×

දේශප්‍රේමී යුධ චිත්‍රපට සහ රුසියාවේ බොක්ස් ඔෆිස්

රුසියාවේ එදා මෙදාතුර නිෂ්පාදනය කළ චිත්‍රපට අතරින් වැඩිම ආදායම යුධ චිත්‍රපටයක් විසින් වාර්තා කරයි.


පුටින්ගේ රජය විසින් මුදල් යොදවා නිෂ්පාදනය කළ T-34 නමැති යුද්ධ චිත්‍රපටයෙන් කියැවෙන්නේ සෝවියට් සොල්දාදුවෙක් ‘මව්බිමට දක්වන භක්තිය‘යි. මෙවර එය ආරම්භක සති අන්තයේදී පමණක් පවුම් මිලියන 8 ක ආදායමක් ලබමින් ඉතිහාසගත බොක්ස් ඔෆිස් වාර්තාවක් තබා තිබේ. එය රුසියානු මුදල් ඒකකය වන රූබල්වලින් රූබල් මිලියන 713 ක පමණ වාර්තාගත ආදායමකි.

චිත්‍රපටය නිකුත් කළේ ද නව වසරේ එළඹුණු පළමු සති අන්තයේ ය.

T-34 යනු, දෙවන ලෝක යුද්ධයේදී අති බහුල ලෙස සටන් බිමේ යෙදවූ යුධ ටැංකි වර්ගයකි. චිත්‍රපටයෙන් කියැවෙන්නේ ෆැසිස්ට් ග්‍රහණයේ – වධ කඳවුරක සිටි සෝවියට් යුධ සිරකරුවෙක් සිය ජීවිතය බේරාගැනීමට ගන්නා ප්‍රයත්නයකි. රුසියානු සංස්කෘතික අමාත්‍යාංශය මේ චිත්‍රපටය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් කියන්නේ එය ජීවිතය සහ මව්බිම වෙත දක්වන ආදරය හා භක්තිය පිළිබඳ කථාන්දරයක් බව‘‘යි.

T-34 ලියා තිබෙන්නේ ද එය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ද ඇලෙක්සෙයි සිදරොව් (Aleksey Sidorov) විසිනි. පළපුරුදු අධ්‍යක්ෂවරයෙකු වන ඔහු, පැහැදිලිවම කියන්නේ, ‘‘තරුණයන් ආකර්ෂණය කළ හැකි, දේශප්‍රේමී යුද්ධය තවමත් මතකයේ තබාගෙන සිටින්නන් කුපිත නොකරන ආකාරයේ යුධ කතාන්දරයක් පැවසීමට‘ තමන්ට අවශ්‍ය වූ බවයි.

නාසි ජර්මනියේ මතකය, ජනපති පුටින්ගේ ක්‍රෙම්ලින් පාලනය තුළ නොයෙක් ලෙස උත්කර්ෂයට නැගෙන මාතෘකාවකි. මේ සමය තුළ සෝවියට් පුරවැසියන් අවම වශයෙන් මිලියන 26 ක් මිය ගිය බව හෝ නිහඬ කළ බවට සැලකේ.

මෙම චිත්‍රපටයට පුටින්ගේ රාජ්‍ය මාධ්‍ය තුළ අති දැවැන්ත ප්‍රචාරයක් ලැබේ. මේ අතර, නව වසරේ මෙයට සමාන්තරව, යුද්ධයේ අඳුරු පැත්ත ගැන කියන තවත් චිත්‍රපටයක් ද තිරගත වීමට උත්සාහ කළේය. ඒ, ඇලකේසි ක්‍රාසොව්ස්කි ගේ ‘ද හොලිඩේ‘ චිත්‍රපටයයි. එයින් කියැවුණේ ලෙනින්ග්‍රාදය අල්ලා ගැනීමෙන් පසු හටගත් සිදුවීම් මාලාවකි. එය කිසිදු රාජ්‍ය අනුග්‍රහයකින් තොරව පුද්ගලික නිෂ්පාදනයක් ලෙස එළි දුටු එකකි.

පුටින්ගේ පාලනය වහාම කළේ මේ චිත්‍රපටයට එරෙහිව ක්‍රියාත්මක වීමයි. රුසියාවේ චිත්‍රපටයක් තිරගත වීමට නම් එය සංස්කෘතික අමාත්‍යාංශයේ අවසරය ලද යුතුය. ඒ අවසරය ද හොලිඩේ චිත්‍රපයට ලැබුණේ නැත. එනිසා එයට සිනමා ශාලාව දක්වා යාමට පවා ලැබුණේ නැත.

එවිට ද හොලිඩේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කළේ, සිය යූ ටියුබ් චැනලයේ එම චිත්‍රපටය ගැබ්කර, නරඹන්නන්ගෙන් අරමුදල් සඳහා ඉල්ලීමක් කිරීමයි.

යුද්ධයේ ප්‍රතිවිරුද්ධ පැති දෙකක් ගැන කියැවෙන, පුටින්ගෙන් ප්‍රතිවිරුද්ධ සැලකුම් ලබන මේ චිත්‍රපට දෙකේ පළමු සතිය තුළ තත්වය මෙබඳු ය.

  • ද හොලිඩේ චිත්‍රපටය යූ ටියුබ් හරහා ලක්ෂ 8 ක් දෙනා නරඹා තිබේ.
  • T-34 සිනමා ශාලාවල ලක්ෂ 15 වාරයක් ප්‍රදර්ශනය කර තිබේ!

රුසියාවේ සංස්කෘතික අමාත්‍යාංශය, ලෙහෙසියෙන් ප්‍රශ්නකාරී හෝ දේශප්‍රේමී වටිනාකම් අභියෝගයට ලක් කරන චිත්‍රපට තිරගත කිරීමට අවසර දෙන්නේ නැත. 2018 වසරේදී වාර්තා වුණේ බ්‍රිතාන්‍ය ප්‍රහසන නිෂ්පාදනයක් වූ ‘ද ඩෙත් ඔෆ් ස්ටාලින්‘ (ස්ටාලින්ගේ මරණය) තිරගත වීමට ඉදිරිපත් වූ ඉල්ලීම අවසන් මොහොතේ ඉවත දැමුණු බවයි.

මීට පෙර වැඩිම ආදායමක් ලද රුසියානු චිත්‍රපටය බවට පත්ව තිබුණේ ද දේශප්‍රේමී චිත්‍රපටයකි. එනම්, 1972 වසරේදී ඇමරිකාවට එරෙහිව රුසියානු පැසිපන්දු පිල විසින් මියුනික් (මියුනිච්) ඔලිම්පික් තරගයේදී ලද ජයග්‍රහණයයි. Going Vertical නමැති එම චිත්‍රපටය පවුම් මිලියන 23.2 ක ආදායම් වාර්තාවක් තැබුවේය. මේ අතර 2018 නොවැම්බරයේදී යුක්රේනය හා රුසියාව අතර නාවික යාත්‍රා සම්බන්ධ රාජ්‍ය තාන්ත්‍රික ගැටළුව උද්ගත වීමට මද කලකට පෙර Crimean Bridge: Made with Love! නමැති ඒ හා සමාන කතා පුවතක් රැගත් චිත්‍රපටයක් ද විශාල ආදායමක් ලබමින් තිරගත වන්නට පටන් ගත්තේය.

රාජ්‍ය අනුග්‍රහය ලබන චිත්‍රපට සාර්ථක අන්දමින් තිරගත වීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය බලවත් වීම පමණක්ම ප්‍රමාණවත් නොවේ. එයට හොඳම උදාහරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය අනුග්‍රහය සහිතව නිෂ්පාදනය වූ ‘‘නිදහසේ පියා ඩී.එස්.‘‘චිත්‍රපටයයි. දැවැන්ත ප්‍රචාරක යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පෙනුණද, ජනතාව එය නැරඹීමට මහ ලොකු උනන්දුවක් දැක්වූයේ නැත. විටෙක එන්නත් කරන ජාතිආලය පල දරන්නේ නැත. රුසියාවේ පුටින් ට පවා බලෙන් චිත්‍රපට හැදිය හැක-නමුත් ‘චිත්‍රපට බලපියව්‘ යැයි ජනතාවට අණ කළ නොහැක. ඒ අතින් බලනකල, රුසියාවේ දේශප්‍රේමය වඩා බලවත් ය. පුටින් කරන්නේ රාජ්‍ය අනුග්‍රහය යොදවා එය පෝෂණය කරවීමයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි