×

පලස්තීනු අධිකාරිය බටහිර ඉවුරෙහි LGBTIQ ක්‍රියාකාරීන් පළවා හැරීමට කටයුතු කරයි!

පලස්තීනු අධිකාරිය විසින් බටහිර ඉවුරෙහි සිදුවන LGBTIQ ක්‍රියාකාරීන්ගේ අධිවාචන ක්‍රියාකාරකම් තහනම් කිරීමට පියවර ගෙන තිබේ.


පලස්තීනු අධිකාරිය විසින් බටහිර ඉවුරෙහි සිදුවන LGBTIQ ක්‍රියාකාරීන්ගේ අධිවාචන ක්‍රියාකාරකම් තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

පලස්තීනු LGBTIQ ප්‍රජාව කෙරේ සහයෝගය දක්වන අල්-කෝස් නම් ලිංගිකත්ව හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවී විවිධත්වය උදෙසා කටයුතු කරන සංවිධානය මෙම මස අවසානයේ නැබ්ලූස් හි පැවැත්වීමට නියමිතව තිබූ වැඩසටහනක් පිළිබඳ තොරතුරු ලැබීමත් සමඟ එරට බලධාරීන් මෙම පියවර ගෙන ඇත.

අල්-කෝස් සංවිධානය බටහිර ඉවුර හා අරාබි-ඊශ්‍රායල කලාප වල සක්‍රිය මානව හිමිකම් ව්‍යාපාරයක් රැගෙන යන සංවිධානයකි.

එම සංවිධානයේ කාර්යාල පවතින්නේ නැගෙනහිර ජෙරුසලමේ හා හයිෆා ප්‍රදේශයේය.

පලස්තීනු අධිකාරී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලුවේ ස්‍රේයිකත් පවසා සිටියේ මෙම ව්‍යාපාරය මඟින් පවත්වා ගෙන යන කටයුතු පලස්තීනු සමාජයට “හානිකර” හා සංස්කෘතික වටිනාකම “පළුදු” කරන බවයි.

LGBTIQ මානව හිමිකම් ව්‍යාපාර සම්පූර්ණයෙන්ම “ආගම් හා පටහැනි” බවත්, පලස්තීනු සම්ප්‍රදායන් (විශේෂයෙන් නැබ්ලූස් ප්‍රදේශයේ) “විනාශ කිරීමට” හේතුවන බවත් ස්‍රේයිකත් පවසා තිබේ.

එමෙන්ම ස්‍රේයිකත් මෙවන් ව්‍යාපාර තවදුරටත් රැගෙන යන්නේ නම් ඔවුන් දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවට තර්ජනාත්මක ස්වරයෙන් පවසා ඇත.

පලස්තීනයේ LGBTIQ ප්‍රජාවට එරෙහි දිනෙන් දින බුරබුරා දියත් වන වෛරය, කෙණහිලිකම්, හා හිංසනයන් මධ්‍යයේ සමාජ කර්තව්‍යයක් සිදු කිරීමට වෙරදැරූ අල්-කෝස් සංවිධානය එරට අධිකාරිය විසින් ගත් මෙම පියවර පිළිකුලින් යුතුව හෙලා දකිමින් ප්‍රකාශ කර සිටියේ, තම සමාජයේම ජීවත් වන පුද්ගල කොට්ඨාශයක් සක්වල ජීවින් මෙන් සලකා සමාජයෙන් නෙරපා දැමීමට පලස්තීනු බලධාරීන් ක්‍රියාකිරීම ඉතා ඛේදනීය බවය.

අල්-කෝස් යනු 2001 වර්ෂයේ සිට ක්‍රියාත්මක මානව ලිංගිකත්වය හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ විවිධත්වය පිළිබඳ දැනුවත් කිරීම් සිදුකරන, ලිංගිකත්වය හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත මිනිසුන් හට සිදුවන වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් වලට එරෙහිව හඬක් නඟන, හා සැමට සුරක්ෂිත හා සුහදශීලී පරිසරයක් තුළ බියෙන් හා සැකයෙන් තොරව ජීවත් විය හැකි සමාජයක් බිහිකරලීම සඳහා කටයුතු කරන සංවිධානයක් බව ඔවුහු අවධාරණය කර සිටිති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි