චීනයේ වූහාන් නගරයේ මෙන්ම හුබෙයි පළාත තුළ සිටින දහස් සංඛ්‍යාත HIV සමඟ ජීවත් වන ප්‍රජාව (PLHIV) තම වෛරස ප්‍රතිරෝධී ඖෂධ (Anti-retroviral Treatments) ලබා ගැනීමේ අර්බුදයකට මුහුණ පා ඇති බව වාර්තා වේ.
ඒ වත්මන් කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඬපැවැත්වීමේ හා නිරෝධායනය කිරීමේ ක්‍රියාවලිය තුළ ඔවුනට නිවෙස් තුළ රැඳී සිටීමට සිදුව ඇති නිසාය.
චීනයේ කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීමේ ක්‍රියාවලිය තුළ බොහෝ පුද්ගලයන් හට නිවසින් පිටතට යාමට හෝ රෝහල් වෙත පිවීසීමේ අවස්ථාව ගිලිහී ඇති අතර, දෛනිකව ලබා ගත යුතු HIV ඖෂධ හිඟ වීමෙන් ඒවා නැවත ලබා ගැනීමේ අරගලයක නිරත වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රෝහල් වෙත පිවිසීමට හා ඖෂධ ලබා ගැනීමට විශේෂ අවසරයක් ලබා ගත යුතු හෙයින් මෙම තත්වය ප්‍රජාවක් වශයෙන් HIV සමඟ ජීවත් වන පුද්ගලයන් හට දැඩි සේ බලපා තිබේ.
චීනයේ ජීවත් වන HIV සමඟ ජීවත් වන බොහෝ පුද්ගලයින් තම HIV තත්වය පිළිබඳව විවෘතව කතා නොකිරීම මීට බලපා ඇති ප්‍රධාන හේතුවයි.
මන්ද චීනය තුළ තවමත් HIV ආශ්‍රිත මිත්‍යා මත, වෙනස් කොට සැලකීම් හා කොන්කොට සැලකීම් ක්‍රියාත්මක වන හෙයිනි.
මේ පිළිබඳ තොරතුරු අනාවරණය කළ පුද්ගලයින් පවා පෙනී සිටියේ වෙනත් නම් වලිනි.
.
කොරෝනා වෛරස නිරෝධායනය තුළ තම HIV තත්වය පිළිබඳ විවෘත වීමට අකමැති බොහෝ පුද්ගලයින් ඖෂධ ලබා ගැනීමෙන් තොරව නිවෙස් වලට වී සිටීම ඔවුන්ගේ සෞඛ්‍යයට බෙහෙවින් අනතුරුදායකය.
මන්ද, ඖෂධ මාත්‍රාව නිසි පරිදි නොගැනීම තුළ සිරුර ඖෂධ කෙරේ ප්‍රතිරෝධයක් ගොඩ නැඟීමට ඉඩ තිබේ.
එය HIV සමඟ ජීවත් වන ප්‍රජාවගේ ප්‍රතිශක්තියට බලපාන සේම, වෙනත් රෝග කෙරේ නිරාවරණය වීමේ අවදානමක් ද ඇති කරයි.
කොරෝනා වෛරස ව්‍යාප්තියක් පිළිබඳ විශේෂ අවධානයක් යොමු ව ඇති මේ මොහොතේ HIV සමඟ ජීවත් වන ප්‍රජාව තම සෞඛ්‍යය කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ.
ඖෂධ හිඟ වීම මත තම සිරුරේ වෛරස ප්‍රමාණය සම්පින්ඩනය (viral load suppression) කිරීම අක්‍රමවත් වන අතර එමඟින් වෛරසය වර්ධනය වීමට මෙන්ම විකෘති ඇතිවෙමින් ඖෂධ හමුවේ පාලනය නොවීමට ද ඉඩ තිබේ.
මේ පිළිබඳ විදෙස් මාධ්‍ය වෙත තොරතුරු හෙලිදරව් කළ පුද්ගලයින් චීන බලධාරීන් ගෙන් ඉල්ලා සිටියේ මෙම තත්වය සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.
ඒ අනුව HIV සමඟ ජීවත් වන ප්‍රජාව ගේ අනන්‍යතාවද ආරක්ෂා වන අන්දමින් නිසිපරිදි ඖෂධ ලබා දීමට කටයුතු කරන මෙන් ඔවුහු සමස්ත ප්‍රජාව වෙනුවෙන් ඉල්ලා සිටිති.
චීනයේ මේ වන විට HIV සමඟ ජීවත් වන පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 1.25 පමණ වන බව පැවසේ.
ඉන් 20,000 පමණ ජීවත් වන්නේ හුබෙයි පළාතේ ය.