×

ලෝකයේ වේගයෙන්ම දුප්පත් වන රාජ්‍ය නායකයා – ඉම්රාන් ඛාන්

පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගේ ආදායම පසුගිය වසර 3 තුළ රුපියල් කෝටි 3 කින් පහළ බැස ඇති බවත්, මේ වන විට ඔහුගේ වත්කම රුපියල් ලක්ෂ 47 ක් පමණක් බවත් හෙළි වේ.


2015 වසරේදී මේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක-දේශපාලකයාගේ ආදායම පාකිස්ථාන රුපියල් කෝටි 3.56 ක් විය. මුලින් එය රුපියල් කෝටි 1.29 ක් බවට 2016 වසරේදී පහළ වැටුණේය. ඒ ආදායමෙන් ද වැඩි කොටස ඔහු උපයා තිබුණේ විදේශවල කටයුතුවලිනි. මේ අතර, 2017 වසරේදී ඔහුගේ ආදායම කෝටි 0.47 දක්වා පහළ වැටී ඇත. එනම් මේ වන විට ඔහුගේ වත්කම පාකිස්ථාන රුපියල් ලක්ෂ 47 ක් පමණකි. මේ බව හෙළි කරන්නේ පාකිස්ථානයේ ප්‍රමුඛ පුවත්පතක් වන ඩෝන් – Dawn විසිනි.

2015 වසරේදී ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් නගරයේ තිබූ තමන්ගේ මහල් නිවාසය ද රුපියල් කෝටි 0.1 කට විකුණා දැමුවේය.

2018 වසරේදී පාකිස්ථානය තුළ නව දේශපාලන සංස්කෘතියක් බිහිකරමින් රාජ්‍ය නායකත්වයට පත් වූ ඉම්රාන් ඛාන් අගමැතිවරයාගේ ආදායම මෙසේ පහළ බසින්නේ විපක්ෂ නායකයන්ගේ ආදායම වේගයෙන් ඉහළ යමින් තිබෙන අතරවාරයේ ය. උදාහරණයක් වශයෙන්, හිටපු ජනාධිපති අසීෆ් අලි සර්දාරි තවමත් කෝටිපතියෙකි. ඔහු දේශපාලනයේ සිටියදී ඔහුගේ ආදායම ඉහළ ගිය අතර, ඔහු දේශපාලනයෙන් ඉවත් වීමෙන් පසුව ඔහුගේ ආදායම තවදුරටත් ඉහළ ගියේය. පාකිස්ථානයේ හිටපු අගමැතිනී බෙනාසීර් භූතෝගේ සැමියා වන අලි සර්දාරිගේ වත්කම 2015 වසරේදී කෝටි 10.5 කි. 2016 වසරේදී ඒ ධනස්කන්ධය කෝටි 11.4 දක්වා වැඩිවුණේය. 2017 වසරේදී එය කෝටි 13.4 දක්වා තවදුරටත් වැඩිවුණේය. ඔහුට ඉඩම් අක්කර 7,748 ක් තිබේ. ඔහු අති විශාල ධනස්කන්ධයක් සිය කෘෂිකාර්මික ඉඩම්වලින් උපයමින් සිටියි.

මේ අතර, බෙනාසිර් භූතෝ සහ සර්දාරිගේ පුත්‍රයා වන අසීෆ් අලි සර්දාරි, පියාටත් වඩා ධනවතෙකු බව පෙනෙන්නට තිබේ. පියාට තරම් ආදායමක් ඔහුට නැතද, ඔහුට පියාටත් වඩා දේපළ සම්භාරයක් ඇත. පාකිස්ථානය තුළ ද විදේශයන්හිදී ද ඔහුට දේපළ සම්භාරයක් තිබේ.

නමුත් ඉම්රාන් ඛාන්ට මේ කිසිවක් අදාළ නැත. ඔහු පාකිස්ථානයේ මජර දේශපාලනයට නව අරුතක් ලබාදීමට උත්සාහ කරමින් සිටියි. මේ වන විට ඉම්රාන් ඛාන් පාකිස්ථානය තුළ ප්‍රචලිත වෙමින් සිටින්නේ ‘දුප්පතුන්ගේ දුක/ වේදනාව හඳුනන අගමැති‘ ලෙස ය. පෙබරවාරි මාසයේ ඔහු පාකිස්තානයේ දුප්පතුන්ට නිදහස් සෞඛ්‍ය සේවාව ලබාදීම ප්‍රචලිත කරනු පිණිස සමාජයේ මිලියන 80 ක පමණ ඌන වරප්‍රසාදිත ජනතාවකට අතිනවීන පහසුකම්වලින් යුත් සෞඛ්‍ය සේවයක ප්‍රථම අදියර නිරාවරණය කළේය. මේ නව රෝහල් ක්‍රමය යටතේ ඇන්ජියෝප්ලාස්ටි, මොළයේ සැත්කම් පවා දීර්ඝ පොරොත්තු ලේඛනවලින් තොරව ඉක්මනින් සහ නොමිලේ සිදුකර ගැනීමට හැකියාව තිබේ. පාකිස්ථානයේ මේ දක්වා පැවති ක්‍රමය අනුව මෙවැනි සැත්කමක් රජයේ රෝහකින් සිදුකර ගැනීමට පවා පාකිස්ථාන රුපියල් ලක්ෂ 7 ක පමණ වියදමක් දැරීමට සිදු වේ.

අද දිනයේ ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ දුප්පතුන් මිලියන ගණනකට අඩු වියදම් නිවාස ලක්ෂ ගණනක් සාදා දීමේ වැඩපිළිවෙළක් දියත් කළේය. චීනය මෙන් ග්‍රාමීය දිළිඳු බව මුලිනුපුටා දැමීමට නම් ඒ වෙනුවෙන් පැහැදිලි වැඩ පිළිවෙළක් ආණ්ඩුවට තිබිය යුතු බව එහිදී ඔහු අවධාරණයෙන් කියා සිටියේය.

පැහැදිලිවම ඉම්රාන් ඛාන් දිනෙන් දින දුප්පත් වෙමින් සිටියි. නමුත් ඔහු ජන හද දිනාගැනීම පැත්තෙන් දිනෙන් දින පොහොසත් වෙමින් සිටියි. ඔහු ඉන්දියාවේ හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් වැනි පුහුදුන් දේශපාලනයේ මහප්‍රාණ මිනිසෙකු වෙමින් සිටින්නේද? ඒ ගැන තීරණය කිරීම අනාගතයට බාර ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි