ගිම්හාන මාසවලදී අතිරික්ත මරණ 10,420 ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙම මරණ වලින් හතරෙන් එකක් එනම් 2,816ක් පැහැදිලිවම අධික උෂ්ණත්වය හේතුවෙන් සිදු වූ ඒවා විය. අධික උෂ්ණත්ව රතු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති කලාපවල අතිරික්ත මරණ 20% කින් වැඩි වී ඇත.

එමෙන්ම ස්පාඤ්ඤයේ, රාජ්‍ය අනුග්‍රහය ලත් Carlos III සෞඛ්‍ය ආයතනය ඇස්තමේන්තු කරන්නේ ජුනි සහ අගෝස්තු අතර උෂ්ණත්වය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 4,655 ක් බවයි.

ජර්මානු රජයේ සෞඛ්‍ය ඒජන්සිය වන රොබට් කොච් ආයතනය ඇස්තමේන්තු කර ඇත්තේ ගිම්හාන මාසවලදී විශේෂයෙන් අධික උෂ්ණත්වය හේතුවෙන් රට තුළ පුද්ගලයින් 4,500 ක් මිය ගිය බවයි.


අධික උෂ්ණත්වය හේතුවෙන් සිදුවන මරණ සම්බන්ධයෙන් ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි දේශගුණික විපර්යාස සහ පරිසරය සඳහා වූ ග්‍රන්තම් ආයතනයේ දේශගුණ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ෆ්‍රෙඩ්රික් ඔටෝ ප්‍රකාශ කර තිබුණේ පොසිල ඉන්ධන දහනය, වන විනාශය සහ අනෙකුත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උණුසුම ඇතිවන අතර ලොව පුරා මරණ දහස් ගණනකට අධික උෂ්ණත්වය වගකිව යුතු අතර,අධික උෂ්ණත්වය මිනිස් සෞඛ්‍යයට ඇති අන්තරායන් පිළිබඳව තවමත් මහජනතාව දැනුවත් වී නොමැති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි