×

ඉන්දියාවටත් යුද්දෙ නැතුව පාළුයි!

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට ලිපියක් ලියමින්, ඉන්දියානු ක්‍රිකට් පිල පසුගියදා අවසන් වූ අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරගයේදී කැමා තොප්පි පැළඳීමට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා තිබේ.


මේ ක්‍රිකට් තරගය පැවැත්වුණේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර නොවේ. ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ය. නමුත් එය පැවැත්වුණේ ඉන්දියාවේ රාංචි නුවරය. කාශ්මීර යුද්ධයේ මුවාවෙන් ඉන්දියාව හා පාකිස්ථානය අතර ඇවිළෙන්නට ගිය මහා ගින්නක් ඉම්රාන් ඛාන් ඇතුළු පාකිස්ථානයේ දූරදර්ශී දේශපාලන නායකත්වය විසින් නතර කර ගෙන සිටියදී ඉන්දියාව ඔස්ට්‍රේලියාව සමග ක්‍රිකට් ගහන්නට ඉන්දියාවේ අන්තර්ජාතික තගර බිමට ආවේ කැමා තොප්පි හෙවත් යුධ භටයන්ගේ හමුදා නිල ඇඳුම (කැමා යුනිෆෝම්) සිහිගන්වන කැප් තොප්පි පැළඳගෙන ය.

යම් හෙයකින් ඉන්දියාවේ නොව වෙනත් සත්කාරක රටක මේ තරගය පැවැත්විණි නම් ඉන්දීය ක්‍රිකට් පිල කැමා තොප්පි පළඳීවිද..?

Moneycontrol
Moneycontrol

මේ අතර ඉන්දියාව මෙයට දෙන්නේ අපූරු උත්තරයකි. ඔවුන් පවසන්නේ ඉන්දීය හමුදාවට උත්තමාචාරයක් ලෙස ක්‍රිකට් පිල මේ කැප් තොප්පිය පැළඳීම තෝරාගත් බවයි. එය, පෙබරවාරි 14 වැනිදා ඉන්දියානු පාලනය යටතේ පැවති කාශ්මීර භූමියේදී මරා දැමූ පැරා මිලිටරි භටයන් 40 දෙනා සිහිපත් කරනු පිණිස සිදුකළ ක්‍රියාවක් බව ඉන්දියාව කියයි. මේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබුණේ පාකිස්ථානය මුල් කරගෙන ක්‍රියාත්මක වන ජායිෂ් -ඊ_ මොහොම්මද් නමැති ත්‍රස්තවාදී කණ්ඩායම විසිනි.

දැන් ඉන්දීය ක්‍රිකට් පිල සැරසෙන්නේ, අතීතයේ ඉන්දියානු හමුදාවට එල්ල වූ සියලු ත්‍රස්ත ප්‍රහාර සමරමින් අනාගත ක්‍රිකට් තරග සඳහා කැමා තොප්පි පළඳින්නද?

මෙම කැප් තොප්පි ක්‍රීඩකයන් අතර බෙදා දී තිබෙන්නේ හිටපු ඉන්දීය නායක එම්එස් දෝනි විසින් බව ද හෙළි වේ. ඔහු ඉන්දීය හමුදාවේ ගරු ලුතිනන් පදවියක් හොබවන්නෙකි.
GETTY IMAGES

ඉන්දියාව මෙහිදී ක්‍රමානුකූල සහ උපක්‍රමශීලී ලෙස මේ කැප් තොප්පිය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ලබාගෙන තිබෙන බව ද හෙළි වේ. ඒ අනුව මේ හමුදා තොප්පි පැළඳීම, අරමුදල් එක්රැස් කිරීමේ ව්‍යාපාරයක කොටසක් ලෙස වටහාගත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) තරගයට පෙර ම ඒ සඳහා අනුමැතිය ලබා දී තිබේ.

GETTY IMAGES
GETTY IMAGES

ඉන්දියානු ක්‍රීඩකයන් විසින් මේ තරගාවලියේදී ලබාගත් ගාස්තු ද මිය ගිය අයගේ නොහොත් ‘රණවිරුවන්‘ගේ පවුල්වලට අයට ප්‍රදානය කර තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාව සැමදා සැලකුණේ ‘මහත්වරුන්ගේ ක්‍රීඩාවක්‘ ලෙස ය. එවැනනක් තුළ ජාතිභේදයක් නොතිබිය යුතුය. ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයට පාවිච්චි කිරීමෙන් ක්‍රීඩාවත් දේශපාලනයත් යන දෙකම විනාශ කළ අය ගැන ආසියානු කලාපයේ උදාහරණ බහුල ය. එසේ විනාස නොවූ මහත්මා දේශපාලකයෙකු වේ නම් ඒ දැන් පාකිස්ථාන අගමැති ධුරයට පත්ව සිටින ඉම්රාන් ඛාන් පමණි. මෙවැනි වාතාවරණයක් තුළ ඉන්දියාවේත් – පාකිස්ථානයේත් දේශපාලන අංචියකට ක්‍රිකට් හරහාම අර ඇදීම දෛවයේ සරදමක් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ අවාසනාවක් ද වේ.

2009 මාර්තු 3 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වුණේය. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ සාමාජිකයෝ 6 දෙනෙක් එහිදී තුවාළ ලැබූහ. නමුත් ලංකාව පාකිස්ථානය සමග ක්‍රිකට් ක්‍රීඩා කිරීම අත්හැර දැමුවේ හෝ පාකිස්ථාන ක්‍රිකට් පිලට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේ හෝ සිංහ කොඩි දාගෙන හෝ හමුදා කැප් පැළඳගෙන ක්‍රිකට් සෙල්ලම් කළේ නැත.

නමුත් ඉන්දියාවේ හා පාකිස්ථානයේ කතාව අතීතයේ පටන්ම වෙනස් ය. සංකීර්ණ ය. 1951 වසරේ පටන් ඉන්දියාව සහ පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන්නේ ජාතිවාදී එදිරිවාදීකමක් පිරිමසාගැනීම ද සිතේ තබාගෙන ය. එහි ප්‍රතිඵලයක් ලෙසට දෙරට අතර යුධමය වාතාවරණ පැවති 1965-1971 කාල වකවානුවේ දෙරට අතර කිසිම ක්‍රිකට් තරගයක් පැවැත්වෙන්නේ නැත. 1999 කාර්ගිල් යුද්ධය සහ 2008 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය සිදුවූ විට ද දෙරට අතර ක්‍රිකට් හොඳ හිත පළුදු වී ගියේය.

ඉන්දියාව සහ පාකිස්ථානය අනතුරුව සෞදි අරාබිය හෝ කැනඩාව වැනි ‘නිෂ්ක්‍රිය රටවල‘දී එකිනෙකා සමග ක්‍රිකට් තරගවල යෙදීම ආරම්භ කළේය. පසුව නැවතත් ජාත්‍යන්තර පිටියේ ක්‍රිකට් තරගවලට ප්‍රතිවාදීන් ලෙස පැමිණියහ. නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ, මේ දෙපිල අතර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන විට ජයග්‍රහණය සඳහා අති දැවැන්ත පීඩනයක් ඔවුන් වෙත එල්ල වන බවයි. දෙපිරිසටම අවශ්‍ය වන්නේ අනෙකා පරදවා ජය ගන්නට ය. එය ඔවුන්ට යුද්ධයක් ජයගැනීම වැනි ය!

වරක් ඉන්දියානු රජය, ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන් ආරක්ෂක හේතු මත කිසිදු අවස්ථාවක පාකිස්ථානයේ සංචාරය නොකළ යුතු බවට පනත් කෙටුම්පතක් ද ගෙන ආවේය.

2008 වසරේ පටන් ඉන්දියාව පාකිස්ථානය සමග තරගාවලි සඳහා ක්‍රීඩාකිරීම ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්දියාවේ මේ තීරණයට එරෙහි වීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට හැකි වුණේ නැත. පාකිස්ථානය එවිට විදෙස් රටවල ක්‍රීඩාංගනවල ඉන්දියාව සමග තරග වැදීමට කැමැත්ත පළ කළ නමුත් ඉන්දියාව එය ද ප්‍රතික්ෂේප කළේය.

යුධකාමී ජනතාව ද ඉන්දු – පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම් අතර පවතින මේ පසමිතුරුකමට යහමින් හුරේ දමති. 2015 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති ලෝක කුසලාන ඉන්දු පාකිස්ථාන තරගයේ ප්‍රවේශපත්‍ර සම්පූර්ණයෙන් අලවෙි වී අවසන් වීමට අවශ්‍ය වුණේ විනාඩි 11 ක් පමණි.

යුධකාමී ප්‍රේක්ෂකයන් පවා මේ තරග නරඹන්නේ කණ්ඩායම් තරගයක් ලෙස නොව, දෙරට අතර යුද්ධයක් ලෙස ද…?

පාකිස්ථාන ක්‍රිකට් පිල අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට කැමා තොප්පි පැළඳීම ගැන සිය අප්‍රසාදය පළ කරන්නේ මෙවැනි පසුබිමක් තුළ ය.

කැමා තොප්පි පැළඳ ක්‍රීඩා කළ තරගය ඉන්දියාව ජයගත්තේ නැත. පාකිස්ථානය ලකුණු 32 කින් ජයග්‍රහණය කළේය.

යුද්ධයකදී කොහොමටත් කවුරුවත් දිනන්නේ නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි