බ්‍රිතාන්‍යයේ ඖෂධ නියාමන අධිකාරිය වන MHRA පවසන්නේ 95%ක සාර්ථකත්වයක් පෙන්වන මෙම එන්නත, මහා පරිමාණ බෙදාහැරීම සඳහා සුදුසු බවයි.
ඒ අනුව පළමු මාත්‍රා 80,000 ලබන සතිය තුළ නිකුත් කෙරෙනු ඇත. එය අවශ්‍ය අය වෙත ලබාදෙන්නේ ජාතික සෞඛ්‍ය සේවය හෙවත් NHS හරහා ය.
මෙහිදී එන්නත ලබා දෙන්නේ ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව ය. ඒ අනුව කෝවිඩ්-19 අධි අවදානම් ප්‍රජාවන් ලෙස හඳුනාගෙන තිබෙන වියපත් වූවන්, සාත්තු නිවාසවල නේවාසිකව පසුවන්නන් සහ NHS කාර්ය මණ්ඩලයේ තෝරාගත් පිරිස්වලට මෙය මුලින් ලබාදීමට නියමිත ය.
මේ වන විට බෙල්ජියම කේන්ද්‍රකරගත් මෙම එන්නත් නිෂ්පාදකයන් විසින්, සාමාන්‍යයෙන් වසර 10 ක් ගත වන එන්නත් පර්යේෂණ ක්‍රියාවලිය මාස 10 කින් අවසන් කිරීමට සමත් වී තිබේ.
එක්සත් රාජධානිය මේ වන විට මෙම එන්නතෙන් මාත්‍රා මිලියන 40 ක් ඇණවුම් කර ඇත. එය මිලියන 20 ක ජනගහනයක් සඳහා සෑහෙයි.
එම සැපයුම ලබාදෙන්නට සමාගම සමත් වූ විගසම ඒවා මිලදී ගන්නට ද එක්සත් රාජධානිය බලාපොරොත්තු වෙයි.
මේ වන විට ලෝකයේ රටවල් ගණනාවක් එන්නත් තරගයට ප්‍රවිශ්ට වී ඇති අතර, ඔක්ස්ෆර්ඩ් සරසවිය ඇස්ට්‍රාසෙනෙකා සමාගම සමග එක් වී ලෝකයේ පළමු මහා පරිමාණ එන්නතේ අවසන් අදියරේ කටයුතුවල නිතර වී සිටි බව මීට පෙර පැහැදිලි විය.
ඒ අනුව බොහෝ දෙනාගේ අදහස වූයේ ලෝකයේ පළමු කෝවිඩ්-19 වැක්සිනය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා වැක්සිනය බවට පත් වනු ඇති බවයි.
කෙසේ නමුත් පසුගිය සතියේ වාර්තා වූයේ මෙම ඔක්ස්ෆර්ඩ් වැක්සිනය, එය විසින් වාර්තා කළ 95%ක සාර්ථකත්වය තවත් ඉහළ නංවා ගැනීම සඳහා වැඩිදුර සායනික පර්යේෂණවලට යොමු කර ඇති බවයි.
මේ අතර, ෆයිසර්-බයොන්ටෙක් වැක්සිනය භාවිතයට ඇති දුෂ්කරතා ගැන ද කතා බහක් මතු ව තිබේ.
ඒ අතරින් ප්‍රධානම දේ වන්නේ මෙම ෆයිසර්-බයොන්ටෙක් වැක්සිනය සෙල්සියස් අංශක – 70 ක තරම් අතිශය ශීතලක ගබඩා කළ යුතු වීමයි.
මෙය එක්සත් රාජධානිය වැනි ශීතල රටකට වුවත් ප්‍රායෝගික ව තරමක් දුෂ්කර අධි වියදම් කටයුත්තක් වනු ඇත. ඒ අනුව ලංකාව වැනි ඝර්ම කලාපීය රටවලට ෆයිසර් වැක්සිනය කොතරම් ඵලදායක වේ ද යන්න ගැන මතුව තිබෙන්නේ සැකයකි.
ඒ අනුව සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වයේ වුවත් තබාගත හැකි ඔක්ස්ෆර්ඩ් වැක්සිනය මේ ගෝලීය වසංගතයට ලැබෙන හොඳම පිළිතුර බවට පත් වීමට තවදුරටත් විශාල අවකාශයක් තිබේ.