×

කොරෝනා මර්දන සටනට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පාකිස්ථානයේ වෛද්‍යවරයා

ඔහූ මොහම්මද් උස්මාන් ජන්ජුවා නැමති  පාකිස්ථානයේ ජේලුම් ප්‍රදේශයේ ජීවත්වන 29 හැවිරිදි තරුණ වෛද්‍යවරයෙකි.


කොරෝනා වෛරසය පැතිරෙන්න පටන්ගත්තේ චීනයේ වුහාන් නගරය කේන්ද්‍ර කරගෙනය. මේ වනවිට වුහාන් හා අවට නගරවල වෙසෙන කොරෝනා ආසාධිතයැයි සැක කෙරෙන පිරිස මිලියන 55 ත් 70ත් අතර සංඛ්‍යාවකි. චීනයේ පූර්ණ මැදිහත්වීමෙන් මේ වන විට නිරෝධායන වැඩපිළිවෙල රාශියක් ක්‍රියාත්මක කෙරෙයි.
කොරෝනා වෛරසය හා පොරබදන චීන වෛද්‍ය කණ්ඩායම් දහස් ගණනකි. පහුගිය දිනෙක චීන අගමැතිතුමාද එම වෛද්‍ය කණ්ඩායම් දිරිගන්වන ආකාරය අප දුටුවෙමු. ඒත් සමඟම ලෝකයේම අවධානය දිනාගනිමින් කොරෝනා මර්දන වෛද්‍ය පර්ෂදයට එක් වූ අලුත්ම වෛද්‍යවරයා පාකිස්ථාන ජාතිකයෙකි.
ඔහූ මොහම්මද් උස්මාන් ජන්ජුවා නැමති  පාකිස්ථානයේ ජේලුම් ප්‍රදේශයේ ජීවත්වන 29 හැවිරිදි තරුණ වෛද්‍යවරයෙකි. පුංචි කාලයේ සිටම වෛද්‍යවරයෙකු වීමේ සිහිනය ඔහූ යථාර්ථයක් බවට පත් කරගත්තේ චීනයේ හනන් විශ්වවිද්‍යාලයෙනි. 2012 වසරේදී උපාධිය ලබාගැනීමෙන් පසු වසර හතරක පුහුණුව සදහා නැවතත් පාකිස්ථානයට යයි.
පුහුණු කාල සීමාව ඔහූ ගත කලේ “දීනා” නම් ඔහූගේ උපන් නගරයේ වුවද චීනය හා විශ්වවිද්‍යාලය ඔහූගෙ මතකයේ හැමදාම තිබුණි. 2016 දී උස්මාන් නැවතත්  චීනයට පැමිණ චංග්ෂා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පශ්චාත් උපාධිය හදාරන්නට විය.
පශ්චාත් උපාධියෙන් පසු ඔහූට චංග්ෂා විශ්වවිද්‍යාලයේම ගුරුවරයෙක් වශයෙන් රැකියාවේ නියුතුව සිටින අතර ජනවාරි 27 දින කොරෝනා මර්දන වෛද්‍ය පර්ශදය හා එක්වී ස්වේච්ඡාවෙන් සේවය කිරීමට කැමති බව දන්වා ඇත.
පහුගිය පළමුවැනිදා සිට ඔහූ කොරෝනා වෛරසය පරාජය කරන්නට චීන වෛද්‍යවරුන් සමඟ කරට කර තම සේවය නොපිරිහෙලා ඉටුකිරීමට පටන්ගත්තේය. තරුණ වෛද්‍යවරයාගේ මේ තීරණය සම්බන්ධයෙන් මාධ්‍යය විමසා සිටි අවස්ථාවේ ඔහූ කියා තිබුණේ..
“මට අධ්‍යාපනයක් හා රැකියාවක් ලබාදෙමින් මගේ ජීවිතයේ ඉදිරියට යාමට අවස්ථාවක් ලබාදුන් දෙවන මව්බිම චීනයයි. මේ වගේ අවස්ථාවක මට මගේ යුතුකම අමතක කර සිටින්නට බෑ. ඉතින් මා දෙවරක් හිතන්නැතුවම මේ තීරණය ගත්තා.”
තරුණ වෛද්‍යවරයාගේ මේ ක්‍රියාව ප්‍රශංසාවට ලක් කරමින් පාකිස්ථානයේ චීන තානාපති කාර්යාලය Twitter සටහනක් තබා තිබුනේ මෙහෙමයි.
“විදේශීය වෛද්‍යවරයෙක් ලෙස මොහම්මද් උස්මාන් ජන්ජුවා මහතා චීනය තුළ කොරෝනා වෛරසය හා සටන් කිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වීම පිළිබදව අගය කරමු.”
SARS, Ebola වැනි ගෝලීය වසංගත රෝග ව්‍යාප්ත වූ කාලසීමාවලදී  හිපොක්‍රටික් ප්‍රතිඥාව අමතකව යන වෛද්‍යවරුන්ට මොහම්මද් උස්මාන් වැනි තරුණ වෛද්‍යවරයෙක්ගෙන් ඉගෙනගැනීමට ඇත්තේ විශාල පාඩමකි. පාකිස්ථානයේ මාධ්‍යන් හරහා මේ වෙනකොටත් වීරයෙක් ගානට ඔසවා තබා ඇති ඔස්මාන්ගේ වීර ක්‍රියාව පිළිබඳව ඉදිරියේදී ලෝකයම කතාකරනු ඇත.
ඔහූ ගත් මේ යෝධ පියවර කොරෝනා වෛරසය ජයගැනීමට ශක්තියක් වේවායි පතන මා කොරෝනා ආසාධිත සැමට නිරෝගී සුවයද වුහාන් වැසියන්ට සැනසීමද පතන්නෙමි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!
|චතුර රුවන් වීරක්කොඩි


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි