×

රුසියාව සහ ට්‍රම්ප් වෙනුවෙන් අසාන්ජ්!

ට්‍රම්ප්ගේ නීතීඥයා අසාන්ජ් හමුවීමේ අහම්බකාරකය රුසියාවයි!


ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු නීතීඥයා සහ සමීපතමයෙකු ලෙස සැලකනෙ පෝල් මැනෆෝට් (Paul Manafort) ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැඳී සිටින විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ව රහසේ හමුවුණේ ඇයි…?

ප්‍රකාශයක් නිකුත් කරමින් තමන් ‘‘කිසිදා අසාන්ජ් ව මුණ ගැසුණේ නැත‘ යැයි 69 හැවිරිදි පෝල් මැනෆෝට් පැවසුවත්, ට්වීට් මාලාවක් නිකුත් කරමින් විකිලීක්ස් විසින්ද මෙම පුවත ප්‍රතික්ෂේප කළත්, මේ වන විට ගාඩියන් ඇතුළු ලොව ප්‍රධාන පෙළේ පුවත්සේවා රැසක් සාධක සහිතව අනාවරණය කරන්නේ මෙම හමුවීම සැබවින්ම සිදුවී ඇති බවයි.

පෝල් මැනෆෝට්| Newsday

පෝල් මැනෆෝට්| Newsday

මේ හමුව සිදුවී තිබෙන්නේ රුසියාව විසින් ඊ මේල් හැක් කිරීම සිදුකරන්නට මාස කිහිපයකට පෙර ය. එනම් මේ හමුවීම සිදුවී තිබෙන්නේ 2013, 2015 සහ 2016 වසරවලදී ය. ට්‍රම්ප් ජයගනු ඇතැයි අවසන් මොහොත වන තෙක් කිසිවෙකු විසින් නොසිතූ අවධියක, අවම වශයෙන් ට්‍රම්ප් පවා නොසිතූ අවධියක ට්‍රම්ප්ගේ ප්‍රතිරූපය නගා සිටුවීම වෙනුවෙන් වැඩ කළ පුද්ගලයා වූයේ පෝල් මැනෆෝට් ය.

පෝල් මැනෆෝට් යනු අන් කිසිවෙකු නොව, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ද භාරව සිටි තැනැත්තා ය. ඔහු මේ වසර මුලදී සිරගත කරනු ලැබීය. ඔහුට ඇප ලබාදීමේ එක් කොන්දේසියක් වූයේ ට්‍රම්ප් සහ රුසියානු සම්බන්ධය ගැන පැවැත්වෙන විමර්ශනවලදී ඇමරිකානු ෆෙඩරල් රහස් ඔත්තු සේවයට සහාය ලබාදෙන බවයි. නමුත් ඒ සහයෝගය ලබාදීම වෙනුවට පෝල් මැනෆෝට් කළේ දිගින් දිගටම FBI වෙත බොරු කීම බව පසුගියදා කියා සිටියේ, ට්‍රම්ප්ගේ විරෝධය මැද මර්දනය කෙරුණු, නමුත් දැන් නැවතත් වැඩට බැස සිටින අභිචෝදක රොබට් මුලර් විසිනි. ට්‍රම්ප්ගේ රුසියානු සම්බන්ධය ගැන විමර්ශනය කරන්නේ ඔහුගේ ප්‍රධානත්වයෙන් යුත් මුලර් කොමිසමයි.. ඒ නිසා පෝල් මැනෆෝට් හට වැඩ වරදිනු ඇත. නමුත් මේ සිදුවීමෙන් සත්‍ය වශයෙන්ම හෙළිවන්නේ අන් කිසිවක් නොව විකිලීක්ස් නිර්මාතෘගේ නිරුවතයි.

මේ වන විට මූලාශ්‍ර දෙකකින්ම හෙළි කර තිබෙන්නේ පෝල් මැනෆෝට් විසින් මුල්ම වතාවට රහසේ අසාන්ජ් හමුවුණේ ඔහු ලන්ඩනයේ පිහිටා තිබෙන ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණය පැතීමෙන් අවුරුද්දකට පසුව බවයි. ඉන්පසුව, 2016 වසරේදී මැනෆෝට් – අසාන්ජ් හමුව පුරා මිනිත්තු 40 ක් තිස්සේ සිදුකෙරී තිබේ. මේ අතර ඉක්වදෝර තානාපති කාර්යාලයේ අභ්‍යන්තර ලේඛනයක් සනාථ කරන්නේ, පෝල් මැනෆෝට් යනු, නිතර සිය තානාපති කාර්යාලය වෙත ආගිය අමුත්තෙකු වන බව ය. එහිදී ඔහු හැඳ සිටි ඇඳුම් ගැන ද තවත් වාර්තාවකින් පැහැදිලිව විස්තර වේ. ‘රුසියානුවන්‘ යනුවෙන් ද එම ලේඛනයේ පැමිණි අමුත්තන් ගැන සඳහන් වේ!

අසාන්ජ් යනු කවුද?

ඔස්ට්‍රේලියාවේ පරිගණක වැඩසටහන්කරුවෙකු, මෘදුකාංග සාදන්නෙකු සහ විකිලීක්ස් නිර්මාතෘවරයා වන ජුලියන් අසාන්ජ් 2010 වසරේදී ජාත්‍යන්තර තරුවක් බවට පත්වුණේ WikiLeaks විසින් ඇමරිකානු යුධ හමුදා නිලධාරියෙකු වූ, පසුව කාන්තාවක බවට පත්වූ චෙල්සියා මෙනින් පිළිබඳ රහස් පුවත් ප්‍රසිද්ධ කිරීම මගිනි. අති දක්ෂ හැකර්වරයෙකු වන ජුලියන් අසාන්ජ්, මේ අනාවරණයන් කරන්නේ ඇමරිකාවේ යුධ තොරතුරු පද්ධති හැක් කිරීම මගිනි. පසුව Afghanistan war logs (2010), the Iraq war logs (2010), CableGate (2010) යනාදී වශයෙන් ඔහු විසින් එක දිගටම අතිශය ආන්දෝලනාත්මක ‘ලීක්ස්‘ රැසක් හෙළි කර සිටියේය. විටෙක ඔහු ලෝකයේ තෝරාගත් රටවල්වල තානාපති කාර්යාල අතර සිදුවන කේබල් සන්නිවේදන හැක් කරයි. තවත් විටෙක රාජ්‍යයන්ගේ ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන යන රහසිගත තොරතුරු සහිත පරිගණක පද්ධති හැක් කරයි. 2010 වසරේදී ඇමරිකාව ඔහුට විරුද්ධව අපරාධ විමර්ශනයක් ආරම්භ කරන්නේ මේ පසුබිම යටතේ ය.

මේ අන්දමින් විකිලීක්ස් හරහා අනාවරණය කළ තොරතුරු අතිශය සංවේදී සහ දේශපාලනික වශයෙන් ඉහළ වැදගත්කමක් ගත් නිසාම, මාධ්‍යවලටත් කළ නොහැකි දේ කරන ජුලියන් අසාන්ජ්, එක රැයින් ‘ලෝකයේ වීරයා‘ බවට පත් විය. ඔහු ‘තොරතුරු නිදහස‘ සහ මාධ්‍ය නිදහස‘ පිළිබඳ ප්‍රතිමූර්තිය බවට පත්විය. ඔහු වරින් වර තාක්ෂණය හරහා ලෝකය ඉදිරියට පැමිණ ලෝකයේ ගැළවුම්කාරයා ලෙසින් ලොකු කතා කීවේය. ඔහු පෙනී සිටියේ නියම ‘එතිකල් හැකර්‘ කෙනෙකු ලෙස ය.

මේ අතර, ස්වීඩනය 2010 නොවැම්බරයේ ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු කරන්නේ ලිංගික අපචාර සහ දූෂණ සිදුවීමක් සම්බන්ධයෙනි. එහිදී ස්වීඩනය ඔහුව අල්ලා ඇමරිකාවට භාරදීමට (උදර්පණය කිරීමට) අදහස් කළ විට ඔහු කළේ එක්සත් රාජධානි පොලිසියට භාරවීමයි. දින 10 ක් රඳවා තබා, ඇප මත නිදහස් කරන අසාන්ජ්, ඇප කොන්දේසි බිඳ දමමින් තවදුරටත් වීරයා බවට පත්විය. අවසානයේ 2012 අගෝස්තු මාසයේ පටන් ඔහුට ඉක්වදෝරයේ දේශපාලන රැකවරණය ලැබේ. එදා පටන් ඔහු ජීවත් වන්නේ ලන්ඩනයේ පිහිටා තිබෙන ඉක්වදෝර තානාපති කාර්යාලයේ ය. ඔහුගේ තනියට සිටින්නේ පූසෙකු පමණක් බවත්, ඔහු අතිශය අපිරිසිදු අන්දමින් තානාපති කාර්යාලය තුළ ජීවත් වන බවටත් තොරතුරු ලැබේ. 2017 මැයි මාසයේ ස්වීඩනය විසින් මෙම අපරාධ චෝදනා සහ ඔහුට එරෙහිව තිබූ වරෙන්තුව ඉවත් කළත්, ඇප කොන්දේසි කඩ කිරීම නිසා බ්‍රිතාන්‍ය පොලිසියට ඔහුව අත්අඩංගුවට ගත හැකි නිසා ඔහු තානාපති කාර්යාලයේම තවදුරටත් ජීවත් වීම තෝරාගනියි.

2016 ඇමරිකානු ජනාධිපතිවරණ සමයේ ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ ඊ මේල් හැක් වන්නේ මේ අතරවාරයේය. ඒ ඊ මේල්, ඩිමොක්‍රටික් අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් හට ඇය රාජ්‍ය ලේකම් ව සිටි සමයේ ලැබුණු පුද්ගලික ඊ මේල් ය. ඒවා ලබාගෙන තිබෙන්නේ හිලරි ක්ලින්ටන්ගේ සර්වරය හරහා ය. මේ අතර සයිබර් ආරක්ෂාව පිළිබඳ විශේෂඥයන් හෙළිදරව් කරගන්නේ රුසියානු රහස් ඔත්තු සේවාවන් විසින් ඒවා හැක් කර විකිලීක්ස් වෙත ලබාදී ඇති බවයි!

එදා මේ චෝදනා නැගුණු විට අසාන්ජ් කීවේ ‘හිලරි ක්ලින්ටන් යනු රුසියාව ගැන හිස්ටීරියාවකින් පෙළෙන ගැහැණියක‘ බවයි.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියාව අතර තිබෙන සමීප සබඳතාවය ලොවට රහසක් නොවේ. අසාන්ජ් මෙන්ම ට්‍රම්ප් ද මේ සබඳතාවය කොතරම් ප්‍රතික්ෂේප කළත්, මුලර් විමර්ශනයෙන් ඒවා සවිස්තරාත්මකව ඉදිරියේදීත් හෙළිවනු ඇත. මේ අතර පෝල් මැනෆෝට් පිළිබඳ සිදුවන මෙම හෙළිදරව්වත් සමග මෙතෙක් ලෝකයේ සැකයක් වශයෙන් පැවති ඉතා වැදගත් ප්‍රශ්නයක්, අන් කවරදාටත් වඩා ඉස්මතු වේ. ඒ ප්‍රශ්නය වන්නේ, විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් වැඩ කරන්නේ රුසියාව සහ ට්‍රම්ප් ට ද යන්නයි…!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි