×

විජයග්‍රහණයේ සැමරුම දා ‘මනෝවිකෘති ඒකාධිපතියා’ යැයි පුටින්ගේ වෙබ් අඩවියක සඳහන් වීමේ ඇතුළත කතාව

‘Paranoid dictator’ - එසේත් නැතිනම් 'මනෝවිකෘති ඒකාධිපතියා''... පසුගිය දිනෙක ක්‍රෙම්ලින් හිතවාදී වෙබ් අඩවියක එසේ සඳහන් වී තිබීම නිසා ලෝකයම කැළඹුණේය.


මෙය සිදුව තිබුණේ ද පුටින් සිය යුධ ජයග්‍රහණ ගැන උදම් අනන ‘විජයග්‍රහණයේ දිනය’ දා ය. එහිදී තමන් විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම සාධාරණීකරණය කිරීමත්, යුක්රේන යුද්ධය, දෙවැනි ලෝක යුද්ධයේ රුසියානු ජයග්‍රහණය ට සම කිරීමටත් ඔහු වගබලාගෙන තිබිණි. මේ වෙබ් අඩවිය උඩු යටිකුරු වන්නේ එවැනි පසුබිමක් තුළදී ය.

‘ලෙන්ටා’ (Lenta.ru ) නමැති මෙම වෙබ් අඩවිය ක්‍රෙම්ලින් හිතකාමී එකක් වන නිසාම, එතෙක් කල් එහි පළ වූයේ පුටින් හිතවාදී ප්‍රවෘත්ති ය. එය ලෝකයේ ඔ්නෑම ‘රජයේ වෙබ් අඩවිය’ ක නැඹුරුතාවයයි.

කොන්දක් තිබූ මාධ්‍යවේදීන් දෙපළක්

මෙවැනි පසුබිමක් තුළදී ලෙන්ටා වෙබ් අඩවිය යුධ විරෝධී ලිපිවලින් පුරවා දැමීම අතිශයින්ම අවදානම් කාරී මෙන්ම නිර්භය පියවරක් විය. පසුගිය සඳුදා දිනයේ එහි තිබූ ලිපිවලින් පුටින්ව හඳුන්වා දී තිබුණේ මෙසේ ය. ”දුක හිතෙන මනෝ විකෘති ඒකාධිපතියෙක්..”

21 වන සියවසේ බිහිසුණුම – ලේ වැකුණුම යුද්ධයට අර අදින නායකයා පිළිබඳ එසේ ලිවීමේ වරදක් නැත. ක්‍රෙම්ලිනයේදී සොල්දාදුවන් 11,000 ක් ඉදිරිපිට පුටින් සිය යුධකාමය ගැන වහසි බස් දෙඩුවේ එදා ය.

”අපිට ඒක අදම කරන්න සිද්ධ වුණා. අපේ ආදි පියවරුන් මේ සුන්දර භූමිය වෙනුවෙන් සැබවින්ම සටන් කළ බව ලෝකයට මතක් කර දෙන්නට අපට උවමනා වුණා. ඔවුන් සටන් වැදුණේ සාමය වෙනුවෙන්.” යැයි මේ නිර්භය මාධ්‍යවේදීන් දෙපළගෙන් එක් අයෙකු වන එගෝර් පොලියාකොව් පැවසීය.

”සාමාන්‍ය මනුෂ්‍යයන්, සාමකමී ගැහැණුන් සහ දරුවන් යුක්රේනයේදී මිය යනවා. අප මෙය නතර කළ යුතු නොවේද? අපට තවදුටත් මෙය පිළිගන්නට බැහැ. කළ යුතු හරි දෙය මෙය පමණයි” යැයි පොල්යාකොව්, ගාඩියන් පුවත්පත සමග සිය සම්මුඛ සාකච්ඡාවේදී පැවසීය.

පොල්යාකොව් සමග මේ කටයුත්ත සඳහා එක් ව සිටියේ ඇලෙක්සැන්ඩ්‍රා මිරොෂිනිකෝවා මාධ්‍යවේදිනියයි. ඔවුහු එම ලෙන්ටා වෙබ් අඩවිය පුටින් විරෝධී සහ යුක්රේනයේදී රුසියාවේ කෙරුවාවන් පිළිබඳ කියැවෙන ලිපි 40 කින් පමණ පුරවා තැබූහ. එම ලිපි වහාම ඉවත් කර ඇති නමුත්, වෙබ් ආකයිව් ටූල් එකක් හරහා ඒවා දිගින් දිගටම කියවීමට ලෝකයට හැකි වනු ඇත.

රටේ වැඩිම පිරිසක් බලන වෙබ් අඩවියක්

ලෙන්ටා වෙබ් අඩවිය රුසියාවේ විශාලතම පාඨක සංඛ්‍යාවක් පැමිණෙන වෙබ් අඩවියයි. මාසිකව මිලියන 200 ක් දෙනා එයට ගොඩවදිති. එය, යුක්රේන ආක්‍රමණය සාධාරණීකරණය කිරීම සඳහා රුසියාව විසින් ගෙන යන ප්‍රොපගැන්ඩා යාන්ත්‍රණයේ කොටසක් ද විය. ලෙන්ටා වෙබ් අඩවියේ හිමිකරු වන්නේ රැම්බ්ලර් නමැති මාධ්‍ය සමාගමකි. රුසියාවේ විශාතම බැංකුව වන ස්බර්බෑන්ක්, 2020 වසරේදී මිලදී ගත්තේ ද මෙම සමාගම් ජාලය විසිනි. එම සමාගම් ජාලය ආණ්ඩු හිමිකාරිත්වය යටතේ පවතින අතර, මේ වන විට ඇමරිකාවේ සහ එක්සත් රාජධානියේ සීමාකරණයන්ට යටත් ව පවතියි.

පොලයාකොව් සහ ඇලෙක්සැන්ඩ්‍රා විසින් අප්ලෝඩ් කරන ලද ලිපි අතර, ”යුක්රේනය ගැන සැලසුම් සම්බන්ධයෙන් පුටින් බොරු කිව්වා”, ”රුසියානු හමුදාව චෞර සහ කොල්ලකාර හමුදාවක් බවට පත් වූ හැටි” සහ ”යුක්රේනයේදී රුසියානු හමුදාව සිය සගයන්ගේ මළ සිරුරු දමා එයි” වැනි ආන්දෝලනාත්මක ලිපි රැසක් අඩංගු විය.

මෙයට අමතරව මේ දෙපළ ලියුම් කිහිපයක් ද මෙම වෙබ් අඩවියේ පළ කළහ. ඒවා කියවා බලන ලෙස පාඨකයන්ට කරන ලද ආයාචනයක් ද එහි ගැබ් වී තිබිණි. ”බය වෙන්න එපා! නිහඬ ව ඉන්න එපා! පෙරළා සටන් වදින්න! ඔබ තනි වී නැහැ! අපෙන් බොහෝ අය ඔබ සමගයි. අනාගතය අපෙයි!’ වැනි දිරිමත් කරවනසුලු වැකි ඒවායේ විය.

චැනල් වන් හි කතුවරියක වන මරීනා ඔවිස්නිකෝවා විසින් මාර්තු මැද භාගයේ සිය වැඩසටහනේදී ”ස්ටොප් ද වෝ – නෝ ටු වෝ” යැයි මහ හඬින් කෑ ගැසීමෙන් පසු රුසියානු රාජ්‍ය මාධ්‍ය විසින් පුටින්ට එරෙහිව දියත් කළ ප්‍රධානතම විරෝධතාවයක් ලෙස මෙය සැලකේ.

රූ ටියුබර්ස්ලාත් සටනට

මේ අතර, රූටියුබ් (Rutube) වීඩියෝ ප්ලැට්ෆෝමය ද යුක්රේන් හැකර්ස්ලා විසින් පෙරදා රාත්‍රියේ හැක් කරනු ලැබිණි. ඒ අනුව එහි මෙවැනි පණිවුඩයක් ඉදිරිපසම දැකගත හැකි විය. ”දහස් ගණන් යුක්රේනියානුවන්ගේ සහ සිය ගණන් දරුවන්ගේ ලේ ඔබේ දෑත්වල තැවරී තිබේ. රූපවාහිනිය සහ බලධාරීන් ඔබට බොරු කියමින් සිටිති. තවත් යුද්ධයක් එපා!”

ජීවිත අනතුරේ!

සිය හද බිම වෙනුවෙන් යුතුකම ඉටු කළ ද මේ මාධ්‍යවේදීන් දෙපළ මේ වන විට පසුවන්නේ සිය ජීවිත ගැන බියෙනි. එය රුසියාව වැනි රටක ඉතාම ස්වභාවික තත්වයකි. ”ඔව් මම බය වෙලා ඉන්නෙ. මම ලැජ්ජ නෑ ඒ බව පිළිගන්න. නමුත් මම දැනගෙන හිටියා මෙහෙම කරන එකේ තියෙන ප්‍රතිවිපාක ගැන.” යැයි පොලයාකොව් පවසයි.

රුසියාව මේ වන විට ‘ෆේක් නිව්ස්’ හෙවත් ව්‍යාජ ප්‍රවෘත්ති පැතිරවීම සම්බන්ධයෙන් නව නීති ගණනාවක් ගෙනැවිත් තිබේ. රුසියානු හමුදාව පිළිබඳ ව්‍යාජ තොරතුරු පැතිරවීම රුසියාවේදී වසර 15 ක් දක්වා සිරගත විය හැකි වරදකි. මෙවැනි දැඩි පීඩාකාරී නීති යටතේ රුසියාව විසින් මේ වන විට 46 දෙනෙකුට අපරාධ නඩු පවරා ඇත. ඔවුන්ගෙන් 14 දෙනෙක් දැනටමත් සිටින්නේ සිරබත් කමිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි